Dec 20, 2014

19 Dec 2014

මහින්දත් ගෝඨාභයත් යුද්ධයේ අවසන් මොහොතේ රටින් පැන්නා

maithreepala-warning
මේ රටේ පවත්වන සෑම මැතිවරණයකදීම යුද ජයග්‍රහණයේ ගෞරවය ලබා ගනිමින් මේ රටේ ජනතාව නොමඟ යවා, ජනතා ඡන්දය කොල්ල කන මේ රටේ රාජ්‍ය නායකයා මහින්ද රාජපක්‍ෂ සහ ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ බිහිසුණු යුද්ධයේ අන්තිම සටන වෙලාවේ මේ රටේවත් සිටියේ නැහැ.
ඔවුන් ජීවිත ආරක්‍ෂාව සඳහා විදේශගත වුණා. යුද්ධය යුද්ධයක්‌ හැටියට යුද බිමේ සිට මෙහෙයවා ත්‍රස්‌තවාදීන් මුලිනුපුටා දමා රට බේරාගත් වීර සෙන්පති ජෙනරාල් ෆොන්සේකා මහතාට යුද ජයග්‍රහණයෙන් පසු අනේක වධ හිංසා පමුණුවා, ඔහුගේ ප්‍රජා අයිතිය පවා අහිමි කළ මහින්ද රාජපක්‍ෂ මහතාට නියම පිළිතුර ලබා දෙන්න මැතිවරණ දිනය එළැඹෙන තුරු මේ රටේ බුද්ධිමත් ජනතාව බලා සිටින බව ජනාධිපතිවරණයේ විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා පෙරේදා (17 දා) ඇල්පිටිය නගරයේ පැවැති ජන හමුව අමතමින් ප්‍රකාශ කළේය.
 ගාල්ල දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී එක්‌සත් ජාතික පක්‍ෂයේ මාධ්‍ය ප්‍රකාශක ගයන්ත කරුණාතිලක මහතා මෙම ජන හමුව සංවිධානය කර තිබිණි.
 එහිදී තවදුරටත් අදහස්‌ දැක්‌වූ මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේද පැවැසීය.
 දැන් මේ රජය මට මඩ ගැසීම සඳහා ඉතා පහත් ආකාරයට කටයුතු කරනවා. යුද ජයග්‍රහණයෙන් පසු මා කළ ප්‍රකාශයන් විකෘති කොට ජාතික රූපවාහිනියෙන්, අයි.ටී.එන්. එකෙන් ප්‍රචාරය කරනවා. එදා යුද ජයග්‍රහණයේදී යුද්ධයට නායකත්වය දුන් සේනාධිනායකයා ගැන මා පමණක්‌ නොවෙයි මුළු රටම කතා කළා. ඒත් මේ රටේ ජනතාව සිතුවේ යුද්ධයේ ප්‍රතිඵල රටේ සමස්‌ත ජනතාවට ලැබේවි කියලයි.


අද රාජපක්‍ෂ රජ පවුල විසින් මුළු රටේම ධනය, සම්පත් ඉතාම හිරිකිත ආකාරයට කොල්ල කනවා. අවනීතිය රටපුරා රජ කරනවා. ළමා අපචාර, ලිංගික හිංසන, රට පුරා ප්‍රචලිත වෙලා. විනය අන්තයටම පිරිහිලා. නීතියේ ආධිපත්‍යය බිඳවැටිලා.

ආණ්‌ඩුවේ අමාත්‍යවරු 63 ක්‌ ඉන්නවා. මෙම ඇමැතිවරුන්ට අයත් අමාත්‍යාංශවලට වෙන් කරන මුදල් වලින් සියයට 60 ක්‌ මහින්ද, බැසිල් සහ ගෝඨාභය රාජපක්‍ෂ මහත්වරුන්ට අයත් අමාත්‍යාංශවලට වෙන්කර තිබෙනවා. ඉතිරි සියයට 40 ත් ඒ අය නම් කරන ව්‍යාපෘති වෙනුවෙන් වෙන් කරන ලෙසට අමාත්‍යවරුන්ට බලපෑම් කරනවා. ඇමැතිවරුන් රූකඩ වගේ.

