Jan 1, 2015

01 Jan 2014
ආපදා ප්‍රදේශවල ඡන්ද කටයුතු සාකච්ඡාවට 
මැ. කො. පක්‍ෂ ලේකම්වරුන් කැඳවයි
ආපදාවට ලක්‌ව ඇති ප්‍රදේශවල මැතිවරණ කටයුතු සිදු කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මැතිවරණ කොමසාරිස්‌වරයා විසින් ලබන 02 වැනිදා හෙට තරග කරන සියලු දේශපාලන පක්‍ෂවල ලේකම්වරුන් කැඳවා තිබේ.
මේ වනවිට දිස්‌ත්‍රික්‌ක 08 ක ගංවතුර හා නාය යැම් සිදුවී ඇති අතර එම නිසා ලක්‍ෂ පහක පමණ පිරිසක්‌ එම බලපෑමට ලක්‌ව සිටිති.
මෙම ප්‍රදේශවල ඡන්ද මධ්‍යස්‌ථාන පිහිටුවීම, ඡන්ද පත්‍රිකා බෙදීම, ඡන්ද දායකයන් මධ්‍යස්‌ථාන කරා ගෙන යැම, ඡන්ද ගණන් කිරීමේ කටයුතු ආදිය පිළිබඳව එහිදී සාකච්ඡා කිරීමට නියමිතය.
මැතිවරණ කොමසාරිස්‌වරයාගේ මෙම සාකච්ඡාවට ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරීන් හා මැතිවරණ නිරීක්‍ෂණ සංවිධාන ද කැඳවා තිබේ.

http://www.divaina.com/2015/01/01/news08.html

ජනාධිපතිවරණය නිරීක්‌ෂණයට 30,000 ක්‌
තව දින 7යි

තව දින හතකින් (8 දා) පැවැත්වෙන ජනාධිපතිවරණය නිරීක්‌ෂණය කිරීමට මැතිවරණ දෙපාර්තමේන්තුව හා මැතිවරණ නිරීක්‌ෂණ සංවිධාන විසින් දෙස්‌ විදෙස්‌ නිරීක්‌ෂකයන් තිස්‌ දහසක්‌ (30,000 ක්‌) යෙදවීමට නියමිතය. මැතිවරණ දෙපාර්තමේන්තුව රජයේ මාණ්‌ඩලික නිලධාරීන් දහසකට ආසන්න පිරිසක්‌ යොදවා ඡන්ද මධ්‍යස්‌ථාන කිහිපයක්‌ ඒකාබද්ධ කරමින් නිරීක්‌ෂණ කටයුතු කිරීමට සැලසුම් කර ඇති අතර විදෙස්‌ නිරීක්‌ෂකයන් 48 දෙනකු ද දෙපාර්තමේන්තුව විසින් නිරීක්‌ෂණ කටයුතු සඳහා දැනටමත් යොදවා ඇත. දකුණු ආසියානු මැතිවරණ නිරීක්‌ෂක සංගමයේ ප්‍රධානියා වන නේපාල මැතිවරණ කොමසාරිස්‌ නීල් කාන්ත් උපුට්‌ මහතා කණ්‌ඩායමේ නායකත්වය දරයි. තවත් නිරීක්‌ෂකයන් 12 දෙනකු මෙරටට පැමිණීමට නියමිතය.
පැෆරල් සංවිධානයද දේශීය නිරීක්‌ෂකයන් 13000 ක්‌ මැතිවරණ දිනයේදී නිරීක්‌ෂණයට යොදවන බව එහි විධායක අධ්‍යක්‌ෂ රෝහණ හෙට්‌ටිආරච්චි මහතා පැවැසීය. මීට අමතරව මැතිවරණ කොට්‌ඨාසවල දස දහසක්‌ පමණ දැනටමත් නිරීක්‌ෂණ කටයුතු සිදුකරන බවද හෙතෙම කීය.
එමෙන්ම ජාත්‍යන්තර නිරීක්‌ෂකයන් 34 දෙනකු මෙරටට ගෙන්වා ඇති බවත් ඔවුන්ද මේ වනවිට නිරීක්‌ෂණ කටයුතු අරඹා ඇති බවත් ඔහු කීය. මොවුහු දකුණු ආසියානු හා නැගෙනහිර ආසියානු රටවල් නියෝජනය කරති. දේශීය නිරීක්‌ෂකයන්ගෙන් 11200 ක්‌ ඡන්ද මධ්‍යස්‌ථාන තුළ නිරීක්‌ෂණය කරන අතර සෙසු පිරිස ජංගම නිරීක්‌ෂණ කටයුතු සිදුකරනු ලබති.
කැෆේ සංවිධානයද මැතිවරණ දිනයේදී නිරීක්‌ෂකයන් 7200 ක්‌ පමණ යොදවන බව එහි කැඳවුම්කරු කීර්ති තෙන්නකෝන් මහතා පැවැසීය.
මෙයට අමතරව තවත් 800 ක්‌ පමණ ශ්‍රී ලංකාව පුරා නිරීක්‌ෂණ කටයුතු දැනටමත් සිදුකරමින් සිටින බවද කීය.
මැතිවරණ ප්‍රචණ්‌ඩ ක්‍රියා නිරීක්‌ෂණ මධ්‍යස්‌ථානයද ලබන 8 වැනිදා නිරීක්‌ෂකයන් 4200 ක්‌ තෝරාගත් ඡන්ද මධ්‍යස්‌ථානවලට යොදවනු ලබයි. දැනටමත් ආසන හා දිස්‌ත්‍රික්‌ මට්‌ටමින් 185 දෙනකු නිරීක්‌ෂණ කටයුතු සිදු කරමින් පවතී. ඡන්ද මධ්‍යස්‌ථානවලින් සියයට 65 ක්‌ පමණ ආවරණය කිරීමට ඔවුන් බලාපොරොත්තු වෙයි.
මෙයට අමතරව ජාතික මැතිවරණ නිරීක්‌ෂණ මධ්‍යස්‌ථානය හා මැතිවරණ නිරීක්‌ෂක ජාලය ද ඡන්ද මධ්‍යස්‌ථානයෙන් පිට සිට නිරීක්‌ෂණ කටයුතු සිදුකරනු ලබයි.

http://www.divaina.com/2015/01/01/news01.html

No comments:

Post a Comment