Dec 27, 2014

27 Dec 2014
ජනාධිපතිවරයා එපා නම්  එය තීරණය කළ යුත්තේ ජනතාවයි
රාවණා බළකායේ මහලේකම් ඉත්තෑකන්දේ සද්ධාතිස්‌ස හිමි
මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා එපා නම් ඒක කළ යුත්තෙ ජනතාවයි. ජනාධිපතිතුමා ජීවිත කාලයම සිටිය යුතු නෑ. හැබැයි ඒක කරන්නේ දේශපාලනඥයෝ නම්, කොටි ඩයස්‌පෝරාව නම් රටට ආදරේ කරන, මාතෘ භූමියට ආදරය කරන "රාවණා බලය" ඊට ඉඩ දෙන්නේ නැතැයි එම බළකායේ මහලේකම් ඉත්තෑකන්දේ සද්ධාතිස්‌ස හිමියෝ පැවැසූහ.
උන්වහන්සේ මේ බව කියා සිටියේ
(23 වැනිදා) කොළඹ, සුගතදාස ගෘහස්‌ථ ක්‍රීඩාංගණයේ පැවැති විශේෂ සම්මේලනයට සහභාගි වෙමිනි.
ලංකා දේශපාලනය වෙනස්‌වෙමින්, චලනය වෙමින් තිබෙන මොහොතක්‌. පසුගියදා බණ්‌ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති රාවණා බළකායේ මහ සම්මේලනයෙන් පසුව විශේෂ සම්මේලනයක්‌ පවත්වන්න සිදුවුණා.
අවුරුදු තිහක යුද්ධය අවසන් කරලා, නිදහස්‌ව, නිවහල්ව ජීවත් වෙන්න අපි පටන් ගත්තා. නමුත් යම් උගුල් අටවමින්, මේ සාමකාමී පරිසරය විනාශ කරන්න පිරිසක්‌ කටයුතු කරනවා. හිටපු ජනාධිපතිනිය අවුරුදු දහයක්‌, එකොළහක්‌ බලයේ ඉඳලා විශ්‍රාම ගියා. දැන් එයා මහගෙදර ගැන කියලා අඬන්න පටන් අරන්.
මුස්‌ලිම් අන්තවාදය, කොටි ඩයස්‌පෝරාව එක්‌ක එකතු වෙලා යළි රට අරාජික කරන්න හදන්නේ. ප්‍රභාකරන්ගේ දුවට මල්මාලා යවන නායිකාවෝ එදා රණවිරුවෝ මාතෘභූමිය වෙනුවෙන් දිවි පුදද්දී, ප්‍රභාකරන්ගේ දුවට මල් කළඹවල් යෑවූ කාලයක්‌ තිබුණා.
සෞඛ්‍ය ඇමැති සිරිසේන මහත්තයට, සෞඛ්‍ය පනතවත් සම්මත කරගන්න බැරි වුණා. සිගරට්‌ පෙට්‌ටියේ සෞඛ්‍ය අවවාද සහිත ඡායාරූප පළ කරගන්න බැරි වුණා. එයාට රට පාලනය කරන්න පුළුවන්ද? සරත් ෆොන්සේකාත් රෑ වැටුණ වළේ දවල් වැටිලා. එයත් යුද්ධයේදී අණදුන්, යුද්ධය දිනන වෙලාවේ හිටපු යුද හමුදාපති.

http://www.divaina.com/2014/12/27/news19.html
දෙමළ ඩයස්‌පෝරාව, මුස්‌ලිම් අන්තවාදය අද මේ විපක්‍ෂය සමඟ එක්‌වෙලා මේ උත්සාහ ගන්නේ මහින්ද රාජපක්‍ෂ මහත්තයා ගෙදර යවන්න විතරද? නෑ. මේ හදන්නේ රට අස්‌ථාවර කරන්න. යුද ජයග්‍රහණයේ දී යුද අපරාධ කළා කියලා ජනාධිපතිතුමයි, ආරක්‍ෂක ලේකම්තුමයි, හිටපු හමුදාපති සරත් ෆොන්සේකයි ජාත්‍යන්තර යුද අධිකරණයට දක්‌කන්න.