උතුරේ දුම්රිය මාර්ගය හැදීම සඳහා අපේ රටේ ඉංජිනේරුවන් කිලෝමීටරයකට මිලියන 44 ක්‌ ඇස්‌තමේන්තු කළා. එය හැදුවේ මිලියන 340 ක්‌ බවට කොමිස්‌ ගහලා. කොළඹ - කටුනායක මාර්ගය හැදීමේදී කිලෝ මීටරයකට මිලියන 1000 ක්‌ කොමිස්‌ ගැහුවා. මේවා ගියේ රජ පවුලේ සාක්‌කුවලටයි.
පසුගියදා රාජ කුමාරවරු 3 දෙනාට හෙලිකොප්ටර් ගෙනැවිත් දුන්නා. බකිංහැම් මාලිගාවෙන් රන් අශ්වයකු ලංකාවට ගෙනැවිත් ගුවන් මගින් නුවරඑළියට ගෙන ගියා. දැන් රාජකුමාරයා දිනපතාම කොළඹ සිට නුවරඑළියට ගුවන් මගින් උදේ සවස අශ්වයා පිට යන්න යනවා.

ජනවාරි 09 දායින් පසු අපේ රජය පත් වූ වහාම විදේශගත වන සෑම කෙනෙකුටම ස්‌ථිර විශ්‍රාම වැටුපක්‌ ලබා දෙන අතර පෞද්ගලික අංශයේ සේවය කරන 24 ලක්‍ෂයක්‌ වන සේවක සේවිකාවන්ට ද විශ්‍රාම වැටුප් ක්‍රමයක්‌ ලබා දීමට කටයුතු කරනවා.

ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ට ලබා දෙන සියලුම දීමනා හා වැටුප් වැඩිවීම් පොලිස්‌ නිලධාරීන්ට ද ලබා දී වසර 22 ක සේවය සම්පූර්ණ කරන ලද සෑම පොලිස්‌ නිලධාරියෙකුටම විශ්‍රාම යැමට අවස්‌ථාව ලබා දෙනවා.

1970 දී සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනිය තුනෙන් දෙකේ බලය පාවිච්චි කරමින් රට ගොඩනැගුවා. එක්‌සත් ජාතික පක්‍ෂය හයෙන් පහක බලය ලබාගෙන 13 සංශෝධනය ඇති කළා. මහින්ද රාජපක්‍ෂ තුනෙන් දෙකේ බලය ලබාගෙන කළේ තමන් හා තමන්ගේ පවුල පෝෂණය කිරීමයි.

අද මුළු රටේම උගතුන්, විද්වතුන් අප වටා එක්‌ වී තියෙනවා. විශ්වවිද්‍යාල ආචාර්යවරු, වෘත්තීය සමිති, නීතිවේදීන් ඉන්නේ අපි සමඟයි. රටේම ජනතාව එක හඬින් කියන්නේ දූෂණයෙන්, භීෂණයෙන්, තර්ජනයෙන්, මර්දනයෙන් කටයුතු කරන රාජපක්‍ෂ සමාගම ගෙදර යවා යහ පාලනයක්‌ ඇතිකරන්න කියලයි. ජනතාවගේ ඒ බලාපොරොත්තුව ජනවාරි 09 දාට ඇති කරනවා කරනවාමයි.

මේ රටේ දුප්පත් ජනතාවගේ මුදල් රුපියල් කෝටි 5 ක්‌ වියදම් කරන ජනාධිපතිවරයෙක්‌ අපේ රටේ ඉන්නේ. එයාට රට තුළ මාලිගා 6 ක්‌ තියෙනවා. කොළඹ ජනාධිපති මන්දිරය හිටපු ජනාධිපතිවරු කළේ අලුත්වැඩියා කරන එක විතරයි. මෙයා ඒවා කඩා ඉවත් කර වෙනස්‌ කළා. මේ වන විට වවුනියාවේ සහ ඇඹිලිපිටියේ අලුතින් ජනාධිපති මන්දිර හදනවා. මෙයා වන්මෑන් ෂෝ එකක්‌ රඟදක්‌වමින් ඒකාධිපතියෙක්‌ වෙන්න හදනවා.

