Dec 20, 2014

19 Dec 2014
ජනවාරි 9 වැනිදා බිහිවන නව ආණ්‌ඩුවට ජනතා පොරොන්දු ඉටුකරන ලෙස බලකරනවා
- ජ.වි.පෙ. ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා කියයි
ජනාධිපතිවරණයෙන් පසුව පිහිටුවන ආණ්‌ඩුවේ කොටස්‌කාරයන් බවට පත් නොවී ඔවුන් ජනතාවට ලබා දුන් පොරොන්දු ඉටුකරවා ගැනීම සඳහා බලපෑම් කිරීමේ කටයුත්තට ජනතා විමුක්‌ති පෙරමුණ මැදිහත් වන බව එම පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඊයේ (18 වැනිදා) ප්‍රකාශ කළේය.
බත්තරමුල්ල පැලවත්තේ පිහිටි ජ.වි.පෙ. කාර්යාලයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ටිල්වින් සිල්වා මහතා මෙසේද කීය.

මේ ජනාධිපතිවරණය රාජ්‍ය බලය පාවිච්චි කිරීම, රාජ්‍ය දේපළ යොදා ගැනීම අතින් ලෝක වාර්තාවක්‌ තියන්නයි යන්නේ. ඒ තරමටම රාජ්‍ය බලය සහ දේපළ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේ මැතිවරණ කටයුතු සඳහා යොදා ගනිමින් තිබෙනවා. ජනාධිපතිවරණයට දින නියම කරන්න කලින් සිටම මහින්ද රාජපක්‍ෂ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම ආරම්භ කළා. මහා මාර්ගවල විදුලි කණුවල කටවුට්‌ එල්ලුවා. පාර වැහෙන තරමටම කටවුට්‌ ගහන්න පටන් ගත්තා. ඒ සඳහා සමාජ විරෝධය එල්ල වීමත් නීතිඥ සංගමය නීතිමය පියවර ගැනීමට සූදානම් වීමත් නිසා මෙම කටවුට්‌ ඉවත් කිරීමට ආණ්‌ඩුවට සිදුවුණා. නමුත් තවමත් නීති විරෝධී කටවුට්‌ මුළුමනින්ම ඉවත් කරලා නැහැ. මේ වනවිටත් බොහෝ රාජ්‍ය ආයතන ඇතුළේ කටවුට්‌ සවිකරමින් තිබෙනවා. පසුගිය කාලයේ අනුලා විද්‍යාලය තුළ ගුරුවරුන්ගේ විරෝධය නොසලකා කටවුට්‌ සවිකළා. අධිවේගී මාර්ග අවසන් වන ස්‌ථානවල මාතර, කොට්‌ටාව වැනි ප්‍රදේශවල විශාල වශයෙන් කටවුට්‌ ප්‍රදර්ශනය කරමින් තිබෙනවා. මෙහි බරපතළකම කොච්චරද කිව්වොත් ආරම්භයේදී කටවුට්‌ සවිකිරීමට පොලිස්‌ නිලධාරීන් පවා යොදාගත්තා. අඟුණකොළපැලැස්‌ස ප්‍රදේශයේ දී පොලිස්‌ ස්‌ථානාධිපතිවරයාගේ වගකීම සහිතව කටවුට්‌ සවිකරලා තිබුණා. මැතිවරණ නීතිය ආරක්‍ෂා කිරීමට ඉන්න පොලිසිය පවා තමන්ගේ මැතිවරණ කටයුතු සඳහා යොදාගන්න මහින්ද රාජපක්‍ෂ කටයුතු කළා.

