Dec 24, 2014

23 Dec 2014
ජනවාරි 9 වැනිදාට අපි අලුත් ආණ්‌ඩුවක්‌ හදනවා අනිවාර්යයි
මහින්ද රාජපක්‍ෂට යළි මේ රටේ ජයග්‍රහණ නැහැ
පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන
රාජපක්‍ෂ යුගය අවසන් කරන්න
හංසයා ඉදිරියෙන් කතිරය ගසන්න

විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ 


දේශපාලන අස්‌ථාවරභාවයක්‌ අද රටේ ඇති වී තිබෙන්නේ පවුල් පාලනයේ අනිසි බලපෑම නිසා බවත් යළි කිසි දිනෙක මහින්ද රාජපක්‍ෂ මහත්තයලට මේ රටේ ජයග්‍රහණයක්‌ නොලැබෙන බවත් විපක්‍ෂයේ ජනාධිපතිවරණ පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා අරණායක, රුවන්වැල්ල, ඇහැලියගොඩ, අවිස්‌සාවේල්ල, මාවතගම සහ දැරණියගල පැවැති ජනහමුවලදී ප්‍රකාශ කළේය.

"එක්‌ වෙමු වෙනසක්‌ කරමු" යන තේමාව ආශ්‍රයෙන් මෙම ජනහමු සංවිධානය කර තිබිණි.

අවිස්‌සාවේල්ල ජනහමුවේදී කොළඹ දිස්‌ත්‍රික්‌ ශ්‍රීලනිප සංවිධායකවරයකු වන සාගර සේනාරත්න මහතා මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වේදිකාවට එක්‌වී මෛත්‍රීපාල මහතාට සහාය දැක්‌වීමට එකඟතාව පළ කළේය.
මෙම ජනහමුවලදී තවදුරටත් අදහස්‌ දැක්‌වූ විපක්‍ෂයේ ජනාධිපතිවරණ අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේ ද පැවසීය.
පවතින රාජපක්‍ෂ පාලනය ඉවත් කර ජනතාවගේ නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්‍ෂා කිරීමටත්, නීතියේ ආධිපත්‍යය රැකගෙන ප්‍රබුද්ධ රටක්‌ බවට ශ්‍රී ලංකාව පත්කිරීමටත් ඉතා කෙටි කලක්‌ තුළ ඔබ අප සූදානම් වී තිබෙනවා. ඒ අලුත් ආණ්‌ඩුව අපි ලබන 9 වැනිදාට හදනවා. ඒක අනිවාර්යයි. ඒක වෙනස්‌ කරන්න කාටවත් බැහැ. බණ්‌ඩාරනායක ප්‍රතිපත්තිය හෝ ශ්‍රීලනිප ප්‍රතිපත්තිය අද මහින්ද රාජපක්‍ෂ ආණ්‌ඩුවේ නැහැ. 2010 දී ජනාධිපති වරම ඉල්ලුවේ කුමකටද? යන්නත් මහින්ද රාජපක්‍ෂ මහතාට අද අමතක වී තිබෙනවා. 2009 දී මේ ජනාධිපතිට මහාරජාණෝ යෑයි කියමින් ජනතාව සතුට පළ කළා. ප්‍රශස්‌ති ගී ගැයුවා. නිල්, කොල, රතු, කොඩි වෙනුවට සිංහ කොඩිය වනමින් මහින්ද රාජපක්‍ෂ මහතාට ගෞරව ආචාර පුද කළා. නමුත් ජනතාවාදී ආණ්‌ඩුවක්‌ වෙනුවට රාජාණ්‌ඩුවක්‌ බිහිවුණා. මහින්ද රාජපක්‍ෂ මහතාට රජෙක්‌ වෙන්න වුවමනා වුණා. ඉතිහාසයේ නොයෙක්‌ ආකාරයේ රජවරු ඉඳලා තිබෙනවා. කුරිරු, අධාර්මික, දුෂ්ඨ පාලකයෝ ඉඳලා තිබෙනවා. ඒත් මේ රටේ ආඥාදායකත්වයක්‌ ගෙනියන්න දෙන්න බැහැ. ඇමැති මණ්‌ඩලය තුළ කිසිම ඇමැතිවරයෙක්‌ කියන දෙයක්‌ මහින්ද රාජපක්‍ෂ අහන්නේ නැහැ. උගතුන් සහ බුද්ධිමතුන්ගේ අදහස්‌ සහ යෝජනා ගණන් ගන්නේ නැහැ. කොටින්ම ඔහු කාවවත් මායිම් කරන්නේ නැහැ.