අපි කිසිම විදේශ කුමන්ත්‍රණයකට යටවෙලා නෑ. මම සිංගප්පූරු ගිහින් හොර ලියවිලිවලට අත්සන් කළාලු. මම අවුරුදු 5 කින් සිංගප්පූරුවට ගිහින් නෑ. මහින්ද රාජපක්‍ෂ මහතාට විරුද්ධව නැගී සිටින සෑම කෙනාටම මේ අධිරාජ්‍යවාදී ලේබල් එක ගහනවා. විජාතික බලවේග ලේබලයත් ගහනවා. කොටි ලේබලයත් ගහනවා. උතුරේ බිහිසුණු යුද්ධ සමයේ අරන්තලාවේ භික්‍ෂුන් වහන්සේලා ම්ලේච්ඡ අයුරුන් ඝාතනය කළ, ශ්‍රී මහා බෝධියට බෝම්බ ගැසූ, ශ්‍රී දළදා මාලිගාවට පහර දුන්, පොලිසියේ දස දහස්‌ ගණන්, ත්‍රිවිධ හමුදා සාමාජිකයන් දස දහස්‌ ගණන්, සාමාන්‍ය වැසියන් දස දහස්‌ ගණනක්‌ ඝාතනය කළ, රාජ්‍ය සම්පත් විනාශ කළ ප්‍රධානම කොටි රැල කරුණා අම්මාන්, කේ. පී., පිල්ලෙයාන් අද මහින්ද රාජපක්‍ෂ මහතාගේ රජයේ අමාත්‍ය තනතුරු දරමින් සුර සැප විඳිනවා.

රාජ්‍ය සම්පත්, රාජ්‍ය දේපළ මෙතරම් කොල්ලකාපු ආණ්‌ඩුවක්‌ ඉතිහාසයේම තිබුණෙ නෑ. මේ සම්පත් කොල්ලකාපු දේශපාලුවන් දින 100 ඇතුළත කොටු කරනවා. රටේ සංවර්ධන වැඩ තුන් ගුණයකින් වැඩි කරනවා. මේ රටේ පවුල් 27 ලක්‍ෂයක්‌ අන්ත අසරණව, දුගී බවෙන් පෙළෙනවා. මේ ආණ්‌ඩුව හොරකම් කරන මේ මුදල් ජනතාවගේ දුප්පත්කම නැති කිරීම සඳහා යොදවනවා.

ජනවාරි 01 දාට ප්‍රජාතන්ත්‍රවාදය සහ යහ පාලනය ගැන මාත් සමඟ විවාදයකට එන්න කියලා මා විවෘත ආරාධනාවක්‌ කරනවා. ඒ විවාදයට මම එන්නේ එක කොල කෑල්ලක්‌වත් අතේ තියාගෙන නොවෙයි. මහින්ද රාජපක්‍ෂ මහතාගේ ආණ්‌ඩුවේ ප්‍රජාතන්ත්‍රවාදය සහ යහපාලනය නැති බව මා එදාට සමස්‌ත ජනතාව ඉදිරියේ ඔප්පු කරන බවට අභියෝග කරනවා.

දකුණේ ජනතාව ජීවත් වන්නේ කෘෂිකර්මාන්තයෙන්. ඔවුන්ගේ තේ දල්ලට, කුරුඳුවලට, පොල්වලට හොඳ මිලක්‌ ලබා දෙනවා. දකුණේ ජනතාව ඉතාම නිවැරැදි තීන්දු තීරණ ගන්නේ නිර්භයවයි. මේ මැතිවරණයේදී දකුණේ සාමකාමී ජනතාවගේ මනාපය කාටද කියන්න මේ ජන ගඟ දිහා බැලුවම කියන්න පුළුවන්. මම ජයග්‍රහණය කළ පසු අරලියගහ මන්දිරයට හෝ ජනාධිපති මන්දිරයට යන්නේ නෑ. මම ජනාධිපති වෙලා ඒ පුටුවේ වාඩි වී බැබළෙන්නේ නෑ. මා අවම විධායක බලය තියාගෙන අනිත් හැම බලයක්‌ම බෙදා දෙනවා.

ඔබලාගේ හද ගැස්‌ම හඳුනන, නාඩි ගැස්‌ම හඳුනන පොළොවේ පය ගහන නායකයෙක්‌ තමයි අද මේ ඔබ ඉදිරියේ ඉන්aනේ. ජනවාරි 08 දාට ඡන්ද පොළට ගොස්‌ තමාගේ හෘද සාක්‍ෂියෙන් විමසන්න මේ වටිනා ඡන්දය දෙන්නේ රට රැකගන්නද? රාජපක්‍ෂ පවුල රකින්නද කියලා. අද අපේ රටට වෙනසක්‌ වුවමනා වෙලා තියෙනවා. නිහඬ ජනතා රැල්ලක්‌ රටේ තියෙන්නේ.

