Dec 7, 2014

06 Dec 2014  MS

දූෂණයෙන් පිරි පවුර බිඳ දමා 
සාධාරණත්වය රජයන සමාජයක්‌ හදමු
විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ 
ආණ්‌ඩුවෙන් රට බේරාගැනීමේ සටනට අපි උරදුන්නා
එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස

"ජනාධිපතිවරණයෙන් පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ජයග්‍රහණය කරවීම සඳහා අප සියලු දෙනාම ඇපකැපවී ක්‍රියා කළ යුතුයි. ආණ්‌ඩුවෙන් තව අය එනවා යෑයි කියා අප බලා සිටිය යුතු නැහැ. කටවුට්‌ ගසා නොව ගෙන් ගෙට ගොස්‌ ජනතාව දැනුවත් කර ගමේ බලය ශක්‌තිමත් කරමු. දූෂණයෙන් පිරි පවුර බිඳ දමා ප්‍රජාතන්ත්‍රවාදය හා නීතියේ ආධිපත්‍ය සාමය යහපාලනය තහවුරු කරන සාධාරණත්වය රජයන සමාජයක්‌ අපි හදමු" යෑයි එක්‌සත් ජාතික පක්‍ෂයේ ජාතික නායක හා විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පෙරේදා (6 දා) පැවසීය.
එක්‌සත් ජාතික පක්‍ෂයේ විශේෂ ජාතික සම්මේලනය ශ්‍රී ජයවර්ධනපුර කෝට්‌ටේ සිරිකොත මන්දිරයේදී පැවති අවස්‌ථාවේ කතා කරමින් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේය. 

එහිදී රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය -........................................
..................................................................................................................

තෙවැනි වතාවටත් ජනාධිපති ධූරයට පත්වීමට මහින්දට තිබෙන එකම හේතුව කෑදරකම - රනිල්

ranil-wickrama 06
‘ජනාධිපතිවරයා මේ ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මය කඩ කළේ ඇයි? 18 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කර විධායක ජනාධිපති ධූරය සම්බන්ධයෙන් පැවැති සීමාවන් ඉවත් කළේ ඇයි? තුන් වැනි වතාවටත් ජනාධිපති ධූරයට පත්වීමට තිබෙන වුවමනාව සහ හදිසිය කුමක්ද? ඒ සඳහා කිසිඳු සාධාරණ හේතුවක් ඉදිරිපත් කර නැති නම් තෙවැනි වතාවටත් ජනාධිපති ධූරයට පත්වීමට ඔහුට තිබෙන එකම හේතුව කෑදරකම බව අපට පිළිගැනීමට සිදු වෙනවා.' එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා මාතර දිස්ත්‍රික් මැතිවරණ මෙහෙයුම් සම්මේලනයේ දී 04 වෙනිදා පැවසීය.
ඒ මහතා සිදුකළ ප්‍රකාශය පහතින් පලවේ.
යම් කෙනෙකු පළමු වේල කන්නේ බඩගින්නට බවත්, දෙවැනි වේල ආසවට බවත්, තුන්වැනි වේල කන්නේ කෑදර කමට බවත් අපේ පැරණි කියමනක් තිබෙනවා. විධායක ජනාධිපති ධූරය සම්බන්ධයෙන් අද එම කියමනට අනුව ප්‍රශ්නයක් තිබෙනවා. එනම් තෙවැනි වතාවටත් ජනාධිපති ධූරය දැරීම සඳහා ඉදිරිපත් වන්නේ බඩගින්නට ද, ආසාවට ද, එසේත් නැතිනම් කෑදරකමට ද යන ප්‍රශ්නයයි.


