Dec 27, 2014

27 Dec 2014
ඡන්ද අක්‍රමිකතා ඇතිවෙන්න ඉඩ දෙන්නේ නෑ
පොදු අපේක්‍ෂක මෛත්‍රිපාල සිරිසේන
මැර බලයෙන් ජනපති  යළි බලය ගන්න හදනවා
විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ 


අර්ධ රාජාණ්‌ඩුවක්‌ නිර්මාණය කරගෙන ඇති රාජපක්‍ෂ පාලනයට තවත් වතාවක්‌ බලය දුන්නොත් මේ රට සම්පූර්ණයෙන් රාජාණ්‌ඩුවක්‌ බවට පත්වන බව ස්‌ථිර බව ජනාධිපතිවරණයේ විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා පෙරේදා (24 වැනිදා) කිරිබත්ගොඩ, කොළොන්නාව, නුගේගොඩ, දොම්පේ, දෙහිවල සහ කැස්‌බෑවේ පැවැති ජනහමුවලදී පැවසීය.

එහිදී තදුරටත් අදහස්‌ දැක්‌වූ මෛත්‍රිපාල සිරිසේන මහතා මෙසේද කීවේය.
කැලණිය වැනි මහා ඓතිහාසික පුදබිමක සිට ඔබ සමග මෙසේ එක්‌වීමට තරම් මා වාසනාවන්ත වී තිබෙනවා. රටේ ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස මේ රැස්‌වීම පවත්වන ස්‌ථානයෙන්ම පැහැදිලි වෙනවා. මට මෙවැනි ස්‌ථානයක කතා කරන්න සිදුවීම ගැන එක්‌ අතකින් සතුටු වෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලනය මේ රටේ තිබෙන බවට ජනාධිපති හැමවිටම පුරසාරම් දොඩවනවා. ජනතාවගේ අදහස්‌ ප්‍රකාශ කිරීමට ඇති අයිතිය, රැස්‌වීම් පැවැත්වීමේ අයිතිය, තමන් කැමැති දේශපාලන පක්‍ෂයකට සහයෝගය දැක්‌වීමේ අයිතිය ප්‍රජාතන්ත්‍රවාදය සහ යහපාලනයට අයිති මූලික ලක්‍ෂණ කිහිපයක්‌ම ජනාධිපතිතුමාට හෙට මෙතැනට එන්න පුළුවන් නම් දැනේවි රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ තරම. අරලියගහ මන්දිරයේ නියෝග අනුව මේ රටේ කිසිම පොදු ස්‌ථානයක්‌ විපක්‍ෂයේ රැස්‌වීම් සඳහා ලබාගන්න බැහැ. 

http://www.divaina.com/2014/12/26/news10.html
2005 දී සුන්දර මිනිසකු ලෙස අප දුටු මහින්ද රාජපක්‍ෂ මහතා මේ වනවිට නීතිය, පොලිසිය, අධිකරණය සහ ප්‍රජාතන්ත්‍රවාදය නැති කර තිබෙනවා. 

මේ මැතිවරණයේ ජනමතය මහින්ද රාජපක්‍ෂ විරෝධීයි. ජනමතයේ බහුතරය පොදු අපේක්‍ෂකයා දිනවීමයි. ජනතාවට වෙනසක්‌, අලුත් ආණ්‌ඩුවක්‌ අවශ්‍යව තිබෙනවා. නිහඬ බවින් ඒ දෙය කරමු. නිහඬ බව ශක්‌තිමත් රටක සදාචාරය විනාශ කළ නායකයකුගේ පාලනය අවසන් කිරීම සඳහා නිහඬ බවේ ශක්‌තියෙන් උත්තර දෙමු.

