Jan 10, 2015

- ට‍්‍රාන්ස්පේරන්සි හෙළි කරයි

08 Jan 2015
- ට‍්‍රාන්ස්පේරන්සි හෙළි කරයි
transparancy

ජාතික රූපවාහිනිය, ස්වාධීන රුපවාහිනී මාධ්‍ය ජාලය සහ ශ‍්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව ජනාධිපතිවරණය ආරම්භයේ සිටම නීතිය සහ සදාචාරය නොසලකමින් ජනාධිපතිවරයාගේ මැතිවරණ ප‍්‍රචාරක මධ්‍යස්ථාන ලෙස ක‍්‍රියාත්මක වූ බවත්, මැතිවරණ ප‍්‍රචාරක කටයුතු අවසන් කළ යුතුව තිබූ ඉකුත් සදුදා මධ්‍යම රාත‍්‍රියෙන් පසුවද මැතිවරණ කොමසාරිස්වරයාගේ උපදෙස් සහ මාධ්‍ය ආචාර ධර්ම බරපතල අයුරින් උල්ලංඝනය කරමින් එම කටයුතු අඛණ්ඩව සිදුකළ බවත් ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ‍්‍රී ලංකා ආයතනය පවසයි.
ඡන්ද විමසීම්  සිදුකෙරෙන අතර පවා මේ ආයතන සිය මාධ්‍ය මගින් ජනාධිපතිවරයාගේ ප‍්‍රතිරූපය වර්ධනය කෙරෙන ප‍්‍රශස්ති ගායනා සහ විවිධ දැන්වීම් විශාල වශයෙන් විකාශය කළ බව ට‍්‍රාන්ස්පේරන්සි පොදු දේපල අයථා පරිහරණ නිරීක්ෂණ අංශයේ මාධ්‍ය හැසිරීම නිරික්ෂණ කණ්ඩායම පෙන්වා දෙයි.
පොදු දේපලක් වන රාජ්‍ය මාධ්‍ය මේ ආකාරයෙන් එක් පුද්ගලයෙකුගේ පෞද්ගලික දේශපාලන ප‍්‍රචාරක කටයුතු සඳහා යොදාගැනීම පිළිබඳ මැතිවරණ කොමසාරිස්වරයාට පැමිණිලි කළද, මැතිවරණ කොමසාරිස්වරයාට පවා එම තත්ත්වය වැළැක්වීමට නොහැකි වූ බවද ට‍්‍රාන්ස්පේරන්සි ආයතනය පවසයි.
පොදු දේපල අයථා පරිහරණය නිරීක්ෂණ වැඩසටහනේ මාධ්‍ය නිරීක්ෂණ කණ්ඩායම ඉකුත් 04දා නිකුත් කළ වාර්තාවකට අනුව ජාතික රූපවාහිනිය සහ ස්වාධීන රූපවාහිනී සේවය ( ITN ) රාත‍්‍රී ප‍්‍රධාන ප‍්‍රවෘත්ති විකාශයේදී දිගින් දිගටම ජනාධිපතිවරයාගේ ප‍්‍රතිරූපය පුම්බන සහ විපක්ෂයේ පොදු අපේක්ෂකයාගේ ප‍්‍රතිරූපය හකුළන ආකාරයෙන් ප‍්‍රවෘත්ති ඉදිරිපත් කර තිබේ. සෙසු අපේක්ෂකයන් පිළිබඳ හෝ මැතිවරණය පිළිබඳ ජනතාව දැනුම්වත් කෙරෙන ප‍්‍රවෘත්ති  ඉදිරිපත් කර නොමැත.ශ‍්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සිටි එෆ් එම් සහ ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ ලක්හඩ විකාශයද මීට සමාන ආකාරයෙන් ප‍්‍රවෘත්ති විකාශනය කර ඇති බව එම ආයතනය පෙරේදා නිකුත් කළ වාර්තාවක දැක්වේ.මැතිවරණ ප‍්‍රචාරක කටයුතු අවසන්වීමෙන් පසුවද මෙම මාධ්‍ය ආයතන ඍජු සහ වක‍්‍ර ආකායෙන් ජනාධිපතිවරයාගේ මැතිවරණ ප‍්‍රචාරක කටයුතු සිදුකර තිබේ.

No comments:

Post a Comment