මේ වනවිට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මැතිවරණ යාන්ත්‍රණය සම්පූර්ණයෙන්ම බිඳ වැටිලා. ඒ නිසාම වැඩි වැඩියෙන් රාජ්‍ය ආයතන මැතිවරණයට යොදාගනිමින් තිබෙනවා. මෛත්‍රීපාල සිරිසේන මහලේකම්වරයා, හෙළ උරුමය ආණ්‌ඩුවෙන් ඉවත් වීමත්, රාධා ක්‍රිෂ්නන්, දිගම්බරන් වැනි නියෝජ්‍ය ඇමැතිවරුන් ඉවත් වීමත් රාවුµa හකීම්ගේ පක්‍ෂය නිහඬව සිටීම නිසාත් එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ, ශ්‍රී ල.නි.ප.යේ මැතිවරණ කටයුතු මුළුමනින්ම බිඳ වැටිලා. පාක්‍ෂිකයන් පවා මැතිවරණ වැඩවලට සම්බන්ධ වෙන්නේ නැහැ. ඒ නිසා මහින්ද රාජපක්‍ෂට රාජ්‍ය ආයතන, රජයේ සේවකයන් යොදාගන්න සිදුවෙලා. මාර්ග සංවර්ධන අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය වැනි ආයතන රාජපක්‍ෂ පවුලේ සාමාජිකයන් යටතේ තිබීම නිසාම එම ආයතනවල රාජ්‍ය දේපළ සහ සේවකයන් පෝස්‌ටර් අලවන්න, කැන්වසින් යන්න යොදා ගන්නවා. පසුගියදා මාර්ග සංවර්ධන අධිකාරිය චක්‍රලේඛයක්‌ ගහලා තිබුණා දෙසැම්බර් 20 වැනිදා සිට සති අන්තවලදී ආණ්‌ඩුවේ මැතිවරණ වැඩ සඳහා සේවකයන් අනිවාර්යයෙන් සම්බන්ධ විය යුතුයි කියලා. ඒ වගේම දෙසැම්බර් 03 වැනිදා පවත්වන ජනාධිපතිවරයාගේ රැස්‌වීමටද ඔවුන්ගේ පැමිණීම අනිවාර්ය කරලා. ඒ වගේම ශ්‍රී ලංගම බස්‌ රථ, සේවකයන් මැතිවරණ වැඩට යොදා ගන්නවා. ශ්‍රී ලංගමයේ ශ්‍රී ල.නි.ප. වෘත්තීය සමිතියේ සභාපති නිමල් අබේසිරි ඇමැතිවරයාගේ බලතල අනුව කටයුතු කරනවා. ඔහු ශ්‍රී ලංගම ප්‍රාදේශීය කළමනාකරුවන් ඇතුළු මුළු සේවක යාන්ත්‍රණයටම ලිපි මගින් නියෝග ලබාදෙමින් ඉන්නවා. සියලුම ලංගම සේවකයන්ට තැපැල් ඡන්ද අයදුම් කිරීම අනිවාර්ය කිරීම, නිවාඩු අවලංගු කිරීම වැනි කටයුතුවලට ඩිපෝ කළමනාකරුවන්ට උපදෙස්‌ ලබාදෙන්නේ ශ්‍රී ල.නි.ප. සමිති සභාපතිවරයා. ඒ විතරක්‌ නොවෙයි ඩිපෝ කළමනාකරුවන් සෘජුවම ශ්‍රී ලංගම සේවකයන් සමඟ මැතිවරණ කටයුතුවල නිරත වීම අනිවාර්ය කොට තිබෙනවා. මහින්ද රාජපක්‍ෂ. ප්‍රවාහන ඇමැතිවරයා, නිමල් අබේසිරි යන අයගේ ඡායාරූප සහිත බැනර් සහ කටවුට්‌ ඩිපෝවල බස්‌ නැවතුම්පළවල්වල සහ ප්‍රසිද්ධ ස්‌ථානවල ප්‍රදර්ශනය කරන ලෙස ශ්‍රී ලනිප සභාපති ඩිපෝ කළමනාකරුවන්ට උපදෙස්‌ දෙනවා. මෙය කවර තත්ත්වයක්‌ද? ඒ නිසා මෙවැනි ක්‍රියා සම්බන්ධයෙන් ඉදිරියේදී අපි මැතිවරණ නිරීක්‍ෂණ සංවිධානවලට මැතිවරණ කොමසාරිස්‌වරයාට පැමිණිලි කරනවා.