ශ්‍රී ලනිපය, බණ්‌ඩාරනායක ප්‍රතිපත්ති මේ ආණ්‌ඩුවේ නැහැ. බණ්‌ඩාරනායක දර්ශනය නැහැ. දූෂණය ඉහවහ ගිය තක්‌කඩි පිළිවෙතක්‌ මේ ආණ්‌ඩුවේ තිබෙනවා. මේ වනවිට අර්ධ රාජාණ්‌ඩුවක්‌ හදලා ඉවරයි. පොදු මහජනයාට රාජපක්‍ෂ ආණ්‌ඩුව පිළිබඳ බියක්‌ ඇතිවී තිබෙනවා. දැන් රජෙකුගේ ස්‌වරූපයෙන් හැසිරෙනවා. මේ ආණ්‌ඩුව කරන සංවර්ධන කටයුතුවල වංචාව, දූෂණය ඉහවහා ගිහින්. කිසිම ඇස්‌තමේන්තුවක්‌ කැබිනට්‌ මණ්‌ඩලයට පෙන්වන්නේ නැහැ. ඉංජිනේරුවන්ට උපදෙස්‌ දී තිබෙනවා ව්‍යාපෘතියකට වැය වන මුදලට වඩා 2/3 ක මුදලක්‌ අනුමත කරන ලෙසට. මුළු රටේම වංචාව දූෂණය ඉහ වහා ගිහින් තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී රටක පාලකයකු සතු විය යුතු බලතල ඉක්‌මවා යමින් රජෙකුගේ බලතල ආරූඪ කර ගෙන තිබෙනවා.

ජනාධිපතිගේ මැතිවරණ ප්‍රකාශයේ මෙවරත් සඳහන් වෙනවා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට. ඒ සඳහා තව අවුරුද්දක්‌ යනවලු. මේ පොරොන්දුව 2005 දීත් දුන්නා. 2010 දීත් දුන්නා. ඒත් ඉටු කළේ නැහැ. අපේ ආණ්‌ඩුවේ ප්‍රධාන අරමුණ මේ රටේ දුගී භාවය නැති කිරීමයි. සංවර්ධනයේ සුන්දර පැත්තට වඩා ජනතාවගේ කුසගින්න වැඩි බව ජනාධිපතිට අපි කිව්වා. නගර ලස්‌සන කරනවට වඩා ජනතාවට තුන් වේල කන්න දෙමු කියලා අපි ජනාධිපතිතුමාට කිව්වා. ඒත් ඇහැව්වේ නැහැ. දැන් මැතිවරණ අල්ලස්‌ විදිහට ගම්පහ පළාතේ සිටින යුවරජු නොයෙක්‌ නොයෙක්‌ දේවල් මේ ජනතාවට බෙදමින් යන බවත්, හෙට අනිද්දට නැව්වලින් බයිසිකල්, ෆෝන්, සිල් රෙදි ගෙනත් බෙදන්න සූදානම් වෙනවා. මේ ඔබගේ සල්ලි. ඒ නිසා මේ දෙන දේවල් ඔක්‌කොම ගන්න. අරගෙන හංසයා ඉදිරියේ කතිරය ලකුණු කරන්න.

මේ රටේ නිදහස්‌ අධ්‍යාපනය, සෞඛ්‍ය විනාශ කර තිබෙනවා. රටේ අමාත්‍යාංශ පාලනය කරන්නේ ඇමැතිවරු නොවේ. රජ පවුල මගින් රටේ හැම අමාත්‍යාංශයක්‌ම පාලනය වෙනවා. බස්‌නාහිර පළාතේ අධ්‍යාපනය පහළ වැටිලා. ගම්පහ, කොළඹ දිස්‌ත්‍රික්‌කවල අධ්‍යාපනය පහළ වැටිලා. රාජ්‍ය සේවය අකර්මණ්‍ය වෙලා. මේ හැමදෙයක්‌ම සාර්ථකත්වයට ගෙන එන්න අපි කටයුතු කරනවා. නැති වී ගිය සදාචාර සම්පන්න සමාජයක්‌ අපි අලුතින් ඇති කරනවා. ප්‍රාදේශීය දේශපාලනඥයන් ස්‌ත්‍රී දූෂණවලට අහුවෙලා. ඒත් මහින්ද රාජපක්‍ෂ පවුලේ සුරතලුන් වූ ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වුණේ නැහැ.

මහින්ද රාජපක්‍ෂ ආණ්‌ඩුව හැදුවේ අපි. ඒත් මේ ආණ්‌ඩුව අධ්‍යාපනය, අධිකරණය, සදාචාරය විනාශ කළ නිසා අපි ආණ්‌ඩුවෙන් එළියට බැස්‌සා. 2015 ජනවාරි 9 වැනිදාට මේ රටේ අපි අලුත් ආණ්‌ඩුවක්‌ බිහි කරන එක කාටවත් නතර කරන්න බැහැ. මහින්ද රාජපක්‍ෂ මහතාගේ මුහුණ මේ දවස්‌වල අඳුරුවෙලා. මැලවිලා. පරාජිත මුහුණක්‌ තමයි තිබෙන්නේ. 