විධායක ජනාධිපති ක්‍රමයක් ක්‍රියාත්මක වන ලෝකයේ සෑම රටකම එම ධූරය දැරිය හැකි වාර ගණන දෙකකට සීමා කර තිබෙනවා. විධායක ජනාධිපති ක්‍රමය මුලින්ම ආරම්භ වුණේ අමෙරිකාවෙන් වන අතර පුද්ගලයෙකුට ජනාධපති ධූරය දැරිය හැකි වාර ගණන දෙකකට එරට ව්‍යවස්ථාවෙන් සීමා කර තිබෙනවා. ඊට පසු ප්‍රංශයේ ද විධායක ජනාධිපති ක්‍රමය ආරම්භ වුණා. එරට පුද්ගලයෙකුට ද ජනාධිපති ධූරය දැරිය හැක්කේ දෙවතාවක් පමණකයි.
මේ ආකාරයට විධායක ජනාධිපති ක්‍රමය ක්‍රියාත්මක වන ලෝකයේ සෑම රටක්ම පුද්ගලයෙකුට ජනාධිපති ධූරය දැරිය හැකි වාර ගණන දෙකකට සීමා කර තිබෙනවා. ඒ අනුව පුද්ගලයෙකු පළමු ජනාධිපතිවරණය ජයග්‍රහණය කර විධායක ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු ජනතාවගේ කැමැත්ත මත දෙවන වතාවට ද එම ධූරයට තේරී පත්විය හැකියි. නමුත් ඒ කිසිඳු රටක පුද්ගලයෙකුට තෙවැනි වතාවටත් විධායක ජනාධිපති ධූරයට පත්වීමට අවස්ථාවක් ලබා දී නොමැති අතර එය තහනම් කොට තිබෙනවා. එම රටවල සිටි කිසිඳු ජනාධිපතිවරයෙකු එම තහනම බිඳ දැමීමට ක්‍රියා කළේ නැහැ.
ඒ මහතා මේ බව පැවසුවේ ජනාධිපති පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් මාතර සංවිධානය කර තිබූ මැතිවරණ රැලිය අමතමිනි.
අපේ හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා දෙවතාවක් ජනාධිපති ධූරය දැරීමෙන් පසු ඉවත් වුණා. ඒ වගේම චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය ද ජනාධිපති ධූරය දෙවතාවක් දැරීමෙන් පසු එයින් ඉවත් වුණා. නමුත් මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාට තුන් වැනි වරටත් ජනාධිපති ධූරයට පත්වීමට තිබෙන අවශ්‍යතාවය කුමක්දැයි අද වන තුරු රටේ ජනතාවට කියා නැහැ.
ජනාධිපතිවරයා මේ ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මය කඩ කළේ ඇයි? 18 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කර විධායක ජනාධිපති ධූරය සම්බන්ධයෙන් පැවැති සීමාවන් ඉවත් කළේ ඇයි? තුන් වැනි වතාවටත් ජනාධිපති ධූරයට පත්වීමට තිබෙන වුවමනාව සහ හදිසිය කුමක්ද? ඒ සඳහා කිසිඳු සාධාරණ හේතුවක් ඉදිරිපත් කර නැති නම් තෙවැනි වතාවටත් ජනාධිපති ධූරයට පත්වීමට ඔහුට තිබෙන එකම හේතුව කෑදරකම බව අපට පිළිගැනීමට සිදු වෙනවා.
තමා යුද්ධ කර යුද්ධය අවසන් කළ බවත්, එම නිසා ජනතාවගේ ආදායම්, වැටුප් වැඩි කිරීමටත්, රැකියා ලබා දීමටත්, ගොවිතැන, අධ්‍යාපනය සහ සෞඛ්‍ය දියුණු කිරීමටත් තවත් වසර හයක් ලබා දෙන්නැයි තමාගේ පළමු ධූර කාලයෙන් අනතුරුව මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා කියා සිටියා. නමුත් දැන් වසර හතරක් ගතවී තිබුණත් ඒ කිසිවක් සිදු වී නැහැ. ඒ වෙනුවට අද සිදුව තිබෙන්නේ කුමක්ද? අද ජනතාවගේ ජීවන බර වැඩි වී තිබෙන අතර එය ඔවුන්ට දරා ගැනීමට නොහැකි වී තිබෙනවා. පසුගිය කාලය තුළ ජනතාවගේ වැටුප් වැඩි නොකළ අතර කෘෂි කර්මාන්තය කඩා වැටුණා. නිදහස් අධ්‍යාපනය සීමා කර නිදහස් සෞඛ්‍යය කප්පාදු කළා. නීතියේ ආධිපත්‍යය නැති කර අධිකරණයේ ස්වාධීනත්වයට පහර එල්ල කර තිබෙන අතරම පාර්ලිමේන්තුවේ බලතල ද ලබා ගෙන තිබෙනවා.
තමාගේ දෙවැනි වාරය සඳහා ලබා දුන් පොරොන්දු ඉටු කිරීමට නොහැකිව තුන් වැනි වාරය සඳහා බලය ලබා දෙන්නැයි ජනාධිපතිවරයා ඉල්ලා සිටින්නේ ඇයි? ලබාදුන් පොරොන්දු ඉටු කිරීමට නොහැකි වූ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාට තුන් වැනි වාරයක් ලබාදිය යුතු ද, නැද්ද කියා තීරණය කළ යුතුයි. තමාට තුන් වැනි වාරයට බලය ලබා දිය යුත්තේ ඇයි දැයි මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා කිසිදු හේතුවක් ඉදිරිපත් කර නැහැ.

