Jan 7, 2015

ජනාධිපතිවරණයට අදාළ පැමිණිලි 1012 ක්‌

06 Jan 2015
ජනාධිපතිවරණයට අදාළ පැමිණිලි 1012 ක්‌ - මැතිවරණ නිරීක්‍ෂණ ජාලය කියයි

ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි එක්‌දහස්‌ දොළහක්‌ (1012) ඊයේ (05 වැනිදා) වන විට මැතිවරණ නිරීක්‍ෂණ ජාලයට ලැබී ඇති බව එම ජාලයේ මාධ්‍ය සම්බන්ධීකාරක නීතිඥ චමින්ද ගුණසේකර මහතා සඳහන් කළේය. වැඩිම පැමිණිලි සංඛ්‍යාව නීති විරෝධී මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට අදාළව ලැබී ඇති අතර එම සංඛ්‍යාව තුන්සිය හැත්තෑවක්‌ (370 ක්‌) බව හෙතෙම පැවසීය.
රාජ්‍යසම්පත් අවභාවිතය පිළිබඳ පැමිණිලි එකසිය අනූඑකක්‌ද, මහජන මතයට අනිසි බලපෑම් කිරීම් පිළිබඳ පැමිණිලි එකසිය තිස්‌පහක්‌ ද මැතිවරණ ප්‍රචණ්‌ඩ ක්‍රියා එකසිය දාහතරක්‌ ද රාජ්‍ය බලය මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා යොදාගැනීම පිළිබඳ පැමිණිලි අනූහතක්‌ ද නිත්‍යානුකූල මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට බාධා කිරීම් හැත්තෑ දෙකක්‌ සහ පොලිසියේ පක්‍ෂපාතී ක්‍රියාකලාපය පිළිබඳ පැමිණිලි තිස්‌තුනක්‌ ද ඒ අතර වන බව චමින්ද ගුණසේකර මහතා කියා සිටියේය.
හෙතෙම එම අදහස්‌ ඊයේ (05 වැනිදා) ප්‍රකාශ කළේ මරදාන සමාජීය හා සාමයික කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

No comments:

Post a Comment