මේ ඡන්දය දූෂණයට ලක්‌වෙන බවට රාවයක්‌ යනවා. ඡන්ද අක්‍රමිකතා දූෂණ ඇති වෙන්න අපි ඉඩ දෙන්නේ නැහැ. වේදිකා ගිනි තැබුවට, වේදිකාවලට වෙඩි තැබුවට අපි ඒ අයට වෛර කරන්න යන්නේ නැහැ. අවිහිංසාවාදයෙන් අපි මේ සටන ජය ගන්නවා. මැර බලය, අවි බලය, රාජ්‍ය බලය, තිබුණා වේ. ජනතාවගේ සුඛ විහරණය පිණිස මා ආණ්‌ඩුවෙන් එළියට ආවේ ඔය ඕනෑම බලයකට බිය නැතිව මුහුණු දීමේ අධිෂ්ඨානයෙනි. ඒ නිසා අපි බය නැහැ. ලබන 09 වැනිදාට අපි බිහි කරන අලුත් ආණ්‌ඩුවෙන් මේ හැම බලයක්‌ම පරාද කරලා ජන බලය රජ කරනවා. 

එජාප හා විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා- මේ වර්ෂාව මධ්‍යයේ මට ඇහුම්කන්දෙන්න පැමිණි ඔබට මාගේ ස්‌තුතිය මෙසේ පුද කරනවා. මහින්ද රාජපක්‍ෂගේ මැර පිරිසක්‌ අද උදේ සිරිකොතට ඇවිත් අපට පහර දෙන්න ආවා. විමල් වීරවංශගේ කට්‌ටියකුත් එතන හිටියා. අපි අපේ පක්‍ෂ මූලස්‌ථානය ඉදිරියට ඔවුන් එන්නේ අපි යනවද ඔවුන්ගේ පක්‍ෂ මූලස්‌ථානයක්‌ ඉදිරිපිටට මේ විදිහට මැරකම් කිරීමට. අද උදේ සිරිකොතේ තිබුණ අධ්‍යාපන සේවක සංගමයේ රැස්‌වීමක්‌ පක්‍ෂ මූලස්‌ථානයත් වටකර ඔවුනට පහර දෙන එක මොන ප්‍රජාතන්ත්‍රවාදයක්‌ද? අවසානයේ එතන විශාල ගැටුමක්‌ ඇති වුණා. ජනාධිපතිතුමා ප්‍රමුඛ ආණ්‌ඩුව මොකක්‌ද මේ කරන්න හදන්නේ.

ජනාධිපතිතුමා මැර බලයෙන් මේ ජනාධිපතිවරණය දිනන්න හදනවා. අපි මැර බලයෙන් මේක දිනන්න දෙන්නේ නැහැ. ඊයේ රෑ කොළොන්නාවේ වේදිකාවට වෙඩි තියලා තිබෙනවා. වඳුරඹ වේදිකාව පිච්චුවට නීත්‍යානුකූලව ඊට එරෙහිව කටයුතු කළ පොලිස්‌ ස්‌ථානාධිපතිට නොයෙක්‌ බලපෑම් එල්ල වුණා. ඔහුව නිවාඩු යෑව්වා. අපේ ඡන්ද ව්‍යාපාරය නතර කරන්න ආණ්‌ඩුව හැම දෙයක්‌ම කරනවා. නීතිපති දෙපාර්තමේන්තුව අද ජනාධිපති යටතට අරගෙන තිබෙනවා. හැමතැනම මූල්‍ය වංචාවන් සිදුවෙනවා. 2013 වසරේදී පමණක්‌ ස්‌ත්‍රී දූෂණ පැමිණිලි 2300 ක්‌ පොලිසියට ලැබී තිබෙනවා. ඒත් වරදකරුවන් අතරින් පැමිණිලි අතරින් 7 දෙනෙකුට පමණයි දඬුවම් කරලා තිබෙන්නේ. 2300 න් සියයට 10 ක්‌ වත් වැරදිකරුවන් නොවේද? එතකොට මේ පැමිණිලි බොරු පැමිණිලිද? කාන්තාවක්‌ හිංසනයට, දූෂණයට ලක්‌ කරන්න දේශපාලනඥයන්ගේ අනුදැනුම ඇතිව පුළුවන් කියන දෙය ද මෙයින් රටට ප්‍රකාශ වෙන්නේ? කුඩු කන්ටේනර් පිටින් ලංකාවට ගේනවා. අද හැම තැනම කුඩු තිබෙනවා. මේවාට විරුද්ධව මොනවද අරගෙන තිබෙන ක්‍රියා මාර්ග?

