Nov 28, 2014

27 Nov 2014  .MS
මහත්මා ගාන්ධි සහ නෙල්සන් මැන්ඩෙලාගේ
දර්ශන මාගේ ප්‍රතිපත්ති බවට පත්කර ගන්නවා
විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන

සියලු දෙනා එකතුවී සිටින්නේ රාජපක්‍ෂ රෙජීමය
පරාජය කර ප්‍රජාතන්ත්‍රවාදය ඇතිකිරීමටයි
එජාප නායක රනිල් වික්‍රමසිංහ

අපේ රටේ තැලෙන පෙළෙන පොඩි
මිනිහා දිනවන්න කටයුතු කරවනවා
සජිත් ප්‍රේමදාස
http://www.divaina.com/2014/11/27/news36.html

පොදු අපේක්‍ෂක මෛත්‍රිපාල සිරිසේන සහ එජාප නායක හා ජාතික නායක රනිල් වික්‍රමසිංහ යන මහත්වරු ඊයේ (26දා) සිරිකොතදී හමුවීමෙන් පසුව එජාප ආසන සංවිධායකවරු දිස්‌ත්‍රික්‌ කළමනාකරුවන්, පළාත් සභා මන්ත්‍රීවරුන් සහ එජාප නියෝජිතයන් ඇමතූ අයුරු හා එම අවස්‌ථාවට පැමිණි පිරිසෙන් කොටසක්‌.

මහත්මා ගාන්ධි දර්ශනය සහ නෙල්සන් මැන්ඩෙලා දර්ශනය තම ප්‍රතිපත්ති බවට පත් කර ගන්නා බව විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා සිරිකොතදී ඊයේ (26 දා) පැවැසීය.

එජාප නායකයන්, ආසන සංවිධායකයන්, දිස්‌ත්‍රික්‌ කළමනාකරුවන්, හමු වූ අවස්‌ථාවේ පැවැති උත්සවයේදී හෙතෙම මේ බව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ මෛත්‍රීපාල සිරිසේන මහතා - 

මේ රටේ දේශපාලනයේ ඓතිහාසික තීන්දුවක්‌ ගත් අවස්‌ථාවක්‌ මේක. එජාපය නමැති මේ රටේ කීර්තිමත් දේශපාලන පක්‍ෂයේ මූලස්‌ථානයට මේ රටේ කීර්තිමත් ශ්‍රීලනිපයේ මහා ලේකම්වරයා එක්‌කරගෙන ඇවිත් ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපතිවරයා ලෙස පත් කරන්නට කටයුතු කරන්නට පක්‍ෂයේ නායකයාගේ සිට සියලු පාක්‍ෂිකයා දක්‌වා මට ලබා දුන් ශක්‌තියට මා ස්‌තුතිවන්ත වෙනවා.............




ඒ සෙනෙහෙබර ශක්‌තිය, දයාව සහ කරුණාවට මා ඉතාමත් ගරු කරනවා. බොහෝ අය අද අපි අරගෙන තිබෙන තීරණය ගැන නොයෙකුත් අදහස්‌ කියනවා. ගමේ, නගරේ ජනතාව රූපවාහිනියක්‌, පත්තරයක්‌ බැලුවොත් ඒ බව අපට පෙනෙනවා. ඊට ප්‍රධානම හේතුව අප කරන්නේ කුමක්‌ද කියා තවම තේරී නැහැ. ඉදිරි සතිය තුළ ඒ අයටත්, ජාත්‍යන්තරයටත් දැනගත හැකි වෙනවා ඉතා පැහැදිලිව අප අත්සන් කරන ලියෑවිල්ල තුළ අප කරන්නේ කුමක්‌ද කියලා.

විධායක ජනාධිපති ධුරයට පත් වෙන්න කලින් එය අහෝසි කරනවා කියලා නායකයෝ කිව්වා. 1994 දීත් 2005 දීත් මේ බව කිව්වා. විශේෂයෙන් ම ශ්‍රීලනිප නායකයෝ. එදා මහා භාරතයේ නිදහස වෙනුවෙන් මහත්මා ගාන්ධි විශාල කැපකිරීමක්‌ කළා සිය ජීවිතයත් පරිත්‍යාග කළා.