http://www.divaina.com/2014/12/22/news17.html
මේ රට නිදහස්‌ හා ප්‍රජාතන්ත්‍රවාදී රටක්‌ බව ජනාධිපතිතුමා සිතිය යුතුයි. කිසිම ආණ්‌ඩුවක්‌ නොකළ ආකාරයට ජනතාවගේ වස්‌තුව, ධනය බදුවලින් කොල්ලකන ආණ්‌ඩුවක්‌ බවට මේ ආණ්‌ඩුව පත්වෙලා තිබෙනවා. වංචාව දූෂණය ඉහ වහා ගිහින් තිබෙනවා. ඉතින් මම තවත් එතන ඉන්න ඕනෑද? මම තව 14 දෙනෙක්‌ එක්‌ක එළියට ආවා. හෙට අනිද්දා වන විට තව එනවා. ඡන්දය වන විට ආණ්‌ඩුවෙන් භාගයක්‌ම එනවා. මහින්ද රාජපක්‍ෂ මහත්තයලට නැවත ජයග්‍රහණයක්‌ කවදාවත් ලැබෙන්නේ නැහැ. නීතිය ආරක්‍ෂා කිරීම, නීතියට ගරු කිරීම, නීතියට අවංක වීම, යහපාලනයේ ප්‍රධාන ලක්‍ෂණයක්‌ වෙනවා. එහෙමනම් ශිරාණි බණ්‌ඩාරනායක මහත්මියව අගවිනිසුරු පුටුවෙන් එළෙව්වේ. රටේ යහපාලනයක්‌ තිබෙන නිසාද? මගේ මැතිවරණ වේදිකාවක්‌ ගිනිබත් කළේ රටේ යහපාලනය පෙන්වන්නද? මැතිවරණ නීතිය උල්ලංඝනය කරමින් කටවුට්‌ පෝස්‌ටර් ගැහීම ද යහපාලනය කියන්නේ? අපේ එක වේදිකාවක්‌ ගිsනි තියන විට ඡන්ද ලක්‍ෂයක්‌ අපිට ලැබෙනවා. කටවුට්‌ ගහන්න ගහන්න ජනතාව හංසයා පැත්තට හැරෙනවා.

දේශීය ආර්ථිකය ශක්‌තිමත් යෑයි කියමින් ආණ්‌ඩුව පට්‌ට පල් බොරු කියනවා. බොරු සංඛ්‍යා ලේඛන දීලා ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රවටනවා. මේ කියන සංවර්ධනය තිබෙනවා නම් රටේ 1/3 ක්‌ බඩගින්නේ ඉන්නවද? රාජපක්‍ෂ පාලනයට මේ දුගී බව ගැන හැඟීSමක්‌ නැහැ. ජනතාව වෙනුවෙන් එක අලුත් දේශීය කර්මාන්තයක්‌ මේ අවුරුදු 10 ට ඇති කළේ නැහැ. එක දේශීය නිෂ්පාදනයක්‌ හැදුවේ නැහැ. සියයට 40 කින් ලෝක තෙල් මිල බැස්‌සත් ඒ සහනය ජනතාවට දෙන්නේ නැහැ. රටක සංවර්ධනයේදී නායකයා ජනතාවගේ පැත්තෙ ඉන්න ඕනෑ. ඒත් මේ නායකයා ඉන්නේ ධනවාදී පැත්තේ. ස්‌ත්‍රී දූෂණ, ළමා අපචාර, කාම අපචාර මහින්ද රාජපක්‍ෂ රජය යටතේ තරම් කිසිදු ආණ්‌ඩුවක්‌ යටතේ සිදුවුණේ නැහැ. ප්‍රාදේශීය සභාවල සභාපතිවරු මන්ත්‍රීවරු මෙවැනි සිද්ධි කීයකට සම්බන්ධ වුණාද? ඒත් ඔවුන්ට එරෙහිව මම පරීක්‍ෂණ පවත්වනකොට මට කියනවා ඔය ඇති. දැන් ඒක නතර කරන්න කියනවා. පාරවල් හදනවා, කාපට්‌ කරනවා කියමින් රුපියල් කෝටි ගණන් මුදල් මේ ආණ්‌ඩුව පිල්ලි ගහනවා. ඔය කියන සංවර්ධන වැඩ සඳහා සියයට 40 යි වැය වෙන්නේ. අපිට ආධාර දෙන විදේශීය රටවල් පවා මේ බව දැන් තේරුම් ගෙන තිබෙනවා.