ආසියාවේ පැරැණිම පොලිසිය ලෙස සැලකෙන පොලිසියට අද අත්වෙලා තිබෙන ඉරණම ගැන කනගාටුයි. ආසියාවේ පැරැණිම නීතිපති ඉන්නේ ලංකාවේ. ඒත් නීතිපති දෙපාර්තමේන්තුව, අධිකරණ දෙපාර්තමේන්තුව අද අඩපණයි. ස්‌වාධීන පොලිසිය, ස්‌වාධීන අධිකරණ, ස්‌වාධීන රාජ්‍ය සේවය වෙනුවෙන් 2001 දී මම කොමිෂන් සභා ඇති කළා. මහින්ද රාජපක්‍ෂ මහතා ඇයි මේ කොමිෂන් සභා ක්‍රියාත්මක කරන්නෙ නැත්තේ? අද නීතිය වල් බිහිවෙලා. තුන් වැනි වරටත් බලය ඉල්ලන නව ප්‍රතිපත්ති ප්‍රකාශයේත් මේ කොමිෂන් සභා පිහිටුවන බවට සඳහනක්‌ නැහැ.

විරැකියාව, ජීවන වියදම පිළිබඳ මෙන්ම නීතිය හා සාමය පිළිබඳවද අපිට ප්‍රශ්නයක්‌ තිබෙනවා. සුදු වෑන් වලිනුයි ආණ්‌ඩුවට එරෙහි වුණු මිනිස්‌සුන්ව මුලින්ම ඉස්‌සුවේ. දෙවැනි වතාවේදී ඩිෙµන්ඩර්වලින් මිනිස්‌සු ඉස්‌සුවා. තුන්වැනි වතාවේ බලය දුන්නොත් යුද ටැංකිවලින් උස්‌සයි කියලා බයක්‌ දැනෙනවා. අසීමිත විධායක බලය ඉවත් කර පාර්ලිමේන්තුවට වගකියන විධායක අගමැති ධුරයක්‌ අපි ඇති කරනවා. නීතිය රජ කරවන රටක්‌ බිහි කිරීමට මෛත්‍රී පාලනයක්‌ ඇති කළ යුතුයි.

රටේ හැම දෙයක්‌ම ඇති කරවීමට නීතිය අවශ්‍යයි. මහින්ද රාජපක්‍ෂ රජතුමා වෙනුවට නීතිය රජකරන පාලනයක්‌ අපි ඇති කරනවා. ඒ සඳහා පක්‍ෂ පාට භේදයකින් තොරව අපි මෛත්‍රීපාල මහතා ජයග්‍රහණය කළ යුතුයි. ඒ සඳහා ඔබ සැම දෙනාගේ සහය අපේ පොදු අපේක්‍ෂකයාට ලබාදෙන්න.

එජාප භික්‍ෂු පෙරමුණේ උප සභාපති මාලබේ සීලරතන හිමි, බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රිනි නිරෝෂා අතුකෝරාල මහත්මිය, පාර්ලිමේන්තු මන්ත්‍රී වත්තල එජාප සංවිධායක නීතිඥ ජෝන් අමරතුංග මහතා, හිටපු පළාත් සභා මන්ත්‍රී රෙහෙනසිරි වරාගොඩ මහතා, දොම්පේ එජාප සංවිධායක හර්ෂණ රාජකාරුණා, කැලණිය සංවිධායක බෙවන් පෙරේරා ඇතුළු මන්ත්‍රීවරු රැසක්‌ මෙම රැළි ඇමතූහ.


No comments:

Post a Comment