Dec 24, 2014

23 Dec 2014
කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමැති රිෂාඩ්
ඇතුළු සමස්‌ත ලංකා මුස්‌ලිම් කොංග්‍රස්‌ පක්‍ෂය
මෛත්‍රීට එක්‌වෙයි

කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමැති රිෂාඩ් බදියුදීන්, නව පාර්ලිමේන්තු මන්ත්‍රී අමීර් අලි යන මහත්වරු ඇතුළු සමස්‌ත ලංකා මුස්‌ලිම් කොංග්‍රස්‌ පක්‍ෂය විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා
සමඟ ඊයේ (22 දා) එක්‌වූහ.
එම පක්‍ෂයේ පළාත් සභා මන්ත්‍රීවරුන් හයදෙනකු ඇතුළු පළාත් පාලන මන්ත්‍රීවරු 69 දෙනකු ද ආණ්‌ඩු පක්‍ෂයෙන් ඉවත්ව විපක්‍ෂ අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දක්‌වන බව විපක්‍ෂ නායක කාර්යාලයේදී ඊයේ සවස පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්‌වෙමින් ඇමැති රිෂාඩ් බදියුදීන් මහතා කීය.
මෙම තීරණය සම්බන්ධව සහ සිය ඇමැති ධුරයෙන් ඉල්ලා අස්‌වන බව ජනාධිපතිවරයා වෙත ලිපියකින් දැන්වූ බව ද හෙතෙම මෙහිදී සඳහන් කළේය.
නැගෙනහිර පළාත් සභාවේ තම පක්‍ෂය නියෝජනය කරනු ලබන මන්ත්‍රීවරුන් තිදෙනකු ඇතුළුව දැනට පළාත් සභා මන්ත්‍රීවරු හයදෙනකු සිටින අතර අමීර් අලි මහතාගේ ඉල්ලා අස්‌වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය ද ඇතුළුව මන්ත්‍රීවරුන් හත්දෙනකුගෙන් සමන්විත තම පක්‍ෂයට මුසලි, ඔට්‌ටමාවඩි, කින්නියා, කාත්තන්කුඩි යන පළාත් පාලන ආයතන හතරෙහි බලයද හිමි බව ඒ මහතා මෙහිදී පැවසීය.
ඒ අනුව 69 දෙනකු වන තම පක්‍ෂයේ සියලුම මන්ත්‍රීවරුන් ඇතුළු සාමාජිකයන් ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්‍ෂ අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය සඳහා කටයුතු කරන බව ද හෙතෙම කීය.
යුද්යෙන් නිදහස්‌ වූ රට තුළ ආගම්වාදය, ජාතිවාදය වපුරමින් ආණ්‌ඩුව ගෙන යන වැඩපිළිවෙළ තවදුරටත් අනුමත කළ නොහැකි බැවින් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ ඇති වූ පැහැදීම මෙම තීරණයට හේතු වූ බවත් බදියුදීන් මහතා සඳහන් කළේය.

රිෂාඩ් බදියුදීන්, අමීර් අලි යන මහත්වරුන් ඇතුළු තම පක්‍ෂයේ ක්‍රියකාරීන් පිරිස ඊයේ සවස විපක්‍ෂ නායක කාර්යාලයට පැමිණි මොහොතේ ඔවුන්ව පිළිගැනීමට මෛත්‍රීපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ, චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග, රවී කරුණානායක, අකිල විරාඡ් කාරියවසම්, ආර්. යෝගරාජන්, අසාද් සාලි යන මහත්වරුන් ඇතුළු පිරිසක්‌ ද සහභාගි වූහ.

සමස්‌ත ලංකා මුස්‌ලිම් කොංග්‍රසය සන්ධාන ආණ්‌ඩුවේ හවුල්කාර පක්‍ෂයක්‌ වන අතර සන්ධානයෙන් පාර්ලිමේන්තුවට පත්කළ මන්ත්‍රීවරයකු ලෙස පත් වූ ඒ. එච්. එම්. අස්‌වර් මහතාගේ ඉල්ලා අස්‌වීම නිසා අමීර් අලි මහතා ආණ්‌ඩු පක්‍ෂයේ මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දුන්නේ පසුගිය 12 වැනි දිනය.

http://www.divaina.com/2014/12/23/news15.html

No comments:

Post a Comment