දකුණු අප්‍රිකාවේ නෙල්සන් මැන්ඩෙලා 27 අවුරුද්දක්‌ සිරබත් කෑවා. ඊට පසුව ජනාධිපති ධුරයට පත්වෙලා අවුරුදු හතරක්‌ බලයේ හිටියා. එක වාරයයි හිටියේ. දෙපාරක්‌ හිටියෙත් නැහැ. තුන්වරක්‌ ඕනෑ කියලාත් කිව්වේ නැහැ. ඊළඟ කෙනාට රට බාරදීලා විශ්‍රාම ගත්තා.

මම මහත්මා ගාන්ධි නොවෙයි. මම නෙල්සන් මැන්ඩෙලා නොවෙයි. එහෙත් මහත්මා ගාන්ධි දර්ශනය සහ නෙල්සන් මැන්ඩෙලා දර්ශනය උතුම් වූ ප්‍රතිපත්ති බවට පත් කොට ගෙන එය මගේ දර්ශනය බවට පත්කර ගන්නවා.

එජාපය ප්‍රමුඛව විවිධ දේශපාලන පක්‍ෂ සමඟ අතුරලියේ රතන හිමි, රාජිත සේනාරත්න මහතා, චJද්‍රිකා බණ්‌ඩාරනායක මහත්මිය පමණක්‌ එක්‌වෙලා කරනු ලැබූ අරගලයක ප්‍රතිඵලයක්‌ නොවෙයි මේක. විධායක ජනාධිපති ධුරය ඇති වූ දවසේ සිටම මේ රටේ ජනමතයක්‌ ඇතිවුණා, මේ විධායකය වෙනස්‌ කළ යුතුයි කියලා. ශ්‍රීලනිපය එය කිව්වේ 77 ව්‍යවස්‌ථාව සම්මත කළ අවස්‌ථාවේ. එදා සිට ශ්‍රීලනිපය ඊට විරුද්ධව හිටියා. නමුත් බලයට ඇවිත් ඒ දේ කළේ නෑ.

අද මා මේ සිරිකොතට එනවිට අවුරුදු 47 ක්‌ අඛණ්‌ඩව සිටි ශ්‍රීලනිප පාක්‍ෂිකයෙක්‌ විදිහට මතක්‌ වුණා මුල්කිරිගල මැතිවරණය ගැන. එදා ඒ අතුරු මැතිවරණයේදී මම බොහොම තරුණයි. මැතිවරණය දවසේ සිදු වූ දේවල් අනුව මට කැලේ පාරකින් පැනලා එන්න සිද්ධ වුණා ඇඹිලිපිටිය බස්‌ නැවතුම්පළට. මාව එහෙම එව්වේ ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතායි.

මා ඉතා ගරු කරනවා ගාමිණී අතුකෝරල මැතිතුමාට, ඒ සිද්ධියෙන් පසුව අවුරුදු හතරකට පසුව මා පාර්ලිමේන්තුවට පත්වුණා. දවසක්‌ මා භෝජනාගාරයේ කෑම බෙදාගෙන ගිහින් වාඩිවෙලා තනියම කෑම කනකොට ගාමිණී අතුකෝරල ඇමැතිතුමා මා ළඟට ආවා. ඇවිල්ලා වාඩිවෙලා ඔබතුමා අලුතින් නේද කියලා ඇහුවා. එවිට ඔහු මහවැලි ඇමැතිවරයා. මම ඔව් කිව්වා. එවිට ඔහු කිව්වා මාව නම් ඔයා අඳුරනවා ඇති ඒත් මම නම් ඔයාව අඳුරන්නේ නෑ කියලා.

ඒත් මම කිව්වා මම ඔබතුමාව හොඳට අඳුනනවා කියලා. එවිට එතුමා ඇහුවා හොඳට අඳුනන්නේ කොහොමද කියලා. මම කිව්වා සර්ට මතකද මුල්කිරිගල අතුරු මැතිවරණයේදී ඇතිවෙච්ච සිද්ධිය ගැන. එවිට එතුමා කෑම කන එක නතර කරලා මගේ දිහා හොඳට බැලුවා. මම කිව්වා එදා ඔබතුමා කොල්ලෙක්‌ පස්‌සේ එළෙව්වා මතකද කියලා.