විධායක ජනාධිපති ධූරයට තිබූ සීමා ඉවත් කොට සීමාවකින් තොරව තරග කිරීමට අවස්ථාව ලබා ගන්නවා නම්, පාර්ලිමේන්තුව සහ අධිකරණය අඩපන කරනවා නම්, තමාගේ බලය වැඩි කර ගන්නවා නම් එය විධායක ජනාධිපතිකමක් නොව, රජකමක් බව කිව යුතුයි. ඔහුට එම රජකම ලබාදීමට අප කිසිසේත් සූදානම් නැහැ.
පසුගිය වසර හතර - පහ තුළ දී රටේ සංවර්ධනය ජනතාවට ලබා නොදී, ජනතාවගේ අයිතිවාසිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදය සොරකම් කර, ජනතාවගේ බඩට පහර දී, සෞඛ්‍ය තත්ත්වය ද අනතුරේ දැමූ පුද්ගලයාට තුන්වැනි වාරයක් ලබා දෙන්නේ ඇයි දැයි මා ප්‍රශ්න කරනවා.
මහින්දට රට හදන්න තුන් වැනි වාරයටත් බලය දෙන්නැයි අද කියා සිටිනවා. මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා පසුගිය කාලය තුළ දී කළේ කුමක්ද? වසර පහක් තිස්සේ රට සහ රටේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කළා. තමන්ගේ බලය වැඩි කර ගත් අතර තම පවුලටත්, හෙංචයියන්ටත් සීමා වුණු රාජපක්‍ෂ රෙජීමයක් ඇති කළා. කොමිස් ලබා ගනිමින්, මහජන දේපොළ සූරා කමින් ජනතාව පාරට ඇද දැමුවා.
එසේ නම් තුන් වැනි වාරයටත් බලය ඉල්ලන්නේ ඇයි? තව තවත් කොමිස් ලබා ගැනීමට ද? තව තවත් ජනතාවගේ මුදල් සූරා කමින් ජනතාව තවත් දුප්පත් කිරීමට ද? මේ ක්‍රමවේදයට එරෙහි වෙමින් තමා පොදු අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් වීමට සූදානම් බව ජනාධිපතිවරයාගේම පක්‍ෂයේ මහ ලේකම් මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටියා.
මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පැමිණීමත් සමග අප සියලූ දෙනා එකතු වී පොදු අපේක්‍ෂකයා වටා එකතු වෙමින් මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා පරාජයට පත් කිරීමේ සටන ඉදිරියට ගෙන යාමට අප තීරණය කළා. අද මේ වේදිකාවට මේ සියලූ දෙනාම පැමිණ තිබෙන්නේ එම වැඩ කොටස ඉටු කිරීමටයි. අප සියලූ දෙනා එකතු වී සිටින්නේ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා පරාජයට පත් කිරීමට පමණක් නොවෙයි. අප සියලූ දෙනා සම්මුතියකට ගොස් අලූත් දේශපාලන සංස්කෘතියක් ආරම්භ කරනවා. දින 100 ක් ඇතුළත විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර අප ඒ අලූත් දේශපාලන සංස්කෘතිය ආරම්භ කරනවා.
මා මේ පිළිබඳව 2005 දී ද කතා කළා. 2005 ජනාධිපතිවරණයේ දී මා ඉදිරිපත් කළ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය කියවීමෙන් එය දැනගත හැකියි. අප සියලූ දෙනා සම්මුතිවාදයකට ගොස් අලූත් දේශපාලන ව්‍යාපාරයක් ආරම්භ කළ යුතු බව මම එම මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් කියා සිටියා.