මේ මැතිවරණය අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීමට ඇති අන්තිම අවස්‌ථාවයි. අපේ රටේ බුද්ධිමත් ජනතාව 8 දාට මේ දූෂිතයන් පලවා හැර බියෙන් සැකයෙන් තොර නිදහස්‌ නිවහල් රටක්‌ බිහිකිරීම සඳහා බුද්ධිමත්ව සිතා බලා නිවැරැදි තීන්දුවක්‌ ගන්නවාට කිසිදු සැකයක්‌ නෑ.


ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂ නායක හිටපු යුද හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා - මුළු රටේම

ජනතාව දන්නවා අද මේ රටේ දූෂිත පාලකයා හා ඔහුගේ පවුලෙන් රටට සිදුවන විපත්තිය ගැන. අපි එකා මෙන් එක්‌ව මේ තත්ත්වය වහාම නැවැත්විය යුතුයි. ඒ සඳහා අද මුළු රටම පිළිගත්, සුපිරිසිදු නායකයෙක්‌ ඉදිරිපත් වී තියෙනවා. මම එතුමාව මීට වසර 15 කට පෙර දැන හඳුනාගෙන වැඩ කළා. මට එතුමා පිළිබඳව දැඩි විශ්වාසයක්‌ තියෙනවා.

එදා මම 2010 දී පොදු අපේක්‍ෂකයා ලෙස තරග කිරීමට රජයෙන් එලියට බැස්‌සේ තනිවමයි. ඒ ගමනේදී මට සිරබත් කන්න සිදු වුණා. ජනතාවට බියෙන් සැකයෙන් ජීවත් වෙන්න පරිසරය හදා දුන් මම අනේක වධ හිංසාවලට ලක්‌ වුණා. නමුත් මා ජනතාව සමග එක්‌ව කිසිදු බියකින් තොරව ජනතාව ආරක්‍ෂා කරමින් ඉදිරියටම යනවා. ඒ සඳහා ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරනවා.

අද මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය නෑ. මේ රටේ පාලකයා ඇතුළු ඔහුගේ ඇම්බැට්‌ටයන් ජනතාවගේ මූලික අවශ්‍යතාවන් පවා ලබාදෙන්නේ නෑ. බීමට ජලය ඉල්ලුවහම වෙඩි තබා මරණවා. දූෂණය ඉහ වහා ගිහිල්ලා. මේ රටේ සියයට 10 ක්‌ වන දේශපාලුවන් රටේ මුදල් වලින් සියයට අනූපහක්‌ බුක්‌ති විඳිනවා. පාලකයන්ට ආශ්චර්ය තියෙනවා. ජනතාවට හුළං.

එදා එල්. ටී. ටී. ඊ. එකට බයේ හමුදාව දාල ගියපු මල්ලි තමයි යුද්ධ කරලා තියෙන්නෙ. හමුදා සෙබළු දන්නව යුද්ධ කළේ කවුද කියල. හමුදාවේ 5000 ක්‌ මැරුණා. 7000 ක්‌ පූර්ණ සහ අර්ධ ආබාධිත තත්ත්වයට පත් වුණා. 27000 කට තුවාල වුණා. අද එයා කියනවා රට අස්‌ථාවර වුණොත් එයා හේග් ගෙනියනවලු. විදුලි පුටුවට ගෙනියනවලු. යුධ අපරාධවලට විදුලි පුටුවට ගියොත් යන්න වෙන්නේ එයාට නොවෙයි අපටයි. එයා විදුලි පුටුවෙ තිබ්බොත් පියුස්‌ එක යාවි. එයාගෙ මුළු ඇගේම ජරාව. එයාට විදුලිය වදින්නේ නෑ. අපි සැම එක්‌ වී අනාගත දරුවන් ගැන සිතා රට ගැන සිතා මේ බිහිසුනු අධර්මිෂ්ඨ දූෂිත පාලකයා පලවාහැර 8 දායින් පසු මෛත්‍රි පාලනයක්‌ ඇති කරමු.