එවිට ඒ සිද්ධිය ඔයා දන්නේ කොහොමද කියලා මගෙන් ඇහුවා. එවිට මම කිව්වා ඒ දුවපු කොල්ලා මම කියලා. එදායින් පසුව ගාමිණී අතුකෝරල ඇමැතිතුමා, මාත් එක්‌ක ගොඩක්‌ හිතවත් වුණා. පොලොන්නරුවේ ඉඩම් බෙදනකොට මට ගොඩාක්‌ උදව් කළා. පස්‌සේ මට කිව්වා දේශපාලනය ඔහොම තමයි ඔබතුමා මට ඕන දෙයක්‌ කියන්න මම කරලා දෙන්නම් කියලා.

ඒ නිසා අපිට මේ රටේ දේශපාලනයේ හොඳ අත්දැකීම් තිබෙනවා. එජාපය ඓතිහාසික පරිත්‍යාගයක්‌ කරලා තිබෙනවා. මෙවැනි කැප කිරීමක්‌ ලෝකයේ කිසිම පක්‍ෂයක්‌ මෙහෙම කරලා නැතිව ඇති. මෙය පහසු කාරණාවක්‌ නෙවෙයි.

ආණ්‌ඩුව මේ ගැන කියන්නේ එජාප පාක්‍ෂිකයන්ට මෛත්‍රිපාල සිරිසේනට ඔබේ පක්‍ෂයේ බලය පාවා දුන්නා කියලා. ශ්‍රීලනිපය පාක්‍ෂිකයන්ගේ ඔළුවට දාන්නේ මෛත්‍රිපාල සිරිසේන මේ බාරගෙන තියෙන්නේ කොන්ත්‍රාත් එකක්‌. එජාපයට ආණ්‌ඩුවක්‌ හදල දීලා මිනිහා අයින් වෙන්නයි කියලා. නමුත් අපි හදන ආණ්‌ඩුව කුමක්‌ද කියලා රනිල් වික්‍රමසිංහ මහතා පැහැදිලි කළා.

මෙය පහසු කාර්යයක්‌ නොවෙයි. රටක්‌ වෙනුවෙන් කළ යුත්තේ අප අපහසු කාරණායි. ඇමරිකාවේ වර්ණභේදවාදයට විරුද්ධව කටයුතු කළ ආචාර්ය මාර්ටින් ලූතර් කිං මහතා ප්‍රකාශ කළේ අද ලෝකයේ අයිතිවාසිකම් පිළිබඳව මතයක්‌ ගොඩනැගීමට ප්‍රධානතම අභියෝගය යහපත් මිනිසුන්ගේ නිහඬතාවයයි කියලා, යහපත් මිනිසුන් නිහඬතාවයෙන් තොරව නැගිsටින්නයි කියලා.

මා ඉතා ගෞරවයෙන් ඉල්ලනවා මා ගැන මගේ හෘද සාක්‍ෂිය ගැන විශ්වාසය තියන්න කියලා. මා ප්‍රභූ, ධනපති පවුලක කෙනෙකු නොවෙයි. මම ආචාර්ය, මහාචාර්ය කෙනෙකු නොවෙයි. මේ රටේ වෙලේ, පැලේ හැදුනු, කුඹුරේ නියරේ ගිය දුප්පත් ගොවියකුගේ පුතෙක්‌. මම ඔක්‌ස්‌µර්ඩ් ගිහින් නැහැ. මම දීර්ඝ කාලීන දේශපාලනයේ නිරත වූවෙක්‌. අවුරුදු 49 ක්‌ ඊට අයත්.