මේ ක්‍රමය අලූත් දෙයක් නොවන අතර වසර 2500 කට පෙර දී බුදුන් වහන්සේ ලිච්ඡවී රජදරුවන්ට මෙවැනි ක්‍රමයක් සම්බන්ධයෙන් දේශනා කළා. කිසාමයෙන් රැස්වී, සාමයෙන් සාකච්ඡා කර, සාමයෙන් විසිර යන්නැයි උන්වහන්සේ දේශනා කළා. නමුත් සියලූ දෙනාම ඒකමතික තීරණයකට පැමිණිය යුතු බව බුදුරජාණන් වහන්සේ කිසි විටෙක දේශනා නොකළ අතර උන්වහන්සේ දේශනා කළේ සම්මුතිවාදය ඉදිරියට ගෙන යන ලෙසයි.
අද ක්‍රියාත්මක වන පක්‍ෂ දේශපාලන විනාශ නොකර එම පක්‍ෂ ක්‍රමය ආරක්‍ෂා කර ගනිමින් ජනතාව වෙනුවෙන් මේ සම්මුතිවාදය ඉදිරියට ගෙන යාමට අප තීරණය කළා.
මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාට දැන ගැනීමට නොහැකි වන ආකාරයෙන් සියලූ දෙනා එකතු වී ඔවුන් ආණ්ඩුවෙන් එළියට පැමිණියේ කෙසේදැයි මීට පෙර කතා කළ රාජිත සේනාරත්න මහතා පැහැදිලි කළා. අද එය විශාල ප්‍රශ්නයක් වී තිබෙනවා.
මට එරෙහිව පෝස්ටර් සහ පොත් මුද්‍රණය කිරීමටත්, බටලන්ද යනුවෙන් චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට, කැසට් පට හදන්න ආණ්ඩුව රුපියල් කෝටි 100 කට අධික මුදලක් වියදම් කළා. නමුත් ඒවාට අද සිදුව තිබෙන්නේ කුමක්ද? ආණ්ඩුව ඔවුන්ට විරුද්ධ සියලූ දෙනාට කොටියා කොටියා කියමින් යන අතර රනිල් කොටියාකි යැයි කියමින් සකස් කර තිබූ පෝස්ටර්වල රනිල් වෙනුවට මෛත්‍රීපාල යනුවෙන් කොළ ඇලවීමට අද ආණ්ඩුවට සිදු වෙලා.
කොටියා කොටියා සහ මමයි රට බේරගන්නේ යැයි යන සටන් පාඨ අද අදාළ නැහැ. අපට අවශ්‍ය නව දේශපාලන සංස්කෘතියත් ඇති කිරීමයි. මහින්ද චින්තනය මගින් ඇති කළ දේශපාලනය නිසා අද මේ රටේ ජනතාවට සම්පූර්ණ දේශපාලන ක්‍රමයම එපා වී තිබෙනවා. මෙම දේශපාලන ක්‍රමය පිළිකුල් කරන අතර මේ ක්‍රමය මගින් ජනතාවගේ ප්‍රශ්න විසදිය නොහැකි බව ජනතාවම කියා සිටිනවා. ඒ අනුව වත්මන් දේශපාලන ක්‍රමය ක්‍රියාත්මක වනතුරු පාර්ලිමේන්තුව කෙරෙහි ජනතාවගේ තිබෙන විශ්වාසය අඩු වනවා. තමන්ගේ අනාගතය සුරක්‍ෂිත නොවන්නේ නම් මේ දේශපාලන ක්‍රමය සහ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව බලාපොරොත්තු තැබීමට ජනතාවට හැකියාවක් තිබෙනවාද?
දින 100 වැඩසටහන යටතේ අප සියලූ දෙනාගේ මූලිකත්වයෙන් පාර්ලිමේන්තුවක් ඇති කර විධායක ජනාධිපති කමය අහෝසි කිරීමට අප තීරණය කළේ එම නිසයි. එම වැඩ කටයුතුවලින් අනතුරුව මහ මැතිවරණයකට යන අතර එම මැතිවරණයෙන් පසුව සෑම පක්‍ෂයක්ම එකතු කර ගනිමින් අඩුම වශයෙන් වසර දෙකක්වත් රට පාලනය කරමින් ජනතාවගේ මූලික ප්‍රශ්න විසඳීමට කටයුතු කරනවා. අපේ බලාපොරොත්තුව එයයි.