මැතිවරණ කොමසාරිස්‌වරයාට, පොලිසියට පැමිණිලි කිරීමෙන් ඵලක්‌ නැති බවත් අපි දන්නවා. ඔවුන්ට නීතිය ඉටු කිරීමට හැකියාවක්‌ නැහැ. ජනාධිපතිවරය සියලු බලතල පාවිච්චි කරමින් ඉතාම ලැඡ්ජා සහගත ලෙස මැතිවරණ නීති උල්ලංඝනය කරනවා. මේ විදියට මැතිවරණ නීති උල්ලංඝනය කරලා රාජ්‍ය දේපළ යොදාගෙන ඡන්ද දිනලා වැඩක්‌ තියෙනවද? තමන්ට පෝස්‌ටරය ගහගන්න මිනිස්‌සු නැත්නම් මහින්ද රාජපක්‍ෂට තිබුණේ ඡන්දයට ඉදිරිපත් නොවී ඉන්නයි.

මේ ආණ්‌ඩුව කියන්නේ මාධ්‍ය ආයතනවලට බෝම්බ ගහපු, මාධ්‍ය ආයතන ගිනි තියපු, මාධ්‍යවේදීන් මරපු ආණ්‌ඩුවක්‌. ඒ නිසා මාධ්‍යවේදීන්ට බයකුත් තිබෙනවා. නමුත් ඒ අතර කෙසේ හෝ සාධාරණත්වය ආරක්‍ෂා කරගත යුතුයි. ඒ සම්බන්ධයෙන් මාධ්‍ය ආයතන, මාධ්‍යවේදීන් අවධානය යොමුකරන්න ඕනෑ. මොකද මේ ආණ්‌ඩුව දිගටම බලයේ ඉන්න ආණ්‌ඩුවක්‌ නොවෙයි. ජනවාරි 08 වැනිදා මහින්ද රාජපක්‍ෂගේ නියත පරාජය ලියවිලා තිබෙන්නේ.

මේ ජනාධිපතිවරණයෙන් මහින්ද දිනුවොත් නීති නොසලකන, ව්‍යවස්‌ථාව නොසලකන සෘජු ඒකාධිපතිවාදයකට යන බව ස්‌ථිරයි. එනිසා ජනවාරි 08 වැනිදා මහින්ද රාජපක්‍ෂ අනිවාර්යයෙන් පරාජයට පත්කළ යුතුයි. මහින්ද රාජපක්‍ෂ පරාජය කළ වහාම ප්‍රජාතන්ත්‍රවාද අයිතිවාසිකම් ලැබෙන්නේ නැහැ. නව ආණ්‌ඩුවෙන් ඒවා ලබා ගැනීමට බලපෑම් කිරීමේ වගකීම ජනතා විමුක්‌ති පෙරමුණ බාර ගන්නවා. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න, අනෙකුත් සාධනීය පොරොන්දු ඉටුකරවා ගැනීමට අපිත් එක්‌ක එකතු වෙන ලෙස ජනතාවට ආරාධනය කරනවා. ප්‍රජාතන්ත්‍රවාදය මේ රටේ සියලු දෙනාටම අවශ්‍ය දෙයක්‌. පොලිසියට, හමුදාවට, ජනතාවට අධිකරණයට වගේම සන්ධානයේ ඉන්න අයටත් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ අයටත් ප්‍රජාතන්ත්‍රවාදී නිදහස අවශ්‍යවෙලා තිබෙනවා. මේ ආණ්‌ඩුවෙන් යන්න ඉඳලා නතරවුණු අයටත් ප්‍රජාතන්ත්‍රවාදය අත්‍යවශ්‍යයි. මොකද, මහින්ද දිනුවොත් ඔවුන්ට උදාවෙන්නේ බරපතළ තත්ත්වයක්‌. මහින්ද වැඩ පටන් ගන්නේ ඒ අයගෙන්. ඒ නිසා ඔවුන්ට වඩාම හොඳ මහින්ද රාජපක්‍ෂ පරදින එකයි. ඒ වගේම මේ ජනාධිපතිවරණයෙන් පස්‌සේ මහ මැතිවරණයක්‌ එනවා. ඒ මැතිවරණයේ පාර්ලිමේන්තුවක්‌ පිහිටුවන්න ඕනෑ. ජ.වි.පෙ. අපිත් එම මැතිවරණයට ඉදිරිපත් වෙනවා.

