Jan 10, 2015

ජනපති මෛත්‍රී

10 Dec 2015
ජනපති මෛත්‍රී
* ඡන්ද 62,17,162ක්‌-විශිෂ්ට ජයක්‌
* ලියාපදිංචි සංඛ්‍යාවෙන් සියයට 81.52ක්‌ ඡන්දය දෙති
* මහින්දට ඡන්ද 57,68,090 යි
හැට දෙලක්‍ෂයකට අධික ඡන්ද සංඛ්‍යාවක්‌ හිමිකර ගනිමින් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා පෙරේදා (08 වැනිදා) පැවැති හත්වැනි ජනාධිපතිවරණයෙන් විශිෂ්ට ලෙස ජයග්‍රහණයක්‌ ලබා ශ්‍රී ලංකා ජනරජයේ නව ජනාධිපති පදවියට පත්විය.
විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක ලෙස ජනාධිපතිවරණයට තරග කළ මෛත්‍රීපාල සිරිසේන මහතා ඡන්ද හැටදෙලක්‍ෂ දහහත් දහස්‌ එකසිය හැට දෙකක්‌ ලබාගැනීමට සමත් වූ අතර එය වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 51.28 කි.
ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්‍ෂකයකු ලෙස තරග කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට ලබාගත හැකිවූයේ ඡන්ද පනස්‌හත් ලක්‍ෂ හැටඅට දහස්‌ අනූවක්‌ පමණි. එය වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 47.58 කි.

ජනාධිපති මැතිවරණ ඉතිහාසයේ වැඩිම ඡන්ද ප්‍රතිශතයක්‌ ඡන්ද ප්‍රකාශ වූයේ මෙවර වීම විශේෂත්වයකි. එනම් ලියාපදිංචි ඡන්දදායකයන්ගෙන් සියයට 81.52 ක්‌ මෙවර ඡන්දය ප්‍රකාශ කර තිබේ. එම ප්‍රමාණය 12264377 කි. එයින් ඡන්ද 140925 ක්‌ ප්‍රතික්‍ෂේප වී තිබේ.
ඡන්ද විමසීම සිදුකළ දිස්‌ත්‍රික්‌ක විසිදෙකෙන් දොළහක්‌ මෛත්‍රීපාල සිරිසේන මහතා ජයගත්තේය. කොළඹ, ගම්පහ, මහනුවර, නුවරඑළිය, යාපනය, වන්නි, මඩකලපුව, දිගාමඩුල්ල, ත්‍රිකුණාමලය, පොලොන්නරුව, බදුල්ල හා පුත්තලම එම දිස්‌ත්‍රික්‌ක වෙයි. මහින්ද රාජපක්‍ෂ මහතා කළුතර, මාතලේ, ගාල්ල, මාතර, හම්බන්තොට, කුරුණෑගල, අනුරාධපුර, රත්නපුර, කෑගල්ල හා මොනරාගල දිස්‌ත්‍රික්‌ක 10 ජයග්‍රහණය කරනු ලැබීය.
මෙවර ඡන්ද ප්‍රකාශ කිරීමට ඡන්දදායකයන්ගේ විශාල උනන්දුවක්‌ දක්‌නට ලැබිණි. ඡන්ද විමසීම සිදු කළ දින පෙරවරුවේ ඡන්ද මධ්‍යස්‌ථානවල දිගු පෝලිම් දක්‌නට ලැබිණි.
ඡන්ද ප්‍රතිඵලවලට අනුව ඡන්ද කොට්‌ඨාස 160 න් 79 ක්‌ මෛත්‍රීපාල සිරිසේන මහතාට හිමිවිය. කොළඹ දිස්‌ත්‍රික්‌කයේ මැදකොළඹ, උතුරු කොළඹ, නැගෙනහිර කොළඹ, බටහිර කොළඹ, බොරැල්ල, දෙහිවල, රත්මලාන, කොලොන්නාව, මොරටුව මෛත්‍රීපාල සිරිසේන මහතාට හිමිවිය. නුවරඑළිය මස්‌කෙළිය ආසනය වැඩි ඡන්ද එක්‌ලක්‍ෂ පහළොස්‌දහසකින් ද, ත්‍රිකුණාමලය තිස්‌හත්දහසකින්ද, කල්කුඩා, මුතූර් පනස්‌දහසකින් ද මඩකලපුව 76000 කින් ද, පොතුවිල් 60000 කින් ද, වවුනියාව, කල්මුණේ 41000 කින් ද පොලොන්නරුව 30000 කින් පමණ ද වැඩි ඡන්ද ලබාගැනීමට ඔහුට හැකිවිය. උතුරු හා නැගෙනහිර පළාත් දෙකින් වැඩිම ඡන්ද සිරිසේන මහතාට හිමි වූ අතර එහි සේරුවිල හා අම්පාර කොට්‌ඨාස දෙක පමණක්‌ රාජපක්‍ෂ මහතාට ජය ගැනීමට හැකිවිය.
මහින්ද රාජපක්‍ෂ මහතාට ඡන්ද කොට්‌ඨාස 81 ක බලය හිමිවිය. හම්බන්තොට, අනුරාධපුරය, මොනරාගල යන දිස්‌ත්‍රික්‌ක සම්පූර්ණයෙන්ම ඔහුට හිමි වූ අතර ගාල්ල දිස්‌ත්‍රික්‌කයේ ආසන 9 ක්‌, මාතර ආසන 06 ක්‌, කුරුණෑගල ආසන 12 ක්‌, කෑගල්ල ආසන 8 ක්‌ ජයගැනීමට මහින්ද රාජපක්‍ෂ මහතාට හැකිවිය.
ඡන්ද විමසීම පෙරේදා (08 දා) සිදුකෙරුණු අතර තැපැල් ඡන්ද ගණන් කිරීම පස්‌වරු 4.00 ටත් ආසන මට්‌ටමින් ගණන් කිරීම සවස 7.00 ටත් ආරම්භ විය. ඒ අනුව පළමු ඡන්ද ප්‍රතිඵලය ලෙස රත්නපුර දිස්‌ත්‍රික්‌ තැපැල් ඡන්ද ප්‍රතිඵල රාත්‍රි 11.35 ට පමණ නිකුත් කෙරුණු අතර අවසන් සමස්‌ත ප්‍රතිඵල පිළිබඳ නිවේදනය පෙරවරු 11.45 ට මැතිවරණ කොමසාරිස්‌වරයා විසින් නිවේදනය කරනු ලැබීය.

MS in stunning win over MR

 

No comments:

Post a Comment