එක්‌සත් ජාතික පක්‍ෂ දේශපාලන මණ්‌ඩල සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී දේශබන්දු කරු ජයසූරිය මහතා -

අද මේ රට දූෂණයෙන් පිරිලා. ජනතාව වෙනුවෙන් රට බේරා ගැනීම අපේ යුතුකම වෙනවා. පාරවල් හැදුවා, වරායවල් හැදුවා. ඒවායින් බිලියන දසදහස්‌ ගණන් මුදල් ගසා කාපු බව ජනතාව දන්නවා. දූෂිත වූ මේ දේශය රටේ සියලුම දෙනා පක්‍ෂ පාට බේදවලින් තොරව එකතුවෙලා බේරා ගනිමු. පොදු විපක්‍ෂයේ නායකයා මුළු රටම පිළිගන්නා, දැත් පිරිසිදු, නිහතමානී ජනතා පුත්‍රයෙක්‌. අපි රට බාරගත් පසු මුලින්ම කරන්නේ යුක්‌තිසහගත සාධාරණ රටක්‌ ඇති කිරීමයි. නීතිය සැමට එකම විදියට ක්‍රියාත්මක කරනවා. සාධාරණ යුක්‌ති සහගත සමාජයක්‌ ඇතිකරනවා. මේ වන විට මාධ්‍ය මර්දනය කරමින් මාධ්‍යවේදීන් රැසක්‌ අතුරුදන් කර කර්තෘවරු 26 දෙනෙක්‌ මරා දමා තියෙනවා. ඒවා ගැන කිසිදු පරීක්‍ෂණයක්‌ නෑ.

හිටපු ධීවර අමාත්‍ය දොස්‌තර රාජිත සේනාරත්න මහතා - එදා විධායක ජනාධිපති ක්‍රමයට එරෙහිව මහින්ද රාජපක්‍ෂ මහතා සමග පාද යාත්‍රා ගියා. රටේ ජනතාව වගේම අපි කවුරුත් හිතුවේ මහින්ද රාජපක්‍ෂ මේ දේ කරාවි කියල. ඒත් ඔහු ඒක කළේ නෑ. මුළු රටම මුළා කළා. යුද්ධයේ තනි ගෞරවය මහින්ද රාජපක්‍ෂ මහතා ලබාගන්න හදනවා. යුද්ධය යුද්ධයක්‌ විදියට කරල රට බේරාගත් අභීත සෙන්පතියා සිටින්නේ අප සමගයි. අරලියගහ මන්දිරයේ ජනතා මුදලෙන් දන්සල් දීල ජනතාව රවටනවා.

1977 ඉඳල මම මේ ව්‍යවස්‌ථාවට විරුද්ධව කතා කළා. ආණ්‌ඩුවෙන් එළියට බහින්න අපිට ලොකු සටනක්‌ කරන්න සිදු වුණා. අලුයම 1.30 ට යි අපි කිහිපදෙනා චJද්‍රිකා මහත්මියගේ නිවසට ගොස්‌ රහස්‌ සාකච්ඡා පැවැත්වූයේ. අපිත් සමග මේ මෙහෙයුමට සම්බන්ධ වී එළියට බහින්න හිටපු අයට තර්ජනය කරල රඳවාගෙන. ඒත් ඒ අය ටික ටික ඉදිරි දින කිහිපය තුළදී අප හා (පොදු විපක්‍ෂය සමග) එක්‌ වෙනවා.


පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා - මම 2001 ඉඳල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්‌ විදියට සිටියා. 2009 දී මුලින්ම මේ ආණ්‌ඩුව එපා වෙලා එළියට බැස්‌සේ මමයි. අද මේ රටේ සුදුස්‌සාට සුදුසු තැන නෑ. ක්‍රීඩාව දේශපාලනීකරණය වීම නිසා ක්‍රීඩාව විනාශ වෙලා. 2005 දී මහින්දව ජනාධිපති කරවන්න අපි කටයුතු කළා. යුද්ධය දිනුවත් හැමදාම යුද්ධය විකුණාගෙන කන්න දෙන්න බෑ.

