Dec 22, 2014

20 Dec 2014
වඳුරඹ වේදිකාවට ගිනි තැබීම මුතුහෙට්‌ටිගම සැකකරුවන් පැහැරගෙන!
පොලිසිය පස්‌සෙන් පන්නා යළිත් අත්අඩංගුවට ගනී

ගාල්ල වඳුරඹ ඉදිකර තිබූ වේදිකාවකට සහ ශබ්ද විකාශන යන්ත්‍ර සවි කර තිබූ ලොරියකට ගිනි තබා විනාශ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවන් තිදෙනා ඊයේ
(19 වැනිදා) පෙරවරුවේ අධිකරණයට ඉදිරිපත් කිරීමට රැගෙන යද්දී නියෝජ්‍ය ඇමැති නිශාන්ත මුතුහෙට්‌ටිගම මහතා ඇතුළු පිරිසක්‌ විසින් එම සැකකරුවන් තිදෙනා පොලිසියට බලපෑම් කර පැහැරගෙන ගොස්‌ ඇත.

මෙසේ පැහැරගෙන යමින් සිටි සැකකරුවන් ලුහුබැඳ ගිය බද්දේගම පොලිසියේ නිලධාරීන් පිරිසක්‌ විසින් නියෝජ්‍ය ඇමැතිවරයා භාරයේ සිටි එම සැකකරුවන් තම භාරයට ගෙන තිබේ.
සැකකරුවන් තිදෙනා බද්දේගම අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 29 වැනිදා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ප්‍රධාන මහෙස්‌ත්‍රාත් චන්දිම එදිරිමාන්න මහතා නියෝග කළේය.
මෙසේ බන්ධනාගාර ගත කරනු ලැබුවේ නියෝජ්‍ය ඇමැති නිශාන්ත මුතුහෙට්‌ටිගම මහතාගේ ආධාරකරුවන් වන දිමුත් ප්‍රදීප්, ජානක දුමින්ද සහ ජනක රුවන් කුමාර යන අය බව පොලිසිය පවසයි.

http://www.divaina.com/2014/12/20/news07.html
පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට ආධාර පිණිස ගාල්ල වඳුරඹ නගරයේ පැවැත්වීමට නියමිතව තිබූ රැස්‌වීමක වේදිකාවට සහ ශබ්ද විකාශන යන්ත්‍ර සහිත ලොරියකට කිසියම් පිරිසක්‌ විසින් බෝම්බ ගසා ගිනි තබා විනාශ කර තිබිණි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කළ පරීක්‍ෂණවලදී හෙළි වුයේ නියෝජ්‍ය ඇමැති නිශාන්ත මුතුහෙට්‌ටිගම මහතාට අයත් වාහන කීපයකින් පැමිණි සන්නද්ධ පිරිසක්‌ මෙම ප්‍රහාරය එල්ල කළ බවයි.

පසුව පොලිසිය මෙම සිද්ධියට සම්බන්ධව නියෝජ්‍ය ඇමැතිවරයාගේ ආධාරකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගන්නා ලදී.

සැකකරුවන් තිදෙනා ඊයේ පෙරවරුවේදී බද්දේගම අධිකරණය වෙත රැගෙන යැමට සූදානම් වෙද්දී නියෝජ්‍ය ඇමැතිවරයා ඇතුළු පිරිසක්‌ එහි පැමිණ පොලිසියට විවිධ බලපෑම් කර ඇත.

පසුව වඳුරඹ පොලිසිය මගින් සැකකරුවන් ජීප් රථයක නංවාගෙන බද්දේගම අධිකරණයට ඉදිරිපත් කිරීමට රැගෙන යද්දී ඒ පසුපස වාහන කීපයකින් පන්නාගෙන ආ නියෝජ්‍ය ඇමැති ඇතුළු පිරිසක්‌ ජීප් රථයට මග හරස්‌ කර එහි සිටි සැකකරුවන් බලහත්කාරයෙන් රැගෙන ගොස්‌ තිබේ.

පසුව බද්දේගම පොලිසියේ නිලධාරීන් පිරිසක්‌ නියෝජ්‍ය ඇමැතිවරයා ගමන් ගත් වාහන පසුපස පන්නාගෙන ගොස්‌ ඔහු භාරයේ සිටි සැකකරුවන් නැවත අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරියකුගේ ප්‍රධානත්වයෙන් විශේෂ පරීක්‍ෂණයක්‌ පවත්වා ගෙන යයි.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී වඳුරඹ පොලිසිය කියා සිටියේ එවැනි පැහැර ගැනීමක්‌ සිදු නොවූ බවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් "දිවයින" කළ විමසීමකදී නියෝජ්‍ය ඇමැති නිශාන්ත මුතුහෙට්‌ටිගම කියා සිටියේ එම සැකකරුවන් තිදෙනා බද්දේගම අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා තමන් විසින් රැගෙන ගිය බවයි.

පොලිසියට අවශ්‍ය ආකාරයට ක්‍රියා කිරීමට තමන් ඉඩ නොදෙන බව ද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

මේ සම්බන්ධයෙන් ගාල්ල ප්‍රදේශයේ උසස්‌ නිලධාරියකු කියා සිටියේ පොලිස්‌ අත්අඩංගුවේ සිටි සැකකරුවන් මේ ආකාරයට බලහත්කාරයෙන් රැගෙන යැම බරපතළ වරදක්‌ බවයි.

විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ විසින් මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වා ගෙන යයි.

No comments:

Post a Comment