Jan 6, 2015

මැතිවරණ නිලධාරීන්ට පහර දුන් ලේකම්ලා අත්අඩංගුවට

06 Jan 2015
ත්‍රිකුණාමලය සහකාර මැතිවරණ කොමසාරිස්‌වරයා සහ නිලධාරීන් පිරිසකට පහරදී රාජකාරියට බාධා කිරීමේ සිද්ධියට සම්බන්ධ නියෝජ්‍ය ඇමැති සුසන්ත පුංචි නිලමේ මහතාගේ ලේකම් සහ සම්බන්ධීකරණ ලේකම්වරයකු පොලිසිය මගින් ඊයේ (5 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත.  ඩිජිටල් පුළුල් තිරයක්‌ යොදා ගනිමින් ත්‍රිකුණාමලය නගරයේ මැතිවරණ ප්‍රචාරක කටයුත්තක යෙදී සිටි එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන කාර්යාලයක්‌ පෙරේදා (4 දා) වැටලීමට ගිය අවස්‌ථාවේ මැතිවරණ නිලධාරීන් මෙම ප්‍රහාරයට ලක්‌ව තිබේ.

මෙම මැර පිරිස සහකාර මැතිවරණ කොමසාරිස්‌වරයා ඇතුළු නිලධාරීන් සතුව තිබූ ජංගම දුරකථන තුනක්‌ද පොළොවේ ගසා ඔවුන් අත්අඩංගුවට ගෙන තිබූ ඩිජිටල් පුළුල් තිරය ඇතුළු උපකරණ සහ තවත් භාණ්‌ඩ කීපයක්‌ද පැහැරගෙන ගොස්‌ ඇත.  ත්‍රිකුණාමලය නගරයේ පිහිටි එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන මැතිවරණ කාර්යාලය ඉදිරිපිට පුළුල් තිරයක්‌ ඉදිකර එහි යුද්ධය සමයේ දර්ශන ප්‍රදර්ශනය කරමින් සිට ඇත.
මෙය මැතිවරණ නීති රීති උල්ලංඝනය කිරීමක්‌ බැවින් වහාම නතර කරන ලෙස සහකාර මැතිවරණ කොමසාරිස්‌වරයා දින කීපයක සිට නියෝග කර තිබේ. එහෙත් එම නියෝග නොතකා එම ක්‍රියාව දිගටම කරගෙන යැම නිසා සහකාර මැතිවරණ කොමසාරිස්‌වරයා ඇතුළු පිරිස එහි ගොස්‌ පුළුල් තිරය ඇතුළු භාණ්‌ඩ අත්අඩංගුවට ගැනීමට සූදානම් වී ඇත. එම අවස්‌ථාවේ එහි පැමිණි නියෝජ්‍ය ඇමැති පුංචි නිලමේ මහතා ඇතුළු පිරිසක්‌ මොවුන්ට තර්ජනය කර ඇති අතර එහි සිටි සැකකාර ලේකම්වරුන් දෙදෙනා මැතිවරණ නිලධාරීන්ට පහරදී ඇත.
මැතිවරණ නිලධාරීන් මේ පිළිබඳව පැමිණිලි කිරීමට ගිය අවස්‌ථාවේ පොලිසියට පැමිණ ඇති නියෝජ්‍ය ඇමැතිවරයා ඔවුන්ට තර්ජනය කර ඇති බවද වාර්තා වෙයි.  සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්‍ෂණ කරමින් සිටියදී ලේකම්වරයා සහ සම්බන්ධීකරණ ලේකම්වරයා ත්‍රිකුණාමලය පොලිසිය වෙත ඊයේ පෙරවරුවේ භාරදී තිබේ.  පසුව සැකකරුවන් අත්අඩංගුවට ගත් අතර ඔවුන් ඊයේ සවස අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.   ත්‍රිකුණාමලය පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.
http://www.divaina.com/2015/01/06/news07.html

No comments:

Post a Comment