රණවිරුවන් දංගෙඩියට ගෙන යන එක නතර කළ යුතුයි. ප්‍රංශය, ඉතාලිය, කැනඩාව ඇතුළු රටවල්වල "රාවණා බලය" ශාඛා අපි අරඹනවා. කොටි ඩයස්‌ පෝරාවට අපි කියනවා, පුළුවන්නම් ජනාධිපතිතුමයි, ආරක්‍ෂක ලේකම්තුමයි, රණවිරුවන්වයි යුද අධිකරණයට අරගෙන යන්න, රාවණා බලය ඒකට ඉඩ දෙන්නේ නෑ කියලා මතක තියාගන්න කියලා අපි මේ අයට කියනවා.

චම්පිකලා ධර්ම රාජ්‍යයක්‌ හදන්න කතා කළා. අද ඒ අය කොහෙද ඉන්නේ. හෙළ උරුමය අද ඉන්නේ එල්.ටී.ටී.ඊ. ය සමඟයි. අසාද් සාලි, මුස්‌ලිම් කොංග්‍රසය සමඟින් අද හෙළ උරුමය වාඩිවෙලා ධර්ම රාජ්‍යය හදන්න යන්නේ.

ජනාධිපතිවරණය අස්‌සේ කන්න දෙයි. වාහන දෙයි. ඡන්දය ඉවර වෙනකම් මේවා දෙයි. අපි බය නැතුව එකක්‌ කියන්න ඕනේ. ජනාධිපතිතුමාට කවුරුවත් බනින්නේ නෑ. බනින්නේ ඇමැතිවරුන්ට. ජනතාව බනින්නේ හොර හැත්තට. අර ඌරු කොටුවේ ඉන්න හොර හැත්තට. හොඳ අයත්, හොරුත් ඌරු කොටුවේ ඉන්නවා. ජනාධිපතිතුමා ළඟ එල්ලුන කූඩැල්ලෝ ටික ගලවලා දැම්මා නම් ප්‍රශ්නයක්‌ වෙන්නේ නෑ. අද පිරිහිලා තියෙන්නේ විධායකය නොවේ, ව්‍යවස්‌ථාදායකයයි. වෙනස්‌ කරන්න ඕනේ විධායකය නොවෙයි. ව්‍යවස්‌ථාදායකයයි. පාර්ලිමේන්තුවට රිංගලා ඉන්න හොරු ටිකයි පන්නන්න ඕනේ.

ඒ නිසා ජනතාව බුද්ධිමත්ව කටයුතු කළ යුතුයි. තිස්‌ වසරක යුද්ධය නිමා කරලා රටට, රටේ ජනතාවට නිදහස, සාමය, සංවර්ධනය ගෙනාපු ජනාධිපතිතුමාට එරෙහි වී සිටින මේ බලවේග පරාජය කරන්න කටයුතු කළ යුතුයි.

මෙහිදී කතා කළ රාවණා බලය සංවිධානයේ සභාපති රුක්‌මලේ ධම්මකිත්ති හිමි - යුද්ධය අවසන් කරලා අපට නිදහස්‌ නිවහල් රටක්‌ ලැබුණා. පරසුද්දන්ට ගැතිකම් කරන, රට විනාශ කරන්න සිටින පිරිසක්‌ ඒ දිනාගත් නිදහස යළි විනාශ කරන්න පිඹුරුපත් සකසන, තීරණාත්මක වෙලාවක්‌ මේක. ජනාධිපතිතුමා 2005 දී බලයට පත්කළ ජනතාව ඉල්ලුවේ කන්න බොන්න නැතත් කමක්‌ නෑ මේ යුද්දෙ ඉවරකරලා දෙන්න කියලයි. ඒත් අද බොහෝ දෙනකුට ඒ යුද්ධය අමතක වෙලා. අපි ඒ රටට දිනාදුන් නිදහස කිසිදා අමතක කළ යුතු නෑ. මේ වෙලාවේ මහා සංඝරත්නය විදිහට ජනතාව දැනුවත් කිරීම අපේ යුතුකමයි. රටට දිනාදුන් නිදහස ආපසු යුද්ධයකට රැගෙන නොගොස්‌ බුද්ධිමත්ව ජනතාව කටයුතු කළ යුතුයි.

මෙහිදී රණවිරු ලාල් ගාමිණී ජයතිලක ඇතුළු කිහිපදෙනකු ද කතා කළහ.
 

No comments:

Post a Comment