ජිල්මාට්‌ කතාවක්‌ ගැන දැන් කියවෙනවා. ජිල්මාට්‌ කතාව මුලින්ම කිව්වේ මහින්ද රාජපක්‍ෂයි. අපි කළේ මහින්ද අපිට කියපු එක ජනතාවට කියපු එකයි. මහින්දට 2004 ඡන්දෙදී මනාප අඩුවීම ජිල්මාට්‌ එකක්‌ දාලා බේරගත් බව ඔහු අපිට කිව්වා. මේ ඡන්දෙත් ජිල්මාට්‌ වැඩ ගණනාවක්‌ සිදුවෙමින් තිබෙනවා. එක වෙලාවක්‌ තිබෙනවා මොන තරම් ජිල්මාට්‌ වැඩ කළත් පරාජය වීම වළක්‌වන්න බැරි අවස්‌ථාවක්‌.

2010 දීත් ජනතාවට ඡන්ද ප්‍රතිඵලය ගැන සැකයක්‌ මතුවුණා. ඒ වෙලාවේදී ජනතා විමුක්‌ති පෙරමුණ කිව්වේ 2005 දී මහින්ද කියපු ජිල්මාට්‌ කතාව වගේ දෙයක්‌ 2010 දී සිදුවුණ දැයි අපිට සැකයක්‌ තිබෙන බවයි. ඒ නිසා තවමත් ඒ සම්බන්ධව සැකය ජනතාව අතර තිබෙනවා. මොකද එම ප්‍රතිඵලය පිළිබඳව සාධාරණ අපක්‍ෂපාතී පරීක්‍ෂණයක්‌ තවමත් සිදුවෙලා නැහැ.

ආණ්‌ඩුව ආයුධ සන්නද්ධව මැතිවරණ දිනයේදී හැසිරෙනවා නම් ඒකට මුහුණ දෙන්න අපිට පුළුවන්කමක්‌ නැහැ. ඒ සඳහා තමයි පොලිසිය, හමුදාව ඉන්නේ. අපිට පුළුවන් ආණ්‌ඩුව සිදුකරන අක්‍රමිකතාවයන් පිළිබඳව පොලිසියට, මැතිවරණ කොමසාරිස්‌ට, නිරීක්‍ෂණ සංවිධානවලට පැමිණිලි කරන්න. ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්න අපිට වැඩපිළිවෙළක්‌ තිබෙනවා.

මේ මැතිවරණයෙන් පස්‌සේ පිහිටුවන ආණ්‌ඩුවල කොටස්‌කාරයන් වෙන්න ජවිපෙ සූදානමක්‌ නැහැ. නමුත් ඔවුන් ලබාදෙන පොරොන්දු ඉටුකරවා ගැනීම සඳහා මැදිහත් වෙන්න බලපෑම් කරන්න ජනතාව සංවිධානය කරන්න හැකියාව තිබෙන්නේ අපිටයි. ඒ මැදිහත්වීම කරන බව අපි ජනතාවට පොරොන්දු වෙනවා.

MR has set world record – JVP

 
http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=116220

No comments:

Post a Comment