Nov 23, 2014

 23 November 2014 - රනිල්

රාජපක්‍ෂ රෙජිමයට වුණේ සේරම බදා ගන්න ගිහින් මුකුත්ම නැති වීම - රනිල්

නව  ආණ්ඩුව එක්සත් ජාතික පක්‍ෂය පමණක් සීමා නොවී, මේ රාජපක්‍ෂ රෙජිමය නැති කරන්න ආව සෑම කෙනාටම සහ සෑම පක්‍ෂයකටම සහභාගී වෙන්න පුළුවන් පුළුල් ආණ්ඩුවක්. මම අලූත් දේශපාලන සංස්කෘතියක් පටන් ගන්නවා. අප අපේ පංගුව අරගන්නවා. අනෙක් පක්‍ෂවලට ඒ ගොල්ලන්ගේ පංගුව දෙනවා. අපි ඔක්කොම බදා ගන්න යන්නේ නැහැ. රාජපක්‍ෂ රෙජිමයට වුණේ සේරම බදා ගන්න ගිහින් මුකුත්ම නැති වීමයි' යනුවෙන් එක්සත් ජාතික පක්‍ෂ ජාතික නායක සහ විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ ) කෑගල්ල දිස්ත්‍රික් බල මණ්ඩල රැස්වීමේදී පැවසීය.
එහිදී රනිල් වික්‍රමසිංහ මහතා කළ ප්‍රකාශය පහතින් පලවේ.
 අද කෑගල්ල දිස්ත්‍රික්කයේ මේ රැස්වීම සංවිධානය කිරීම ගැන අපේ පක්‍ෂයේ සභාපති ඔබේ සභාපති කබීර් හෂීම් මන්ත්‍රීතුමාටත්, චම්පික ප්‍රේමදාස මන්ත්‍රීතුමාටත් ඔබ සියලූ දෙනාටම මං මගේ ස්තුතිය ප්‍රකාශ කරනවා. ඒ වගේම කබීර් හෂීම් මන්ත්‍රී තුමා අපේ පක්‍ෂයේ සභාපති හැටියට විශාල සේවයක් කරනවා. රට වටේ එක්කම කෑගල්ල දිස්ත්‍රික්කය වටේ යනවා. චම්පික ප්‍රේමදාස මන්ත්‍රීතුමා හැම වෙලාවේම තමන්ගේ යුතුකම ඉටු කරමින්, මැතිවරණ කොට්ඨාශයේ කටයුතු වලට අමතරව, මුළු රටේම කුඩා ව්‍යාපාරිකයින් සමග සම්බන්ධතා පවත්වමින්, අපේ පක්‍ෂය ශක්තිමත් කරනවා. මෙම මන්ත්‍රීවරුන් දෙදෙනා හුගාක් හොඳ ආදර්ශයක් සෑම කෙනාටම දෙනවා. ඒ වගේම  මෙය සංවිධානය කළ අපේ සංවිධායකයින් සියළු දෙනාටම මගේ ස්තුතිය පුද කරනවා.