මම ආණ්‌ඩුවෙන් එළියට බැස්‌සේ මගේ පවුලේ පස්‌දෙනකුගේ ජීවිතය ජාතියට පූජා කරලයි. මේ මැතිවරණයේ එන අභියෝග ගැන දන්නවා. මා පොදු අපේක්‍ෂකයා ලෙස තෝරාගෙන මාධ්‍ය සාකච්ඡාව තියලා පැය 12 ක්‌ යන්න මත්තෙන් මගේ ආරක්‍ෂාව ඉවත් කළා. මට පොලිසියේ රාළහාමිලා දෙන්නෙක්‌ විතරයි දැන් ඉන්නේ. නමුත් පොදු අපේක්‍ෂකයකු ලෙස මහින්ද රාජපක්‍ෂ වැනි කෙනෙකු සමඟ සටනට යන අපේක්‍ෂකයකුට තිබෙන අභියෝග පැහැදිලියි. මගේ ආරක්‍ෂාව ඉවත් කරලා මාව තනි කළාට කමක්‌ නැහැ. මගේ ආරක්‍ෂාව ජනතාවට බාරයි.

අපි විධායකය ඉවත් කරනවා පමණක්‌ නොවෙයි. අපි දේශපාලන පක්‍ෂත් ආරක්‍ෂා කරනවා. මේ තුන්වැනි සැරේ යන්න හදන්නේ පක්‍ෂ විනාශ කරන්නයි. එජාප පාක්‍ෂිකයන්ට තිබෙන ප්‍රශ්නෙ තමුන්ගේ ආණ්‌ඩුවක්‌ නැති එක. ශ්‍රීලනිප පාක්‍ෂිකයන්ට තිබෙන ප්‍රශ්නේ ශ්‍රී ලංකා නිදහස්‌ පාක්‍ෂිකයෝ ආණ්‌ඩුවක්‌ හැදුවා. ඒකේ ශ්‍රී ලංකා නිදහස්‌ පාක්‍ෂිකයෝ නෑ කියන එක. අපේ ආණ්‌ඩුව තුළ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය කෝ කියලා අපේ ඇමැතිවරු අපෙන් අහනවා. මේ තනන්න හදන්නේ මේ රටේ දේශපාලන පක්‍ෂ නැති කරලා, අතුගාලා දාල ආඥාදායක ගමනක්‌ යන්නයි. ඒකට කිසිදු දේශපාලන පක්‍ෂයක්‌ ඉඩ දෙන එකක්‌ නැහැ. ජාතියේ නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය, මූලික අයිතිවාසිකම් රකින ආණ්‌ඩුවක්‌ හදලා එය මේ රටේ ජනතාවට බාරදීම සඳහා කටයුතු කරනවා. ඒ සඳහා 2015 ජනවාරි 08 වැනිදා ඡන්දපොළට ගිහින් මගේ ජයග්‍රහණය ලබා දෙන්න කිsයලා මා ගෞරවයෙන් ඉල්ලනවා.

එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා - 

මම 1985 මුල්කිරිගල අතුරු මැතිවරණයේදීයි මෙතුමාව හඳුනා ගත්තේ. එතුමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු, ඇමැතිවරයකු ලෙස කටයුතු කොට අද විපක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂකයා බවට පත්වී තිබෙනවා. ඒ සඳහා ආණ්‌ඩුවේ ඇමැතිධුර, වරප්‍රසාද සියල්ල අත්හැර තිබෙනවා. එජාපයේ සියලු දෙනා ඌව පළාතට ගිහින් පසුගිය පළාත් මැතිවරණයේදී වැඩ කළ නිසයි අපට මේ මැතිවරණය ලබා ගන්නට පුළුවන් වුණේ. ඒ පිළිබඳව මා හරින් ප්‍රනාන්දු මහතාට ස්‌තූතිවන්ත වෙනවා.

දැන් අපිට තව ටිකදුරයි යන්න තිබෙන්නේ, බෙරගල පසු කරලා හපුතලේ කන්දේ තව ටිකයි යන්න තිබෙන්නේ. එවිට අපි විපක්‍ෂයේ නෑ. අපි ලබන අවුරුද්ද ආරම්භ කළ යුත්තේ රාජපක්‍ෂ රෙජීමය පරාජය කරලයි. මෛත්‍රිපාල ජනාධිපති බවට පත් කරලා අපේ ආණ්‌ඩුවක්‌ පිහිටුවාගෙනයි අපි ලබන අවුරුද්ද ආරම්භ කළ යුත්තේ.