අද රටේ විනයක්‌ නෑ. නීතියක්‌ නෑ. මැතිවරණ නීති තියෙනවා. ඒවා ක්‍රියාත්මක කරන්න මැතිවරණ නිලධාරීන්ටවත් පොලිසියටවත් නොහැකි වෙලා. රටේ සෑම ලයිට්‌ කණුවක්‌ ගානෙම මහින්දගේ කටවුට්‌ එල්ලලා. තාප්ප පුරා දැවැන්ත පෝස්‌ටර් අලවලා. ඒවා අයින් කළොත් පැය 24 න් ඒ අය ගෙදර. අද ආණ්‌ඩුවේ ඇමැතිවරු ඉන්නෙත් බියෙන් සැකයෙන්. එක පවුලක්‌ විසින්. අද මේ ආණ්‌ඩුව කරන්නේ. එතනෝල්, කුඩු ඇතුළු සියලුම නීති විරෝධී ජාවාරම් කරන්නේ ආණ්‌ඩුවේ බලවතුන්. දේශපාලන බලය,
රැකවරණය තිබේ නම් ඕනෑම අපරාධයක්‌ කරල නිදහසේ සිටිය හැකියි. මේ ක්‍රමය 8 දායින් පසු සෑමදෙනා එක්‌ව තුරන් කරමු.

පාර්ලිමේන්තු මන්ත්‍රී පිවිතුරු හෙටක්‌ සංවිධානයේ සභාපති පූජ්‍ය අතුරලිය රතන හිමි - මේ රටේ ත්‍රස්‌තවාදය පරාජය කිරීමට දායක වූ අපිට අද කොටි ලේබල් ගහන්න හදනවා. එතකොට යුද්ධයට නායකත්වය දුන් ජෙනරාල් ෆොන්සේකා මහතාත් කොටියෙක්‌ද? මේ රජය යටතේ අධිකරණයේ විශ්වාසය නැතිව ගියා. අධිකරණයේ විශ්වාසය නැතිවීම රටක විනාශයේ මුලයි. ලෝකයේ ජනාධිපති ක්‍රමවලින් විනාශ කිරීම ජනාධිපති ක්‍රමය විධායක ජනාධිපති ක්‍රමයයි. අද කැබිනට්‌ අමාත්‍යවරු පඹයන් බවට පත් කරලා. මේ භයානක ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ රටට අහිතකර බලතල නැති කරන්න අපි කටයුතු කරනවා. මෛත්‍රිපාල සිරිසේන මහතා රාජ්‍ය නායකයා ලෙස ඉදිරි අවුරුදු 6 බලයේ සිටින අතර, අගමැතිතුමාට කැබිනට්‌ මණ්‌ඩලයේ බලය ලැබෙනවා. 8 දාට මෛත්‍රි යුගයක්‌ බිහිකිරීමට දායක වන ලෙසට මේ රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ගාල්ල දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී එ.ජා. පක්‍ෂ මාධ්‍ය ප්‍රකාශක ගයන්ත කරුණාතිලක මහතා - අද ඓතිහාසික ජන ගංගාවක්‌ ඇල්පිටියට එක්‌ වී තිබෙනවා. මේ ජන ගංගාව දැක්‌කම 8 දාට අපි ලබන ජය නියතයි. 9 දාට ස්‌ථිර වශයෙන්ම මේ රටේ රාජ්‍ය නායකයා මෛත්‍රි කියන එකේ සැකයක්‌ නෑ.
 අද රට පුරාම දූෂණය ඉහ වහා ගිහිල්ලා. රාජ්‍ය සම්පත් මැතිවරණයට යොදාගෙන. රට පුරාම රාජ්‍ය නායකයාගේ කටවුට්‌ පෝස්‌ටර් ගහලා. මේවා ජනතා මුදල්. කිරිපිටි පැකට්‌ එකෙන් රුපියල් 140 ක බද්දක්‌, පෙට්‍රල් ලීටරයකට රු. 40 ක්‌ ඩීසල් ලීටරයකට රුපියල් 17 ක්‌ වශයෙන් බදු අයකරනවා. මේ සියලු බර ජනතාව පිට පටවා රාජපක්‍ෂ පවුල පෝෂණය වෙනවා.

හිටපු රාජ්‍ය පරිපාලන ඇමැති වජිර අබේවර්ධන, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද අබේවික්‍රම, දකුණු පළාත් සභා මන්ත්‍රීවරුන් වන බන්දුලාල් බණ්‌ඩාරිගොඩ, ජයසිරි නානායක්‌කාර යන මහත්වරු ද, ඇල්පිටිය සහ බෙන්තර ප්‍රාදේශීය සභාවල විපක්‍ෂ මන්ත්‍රීවරුද ගිහි පැවිදි අති විශාල ජනතාවක්‌ ද මෙම ජනහමුවට සහභාගි වූ අතර හිරුණිකා පේමචද්‍ර මෙනවිය ද මෙම ජන හමුවට සහභාගි වූවාය.

No comments:

Post a Comment