පසුගිය මැයි මාසයේ අපි, අපේ දේශපාලන සංචාරයන් කෑගල්ල දිස්ත්‍රික්කයේ රුවන්වැල්ල ආසනයෙන් ආරම්භ කළා. එදා සමහරු ඇහුවා ආණ්ඩුවක් ඇති කරන්න යනවා ද කියලා. අපි දැන් විරුද්ධ පක්‍ෂයේ හිටපු කාලය අවසන් වේගෙන එනවා. හපුතලේ කන්ද නගින්න පටන් ගත්තේ ඌවෙන්. අපි හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීතුමාට ස්තුති වන්ත වෙන්න ඕන. දැන් අපිට තිබෙන්නේ ජනාධිපතිවරණය දිනන්න. එය දිනන්න පුළුවන්. එය දින්නන්න ඕනෑ. ඒ එක්කම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න. ඊළඟට පාර්ලිමේන්තු ඡන්දයට මුහුණ දෙන්න. සිංහල අවුරුද්දෙන් පස්සේ අපි, අපේම ආණ්ඩුවක් ඇති කර ගත යුතුයි. ඒ ආණ්ඩුව එක්සත් ජාතික පක්‍ෂය පමණක් සීමා නොවී, මේ රාජපක්‍ෂ රෙජිමය නැති කරන්න ආව සෑම කෙනාටම සහ සෑම පක්‍ෂයකටම සහභාගී වෙන්න පුළුවන් පුළුල් ආණ්ඩුවක්. මම අලූත් දේශපාලන සංස්කෘතියක් පටන් ගන්නවා. අප අපේ පංගුව අරගන්නවා. අනෙක් පක්‍ෂවලට ඒ ගොල්ලන්ගේ පංගුව දෙනවා. අපි ඔක්කොම බදා ගන්න යන්නේ නැහැ. රාජපක්‍ෂ රෙජිමයට වුණේ සේරම බදා ගන්න ගිහින් මුකුත්ම නැති වීමයි.
දැන් රටේ විශාල ප්‍රශ්න තිබෙනවා.  විරැකියාව තිබෙනවා. අපේ ණය ප්‍රශ්න දිහා බලන්න. මේ විදිහට ගියොත් පරම්පරා තුනක් ඕන වෙයි ණය ගෙවන්න. අධ්‍යාපනය විනාශ වෙලා. ඉතින් යම් කිසි කෙටි කාලයක් අරගෙන අපි සේරම එකතු වෙලා මේ ප්‍රශ්නවලට විසඳුම් හොයනවා නම් අපට පුළුවන්  මේ රට ඉස්සරහට ගෙනියන්න. රැකියා ආදී ප්‍රශ්න විසඳන්න.
මේ ඡන්දෙ පවත්වන්න කියා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඉල්ලූවේ නෑ. ජනාධිපතිතුමායි, රාජපක්‍ෂ රෙජිමයයි බැලූවේ ඉතිරි බලයත් කොහොමද තමන්ගේම ඔඩොක්කුවට දමා ගන්නේ කියලයි. ඒ නිසා ඡන්දය පටන් ගත්තේ සම්පූර්ණයෙන්ම ආණ්ඩු යන්ත්‍රය දේශපාලනය බවට පත් කරලයි. පොලිසිය, හමුදාවේ අය 5000 ක් ගෙනැවිත් දන්සල් දැම්මා. වැඩ කරන්න කිව්වා. සෑම තැනින්ම රජයේ සේවකයන් ගෙනැවිත් සම්පූර්ණ ආණ්ඩු යන්ත්‍රය සහ දිවිනැගුම යන්ත්‍රය තමන් වෙනුවෙන් යොදවා ගන්න පටන් ගත්තා. අපේ සමහර අය බය වුණා. ජනතාව අප සමග සිටියත්, මේ යාන්ත්‍රණය නිසා දිනන්න බැරි වෙයි කියා බය වුණා. අපේ ජයග්‍රහණය අපිට නැති වෙයි කියා සැළුණා.
ඒ බය, ඒ සැකය තිබුණේ අපට විතරක් නෙවෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අයටත් විශාල බයක් හා සැකයක් තිබුණා. මොකද මැතිවරණ ව්‍යාපාරයේදීත්, තීන්දු ගැනීමේදීත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සම්පූර්ණයෙන්ම නොසලකා හැරියා. රජයේ නිලධාරීන් ඉස්සරහට ගත්තා. මන්ත්‍රීවරුන් සහ ඇමැතිවරුන් පැත්තකට දමා ලේකම්වරුන් මුල් තැනට ගත්තා. ඊළඟට තැන දුන්නේ රාජපක්‍ෂ රෙජිමයේ හම්බ කරපු අයටයි. මැතිවරණය බාර දුන්නේ ඒ අයට මිස ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට නෙවෙයි. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයෝ හිතුවා ඔවුන්ට මේ මෙකද්ද වෙන්න යන්නේ කියලා. මේ ඡන්දයෙන් පස්සේ එක්සත් ජාතික පක්‍ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය  දෙකම නැති කරලා, රාජපක්‍ෂ පාලනයක් ඇති කරන බව ඔවුන්ටත් වැටහුණා. ඒ නිසා ඒ අය ඇතුළින්ම සටනක් පටන් ගත්තා.
දැන් අපි රාජපක්‍ෂ රෙජිමය නැති කර රට බේරා ගැනීමට පිට ඉඳන් සටන කරනවා. ඒ අය රාජපක්‍ෂ රෙජිමයට විරුද්ධව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය බේරා ගැනීමට ඇතුළතින් සටන් කරනවා. ඉතින් අපි හිතුවා මේ කණ්ඩායම් දෙකම එකට එකතු වෙන්නට හොඳම වෙලාව මේ බව. එතකොට රටත් බේරෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයත් බේරෙනවා. අපේ පරමාර්ථයත් ඉෂ්ඨ වෙනවා.