මෙතුමා පොලොන්නරුවේ කෙනෙක්‌. විජයබා රජුගෙන් සහ පරාක්‍ර්‍රමබාහු රජුගෙන් අනතුරුව රජරට දියුණු කළේ ඩී. එස්‌. සේනානායක, ඩඩ්ලි සේනානායක, ඡේ. ආර්. ජයවර්ධන යන මහත්වරුයි. ලංකාවේ වැඩියෙන්ම වැව් හැදුවේ ඡේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමයි. එතුමා ඒවායින් ශතයක්‌වත් කොමිස්‌ ගත්තේ නැහැ. එතුමාගේ දේපොළත් එතුමා පරිත්‍යාග කළා. අද අපේ වේදිකාව ඉතා වෙනස්‌. මැතිවරණයක්‌ ප්‍රකාශ වුණාට පසුව අපි සටනට බහින්නේ. ඒ ශ්‍රීලනිපයට විරුද්ධවයි. ඒත් අද එහෙම නැහැ. අද මෙතැන ශ්‍රීලනිපයේ නීත්‍යානුකූල ලේකම් සිටිනවා අපි සමග. අපි සියල්ල එකතුවෙලා සිටින්නේ රාජපක්‍ෂ රෙජීමය පරාජය කරලා ප්‍රජාතන්ත්‍රවාදය ඇතිකරන්නට.

ජනාධිපතිවරයා දේශපාලන පක්‍ෂ කඩන්න හැදුවා. අපේ පක්‍ෂයත් කඩන්න හැදුවා. ඒත් මම එය රැක ගත්තා. බණ්‌ඩාරනායක මහත්මයා ශ්‍රීලනිප හැදුවා. රටකට දේශපාලන පක්‍ෂ දෙකක්‌ තිබිය යුතුයි. අද මේ රටේ ආර්ථිකය කඩා වැටිලා තිබෙන්නේ. දූෂණය හැම තැනම, රණවිරුවෝ අද කේ පීට සැලියුට්‌ කරනවා. තණකොළ කපනවා.

අද නිදහස්‌ අධ්‍යාපනය, සෞඛ්‍ය නෑ. නීතියේ ආධිපත්‍ය නෑ. නිදහස්‌ කොමිෂන් නෑ. මෙහෙම තවදුරටත් යන්න බෑ. ඒ නිසා අපි සියලු දෙනා එකතුවී මේ මැතිවරණය කරමු. ගමේ ශ්‍රීලනිපයේ පාක්‍ෂිකයන් සමග ජවිපෙ පාක්‍ෂිකයන් සමග, හෙළ උරුමය සමග සාකච්ඡා කරලා ඔවුන්වත් අපි එකතු කරමු. තමන්ගේ ඡන්ද පොළෙන් ඡන්ද බහුතරයක්‌ ගන්න කටයුතු කරමු.

එහෙම කරලා අපි ලබන 8 වැනිදා දිනලා ආණ්‌ඩුවක්‌ හදමු. එය ශ්‍රීලනිප හෝ එජාප ආණ්‌ඩුවක්‌වත් නොවෙයි. ඒක ලබන මහ මැතිවරණය තෙක්‌ හැම පක්‍ෂයක්‌ම එක්‌කර ගෙන ආණ්‌ඩුවක්‌ හදමු. විධායකය අහෝසි කරන්නයි එය ඇති කරන්නේ. විධායක අගමැති ධුරයක්‌ ඇති කොට පාර්ලිමේන්තුවට යටත්ව එය තිබිය යුතුයි. ඒ වගේම කෙටි කාලීනව අපි ජනතා සහය දිය යුතුයි. ව්‍යවස්‌ථා සංශෝධනයක්‌ ඇති කරලා පසුව ජනතාවට අවස්‌ථාව දෙන්න ඕනෑ. පාර්ලිමේන්තුවක්‌ අලුතින් පත් කර ගන්න.

අපි අලුත් වෙනසක්‌ ඇති කරමු. ඊළඟ මැතිවරණයේදී අපි අලියා ලකුණින් තරග කරනවා කියලා මගේ බලාපොරොත්තුව, එජාපයට ආසන බහුතරයක්‌ අරගෙන දෙන්න. නමුත් අපි තනි පක්‍ෂයක ආණ්‌ඩුවක්‌ ඇති කරන්නේ නැහැ. මේ රටේ මූලික ප්‍රශ්න විසඳන්න අපි අවුරුදු දෙකක්‌ හෝ කෙටි කාලයක්‌ හෝ ක්‍රියා කළ යුතුයි. අපි නැවත බහු පක්‍ෂ ක්‍රමයට යා යුතුයි.

