රාජපක්ෂලා ඇමරිකාවේ පුරවැසියෝ - මේ අය කරන්නේ කොන්ත්රාත් එකක්
2015 ජනවාරි 04 වෙනි ඉරිදා, 15:41
''රාජපක්‍ෂ ආණ්ඩුවේ ඇතුළේ ඉන්න අයටත් මේ රට එකට තියෙන්න ඕන නැහැ. ගෝඨාභය,බැසිල්, ඩලස්, චන්දිම රාසපුත‍්‍ර මේ රටේ ජීවත් වෙන්න බලාගෙන ඉන්න අය නෙවෙයි. එනිසා තමයි ඔවුන්ට ඇමරිකාවේ ගෙවල් තියෙන්නේ. ඇමරිකන් පුරවැසියෝ. ඔවුන් ලංකාවට ඇවිත් අවුරුදු 09ක් වෙනවා. එහෙත් ඇමරිකන් පුරවැසිභාවය ඉවත් කළේ නැහැ. පුරවැසිභාවය අලූත්කරගන්න ඇමරිකාවට දුවනවා. මේ අය කරන්නේ කොන්ත්රාත් එකක්. ඒ කොන්ත‍්‍රාත් එකෙන් හම්බවෙන සල්ලි පාවිච්චි කරලා ඇමරිකාවෙන් දේපල ගන්නවා. ඒ අයගේ මව්බිම ඇමරිකාවයි. ඒ නිසා රාජපක්‍ෂගේ ජයග‍්‍රහණය මේ අයට ඕනෑ.'' යැයි අද (04) ජනතා විමුක්ති පෙරමුණේ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා ප්‍රකශ කළේය.
එහිදී අනුර දිසානායක මහතා වැඩිදුරටත් අදහස් දක්වමින්,
මේ ජනාධිපතිවරණය ගෙනාවේ ව්‍යවස්ථාවට, රටේ නීති රෙගුලාසිවලට, අණපනත්වලට පටහැනිවයි. ඒ නිසා මේ ජනාධිපතිවරණය නීති විරෝධියි. මෙම ජනාධිපතිවරණයට රාජපක්‍ෂ තරඟ වැදීමත් නීති විරෝධියි. ඒ වගේම මේ මැතිවරණයේදී රාජපක්‍ෂගේ කටවුට්, දන්සැල්, භාණ්ඩ බෙදීම්, බැලූවාම මේ මැතිවරණයට මොනතරම් මුදල් ප‍්‍රමාණයක් පොම්ප කරනවාදැයි රටේ ජනතාවට බලාගන්න පුළුවන්. අනුරාධපුර ආණ්ඩුවේ රැලියට ලංගම බස් විශාල ප‍්‍රමාණයක් යොදාගත්තා. මැතිවරණ නිලධාරීන් විපක්‍ෂයේ දේශපාලන පක්‍ෂ ඒ ගැන ප‍්‍රශ්න කරද්දී බස්වලට කෝටි දෙකහමාරක් ගෙවු බව කිව්වා. අනුරාධපුරයේ සල්ගාදු පිට්ටනිය කෝටි ගාණක් වියදම් කරලා කොංකී‍්‍රට් කළා. රැලිය අවසන්වෙලා නැවත කෝටි ගාණක් වියදම් කරලා තණකොළ ඉන්දනවා. අපි මේරටේ ජනතාවගෙන් අහනවා රාජපක්‍ෂගේ එක ජනහමුවකට පමණක් කෝටි 7ක්-8ක් වියදම් කරන්න ඕනැද? මේ තරම් ජනතා මුදල් ප‍්‍රමාණයක් මේ රාජපක්‍ෂ ජනාධිපතිවරයා නාස්ති කරනවා.
ඒ වගේම රාජ්‍ය දේපළ, රාජ්‍ය මාධ්‍ය විශාල ලෙස රාජපක්ෂගේ මැතිවරණයට යොදාගෙන තිබෙනවා. රාජ්‍ය මාධ්‍ය මුළුමනින්ම ශී‍්‍රලනිපයේ ශාඛා සමිතියක් බවට පත්කරගෙන. රාජපක්‍ෂගේ වර්ණනාව, ප‍්‍රතිපත්ති උත්කර්ෂයට නගමින් විපක්‍ෂයට විශාල ලෙස මඩ ගහමින් තිබෙනවා. දැන් ක‍්‍රමාණුකූලව ප‍්‍රචණ්ඩත්වය මුදාහරිමින් තිබෙනවා. විපක්‍ෂයේ වේදිකාවලට ගිණි තබමින්, වෙඩි තබමින් බම් මට්ටමේ සාමාන්‍ය ජනතාව භීතියට පත්කරමින් තිබෙනවා. ඊයේ අම්බලංගොඩදී අපේ පක්‍ෂයේ සාමාජිකයෙකුට පහර දී නිවසට අලාභහානි කරලා තිබෙනවා.