ඒ නිසා අපි බැලූවා මේ ගමන එකට යන්න. අපි හිටියේ එක්සත් ජාතික පක්‍ෂය ප්‍රධාන පක්‍ෂය හැටියට අපේක්‍ෂකයා දාන්න. ඒ වුණත් රට වෙනුවෙන්, රටේ අනාගතය වෙනුවෙන් එය අපි පරිත්‍යාග කළා. මොකද විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළාම ආණ්ඩුවක් ගෙනයන්නේ අගමැතිවරයෙක් යටතේයි. ඉතින් අපි ඒ ගමන එකට ආරම්භ කරලා තියෙන්නේ. දැන් විශාල වෙනසක් සිදු වෙලා තිබෙනවා. දැන් එතැනින් එහාට ගමන යා යුතුයි. මේ ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට වැඩ කටයුතු කළ යුතුයි.
අපට තියෙන්නේ කෙටි කාලයයි. දවස් 35 යි.  ඒ දවස් 35 හරියට වැඩ කළොත් දිනන්න පුළුවන්. අපි දිනලා ඉන්නේ කියලා හිතන් හිටියොත් අපි පරාදයි. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට කතා කරන්න. අනෙක් අයට කතා කරන්න. අපේ සටන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමග නොවේ. රාජපක්‍ෂ රෙජීමයට එරෙහිවයි. අලූත් ආණ්ඩුවේ, අලූත් පාර්ලිමේන්තුවේ අපි සියළු දෙනාම එකට වැඩ කරනවා. රාජපක්‍ෂ රෙජීමය නිසා මේ රටේ සැබෑ ශ්‍රී ලංකා පාක්‍ෂිකයන් කොන් වෙලයි හිටියේ. දැන් අපි එකතු වෙලා රාජපක්‍ෂ රෙජිමය නැති කරලා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමය ආපහු ඇති කරමු.  
මේ රටේ එක කාලයක එක්සත් ජාතික පක්‍ෂය පාලනය කළා. තවත් කාලයක දී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය පාලනය කළා. දැන් වෙලා තියෙන්නේ ශ්‍රී ලංකාවත් නැහැ යූඑන්පියත් නැහැ. රාජපක්‍ෂ රෙජිමය පවුල් පාලනයක් ගෙනයන්නයි බලන්නේ. ඊට ඉඩ දෙන්න බැහැ. ආපසු ප්‍රජාතාන්ත්‍රික ද්විපාර්ශික ක්‍රමයකට අපි යන්න ඕන. එය ආරක්‍ෂා කිරීමට තමයි වසන්ත සේනානායක මන්ත්‍රීතුමා මේ පැත්තට ආවේ. ඉතින් අපිට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමග සටනක් නැහැ. අපි සේරම සටන් කරන්නේ අපේ ප්‍රජාතාන්ත්‍රික ක්‍රමය ආරක්‍ෂා කරන්න. ඒ සඳහා රාජපක්‍ෂ රෙජීමයට විරුද්ධව එකබලවේගයකට ගොනු වුණු සියලූ දෙනා සමග අප නව සාමූහික දේශපාලන සංස්කෘතියක් අප මේ රටේ ඇති කරනවා.  
මේක මහරජාණන්ට අයිති රටක් නොවෙයි. මේ ජනතාවගේ රටක්. අපි කොහොමද රට දියුණු කරන්නේ, ජනතාව එකතු කරන්නේ, උතුරේ දකුණේ ප්‍රශ්න ටික විසඳන්නේ, අපි කොහොමද රටක් හැටියට ඉදිරියට යන්නේ. ඒ සියල්ල ගැන හිතලා තමයි මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ සටනට අවතීර්ණ වුණේ. එතුමාට අපි විශේෂයෙන් ස්තඣතිවන්ත වෙනවා.
ඒ වගේම මම ජනාධිපතිතුමාට මගේ කනගාටුව ප්‍රකාශ කරනවා. එතුමා කෝටි 500 ක් වියදම් කරලා මට විරුද්ධව මඩ පෝස්ටර් මුද්‍රණය කළා. දැන් ඉතින් ඒවා අලවන්නේ නැතුව ළඟින්ම තියාගෙන ඉන්න කියලා මම ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.  
හැම පක්‍ෂයකම අය අපේ මැතිවරණ ව්‍යාපාරයට එක් කර ගන්න. කෑගල්ල දිස්ත්‍රික්කයේ සමසමාජ පාක්‍ෂිකයන්ටත් අප අරාධනා කරනවා. ආචාර්ය එන්.එම් පෙරේරා මහතා ජීවතුන් අතර හිටියා නම් එතුමා අද ඉන්නේ මේ වේදිකාවේ කියලා මම බය නැතිව කියනවා. මෙය රටේ අනාගය වෙනුවෙන් කරන සටනක්. රටේ ප්‍රජාතතන්ත්‍රවාදය වෙනුවෙන් කරන සටනක්. පවුලකට සහ ඔවුනගේ හෙංචයියන් කීප දෙනෙකුට පමණක් බලය ලබා දීමට එරෙහිව කරන සටනක්. ජනතාවට ජය ලබා දීම සඳහා කරන සටනක්.  
මේ සටන අපි ජයග්‍රහණය කරලා අලූත් යුගයක් මේ රටේ ඇති කරමු. ජනතාවගේ ආපසු තමන්ගේ නිදහස ලබා ගෙන රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න පුළුවන් හැටියට පාලනයක් ඇති කරලා ඉදිරියට යමු. අපට මුහුණ දෙන්න තියෙන්නේ තව ඡන්ද දෙකකටයි. මුලින්ම ජනාධිපතිවරණයට. ඉන්පසු පාර්ලිමේන්තු මැතිවරණයකට.  ඒ නිසා ශ්‍රී ලංකා නිදහස පක්‍ෂය සමග එකතු වෙලා, අපේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සමග ඉදිරියට ගොස්, මේ රටට නව දේශපාලන සංස්කෘතියක්, දියුණු සංවර්ධිත සමාජයක් සහ ප්‍රජාතන්ත්‍රවාදී දේශයක් ගොඩ නංවමු.

No comments:

Post a Comment