මේ රටේ ප්‍රශ්න නොවිසඳුවොත් නැවත ත්‍රස්‌තවාදයක්‌ රටේ ඇතිවේවි. ඊට ඉඩ දෙන්න බැහැ. අපි මහා පරිවර්තන යුගයක්‌ ඇති කළ යුතුයි. රට තුළ අලුත් ලංකාවක්‌ රැඩිකල් වෙනසක්‌ ඇති කරනවා.

එජාප උපනායක රවී කරුණානායක මහතා - 

ප්‍රජාතන්ත්‍රවාදී විදියට මේ රට ඉදිරියට ගෙනයැම සඳහා ආණ්‌ඩුවේ තනතුරු පූජා කරලා අද නොබියව මෛත්‍රිපාල සිරිසේන මහතා විපක්‍ෂයේ පොදු අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් වෙලා තිබෙනවා. අද මහින්ද රාජපක්‍ෂ පාලනය හෙමින් හෙමින් වියෑකෙනවා. අද මේ රටේ ජනතාවට විශාල ප්‍රශ්න ඇතිවී තිබෙනවා. රටේ යහපාලනය ගිලිහී ගොස්‌ තිබෙනවා.

අද ෆයිල් තියෙනවා කියලා ජනාධිපතිවරයා මැති ඇමතිවරුන්ව බ්ලැක්‌මේල් කරනවා. අද බඩගින්න, දුප්පත්කම, ජාතිවාදය, ආගම්වාදය ඇති කරලා. මේ තත්ත්වය නැති කරන්න අද සියලුම පාක්‌ෂිකයන් එකතුවෙලා තිබෙනවා. ශ්‍රීලනිපය, ජවිපෙ, එජාප, දෙමළ පක්‍ෂ, ජාතික හෙළ උරුමය ඉදිරියේදී මේ ශක්‌තිය තවදුරටත් පෙන්වාවි. 

මේ රට අද උතුරු කොරියාවක්‌ වෙලා. නමුත් අපට අවශ්‍ය දකුණු කොරියාව වගේ සංවර්ධන රටක්‌, ආදායම් ඇති රටක්‌. එය කිරීමට අපට හැකිවේවි.

එජාප මහලේකම් තිස්‌ස අත්තනායක මහතා - 

අද ඉතා විශේෂිත දවසක්‌. ඉදිරි ජනාධිපතිවරණයේදී පොදු අපේක්‍ෂකයා ලෙස මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නම එජාප කෘත්‍යාධිකාරී මණ්‌ඩලය විසින් ඒකමතිකව සම්මත කර ගත්තා. අපේ පක්‍ෂය විසින් ගත්තු මේ තීරණය සමග අපේ සංවිධායකයන් බිම් මට්‌ටමේ සාමාජිකයන්, පොදු අපේක්‍ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාව ජයග්‍රහණය කරවන්න කටයුතු කරනවා.

අපේ ලොකු බලාපොරොත්තුවක්‌ තිබෙනවා. මේ ආණ්‌ඩුව පරාජයට පත් කරලා එජාප ආණ්‌ඩුවක්‌ හදන්න. අපි දශක දෙකක්‌ විපක්‍ෂයේ සිටියා. විශාල පීඩනවලට ලක්‌වුණා. නමුත් අද අපිට තිබෙනවා ඊට එහා ගිය අරමුණක්‌. මේ රටේ ජාතික බලවේග සියල්ල එකතු කරගෙන අපි ඉදිරි ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ යුතුයි. නමුත් අපට මේ ගමන එජාපය අමතක කරලා යන්න බැහැ. අලියා නැතුව කොළපාට නැතුව යන්න බැහැ.

එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා - 

අපේ නායකතුමා, ඓතිහාසික තීන්දුවක්‌ අරගෙන තිබෙන්නේ දෙවැනි වතාවටත්. දැන් අපි මේ පිළිබඳව අපේ ගම් මට්‌ටමේ පාක්‌ෂිකයන්ට මේ පිළිබඳව ඇඟට දැනෙන ලෙස දැනුවත් කළ යුතුයි. පෙරහැරක විවිධ අංග තිබෙනවා. නමුත් කරඬුව ගෙන යන්නේ ඇතා. ඒ නිසා මේ එජාප පාක්‌ෂිකයෝ මේ තීරණය ගැන කුකුසක්‌ ඇති කර ගත යුතු නැහැ. අප මුළු රටම දෙදරුම් කන විදියට මැතිවරණ ව්‍යාපාරයක්‌ ගෙන යා යුතුයි. එජාප පාක්‌ෂිකයන් සුරැකීමේ අයිතිය මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් රනිල් වික්‍රමසිංහ නායකතුමාට සින්නක්‌කර ඔප්පුවකින් අයිතිය ලබාදී තිබෙනවා.

අද තවම නාමයෝජනා භාරදීලත් නැතුව ආණ්‌ඩුව හොඳටම බයවෙලා. කවුරු මැර ප්‍රහාර එල්ල කළත් එජාපයේ ජනබලය මේ රාජ්‍ය ත්‍රස්‌තවාදය පරාජය කරනවා කියලා කිව යුතුයි. මෛත්‍රිපාල මහතා මගේ පියා වගේ පොඩි තැනකින් ආවේ. එතුමාව ඉදිරි ජනාධිපතිවරණයේදී ජයග්‍රහණය කරවා මේ රටේ තැලෙන පෑගෙන පොඩි මිනිහාව දිනවන්න අපි කටයුතු කරනවා.

හිටපු ධීවර ඇමැති රාජිත සේනාරත්න මහතා - 

අපේ ඇමතිධුර වරදාන වරප්‍රසාද අපි අත්හැරලා ආවේ. මේ රට යන දිශාව ගැන කල්පනා කර බලලයි. මේ දූෂිත දේශපාලනයෙන් රට බේරා ගන්නයි මෛත්‍රිපාල සිරිසේන මහතා පොදු අපේක්‍ෂකයා වුණේ. කව්ද නෝනා කෙනෙක්‌ කියලා තිබුණා ආණ්‌ඩුවෙන් වෙන කවුරුවත් යන්නේ නැහැ කියලා. අපිට පුරුදු කරලා තියෙන්නේ ඇන්දේ දත් ඔක්‌කොම එක පාරට ගලවන්න එපා. දත් එක එක ගලවන්න කියලා. ඒ අනුව ඊයේ කෙනෙක්‌ ආවා, අද කෙනක්‌ ආවා. හෙට තව කෙනෙක්‌ එනවා. ඒක නවත්වන්න ආණ්‌ඩුවට බැහැ.

අපි රාජපක්‍ෂ පාලනයට විරුද්ධවයි ආවේ. අද මේ රටේ පක්‍ෂවලට ඉඩක්‌ නැහැ. ඉඩ තිබෙන්නේ රාජපක්‍ෂලටයි. පවුල් පාලනයක්‌ තිබෙන්නේ. පසුගිය කාලය පුරාවටම මේ රටේ බුද්ධි අංශ අපි ගැන හෙව්වා. අපි යන්නේ කොතැනද, කරන්නේ මොනවද කියලා හෙව්වා. ඒත් හොයාගන්න බැරි වුණා. කොහොමද මහින්ද රාජපක්‍ෂගේ බුද්ධි අංශය. එයාගේ මල්ලිගේ බුද්ධි අංශයනේ මේක. මම යන දවසේ උදෙන්ම ජනාධිපතිතුමා මට කෝල් කරලා ඇහුවා රාජිත ඔයා යනවද කියලා. මම කිව්වා මම බුදි සර් කියලා කොහේ යන්නද සර් කියලා ඇහුවා. හැබැයි මම හවස යනවා කියලා කිව්වේ නැහැ.

මෙම අවස්‌ථාවට එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් සභා මන්ත්‍රීවරුන්, ආසන සංවිධායකයන්, දිස්‌ත්‍රික්‌ කළමනාකරුවන් ඇතුළු විශාල පිරිසක්‌ සහභාගිවී සිටියහ.

No comments:

Post a Comment