අද ජනතාවට බොහෝ ප්‍රශ්න තිබෙනවා. අප කැපකිරීම් කරමින් මෙතැනට පැමිණියේ ජනතාව වෙනුවෙන් වන අතර ජනතාවගේ එම ප්‍රශ්න විසඳීම සඳහා තවත් කැපකිරීමක් කිරීමට අපට හැකියාව තිබෙනවා.
අද රටේ ණය බර විශාල ලෙස ඉහළ ගොස් තිබෙන අතර එය ගෙවීමට අඩුම වශයෙන් පරම්පරා තුනක්වත් ගතවේවි. මේ ණය ගෙවීමට අප වෙනත් ක්‍රමයක් සොයාගත යුතුයි. සීඝ්‍රයෙන් දියුණු වී මේ ණය බර අඩු කර ගැනීමට අප කටයුතු කරනවා.
පසුගිය වසර පහ තුළ දී අපේ තරුණ තරුණියන්ට හොඳ රැකියා ලැබුණේ නැහැ. එම නිසා තරුණ තරුණියන් වෙනුවෙන් රැකියා දස ලක්‍ෂයක් ඇති කිරීමට අප බලාපොරොත්තු වන අතර ඒ සඳහා දේශීය ආයෝජන ප්‍රමාණවත් වන්නේ නැහැ. ඒ වගේම දේශීය දැනුම ද ප්‍රමාණවත් වන්නේ නැහැ. එම නිසා නව රැකියා අවස්ථා ඇති කිරීම සඳහා විදේශ ආයෝජන, විදේශ තාක්‍ෂණය සහ විදේශ වෙළෙඳපොළවල් අපට අවශ්‍ය වනවා.
ශ්‍රී ලංකාවේ සියලූ දේශපාලන පක්‍ෂ එක ස්ථාවරයක සිටින බව විදේශ ආයෝජකයින් දැනගත් විට ඔවුන් ලංකාවට පැමිණ අයෝජනය කිරීමට පෙළඹෙනවා. එවිට නව කර්මාන්ත ශාලා දහස් ගණනින් ඇති වන අතර මේ ආකාරයට වසර පහක් ගත වන මේ රටේ නව රැකියා සහ ආදායම් මාර්ග ලක්‍ෂ දහයක් ඇති වනවා පමණක් නොව සියලූ දෙනාගේම ආදායම ඉහළ යන ආකාරයට ආර්ථිකය මෙහෙයවීමට ද අප කටයුතු කරනවා.
අද ප්‍රජාතන්ත්‍රවාදය අඩපන වෙලා... මෙම තත්ත්වය සකස් කර ගැනීම සඳහාත් ඒ ඒ ආයතන ගොඩනැගීම සඳහාත් දේශපාලන පක්‍ෂ අතර යම්කිසි සටන් විරාමයක් අවශ්‍ය වනවා. දීර්ඝ කාලීනව නොහැකි වුවත් අවම වශයෙන් වසර දෙක තුනක් හෝ අප එවැනි එකඟතාවයක් ඇති කර ගත යුතුයි.
අප ඇති කිරීමට බලාපොරොත්තු වන නව දේශපාලන සංස්කෘතිය එයයි. අපි එතැනට යමු... කොටියා කොටියා යැයි ද, මමයි රජා යැයි ද කිව යුතු නැති අතර එක් එක් විදියට පටු දේශපාලනය නොකළ යුතුයි.
අපේ තීරණය සහ අරමුණ වන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර, අලූත් දේශපාලන සංස්කෘතියක් මේ රටට ලබාදී, ජනතාවගේ ප්‍රශ්න විසදා තරුණ තරුණියන්ට සුරක්‍ෂිත අනාගතයක් ලබාදීමයි.
මේ කටයුතු සිදු කිරීමට නම් අප සියලූ දෙනාම එක දෙයක් කළ යුතුයි. එනම් ජනවාරි 08 වැනිදා ඔබේ වටිනා ඡන්දය ලබා දී මෛත්‍රීපාල සිරිසේන මහතා මේ රටේ ජනාධිපති ධූරයට පත් කර ගත යුතුයි. අපි එතැන් සිට අපේ ගමන ආරම්භ කරනවා.

No comments:

Post a Comment