ලොව සංවර්ධිත රටවල් සියල්ල දැනටමත් අපේ අලුත් ආණ්‌ඩුවක සංවර්ධන කටයුතුවලට අතහිත දෙන්න එකඟතාව පළ කර තිබෙනවා. දේශපාලන අස්‌ථාවරත්වය අද රටේ ඇති වී තිබෙන්නේ පවුල් පාලනය නිසයි. සියලු දේශපාලන පක්‍ෂවලින් සැදුම්ලත් ස්‌ථාවරම ආණ්‌ඩුqව අප ලබන 09 වැනිදාට හදනවා. නිල්, කොල, රතු වලින් සැදුම්ලත් වේදිකාවක්‌ අද අපි හදලා තිබෙනවා. ඒ වගේ තමයි නිල්, කොල, රතු එකතුවුණ ආණ්‌ඩුවක්‌ අපි හදනවා. ප්‍රභාකරන් ඇතුළු එල් ටී ටී ඊ යේ ප්‍රබලම නායකයන් මිය යද්දී මමයි මේ රටේ ආරක්‍ෂක ඇමැතිවරයා ලෙස කටයුතු කළේ. ජනාධිපති ජෝර්¨දාන් ගියා. අගමැති කාම්බෝජයට ගියා. මමයි අවසන් සති දෙකේ යුද්ධය මෙහෙයවූවේ. ආයෙත් මේ රටේ යුද්ධයක්‌ ඇතිවෙන්න දෙන්නේ නැහැ. ඒ ගැන මම සපථ වෙනවා.

මේ වැඩපිළිවෙළේදී දුර බලන්න ඕනෑ. ඡන්ද පොළ ගේට්‌ටුව ළඟදී ප්‍රශ්නයක්‌ තමන් විසින්ම අසන්න. රට රකින්න ඡන්දය දෙනවද? රාජපක්‍ෂ පවුල රකින්න ඡන්දය දෙනවාද? කියන ප්‍රශ්නය තමන්ගෙන්ම අසන්න. රට රකින්න ඕනෑ නැති අය රාජපක්‍ෂ පවුල රකින්න ඕනෑ අය වුවමනා නම් බුලත් කොළයට ඡන්දය ලකුණු කරන්න. හැබැයි දැනටමත් සියයට 65 ක්‌ හංසයාට ඡන්දය ලැබෙන බවට සමීක්‍ෂණවලින් අනාවරණය වී තිබෙනවා. ජනාධිපති මන්දිර නවීකරණය කරන්න, ජනාධිපති මන්දිර අලුතින් හදන්න මේ රජපවුල කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් වියදම් කර තිබෙනවා. කිසි දේකට නොසැලී හංසයා ඉදිරියේ කතිරය ගසන්න. ඉතිරි හරිය අපි බලාගන්නවා. අවි බලය ධන බලය කොතරම් ප්‍රබල වුවත් ඔබලා බය වෙන්න එපා.

රාජ්‍ය සේවකයන්ව මේ රජයෙන් ඇති තරම් රැවැට්‌ටුවා. ඔවුන්ව අසරණ කළා. අයවැය මගින් බොරු පොරොන්දු දුන්නා. ඒ රාජ්‍ය සේවකයන් සියයට 90 ක්‌ම හංසයා ලකුණ වෙනුවෙන් ඡන්දය දෙන බවට වාර්තා වී තිබෙනවා. එක්‌ පුද්ගලයෙක්‌ වරක්‌, දෙවරක්‌ ජනාධිපති කර තුන්වැනි වතාවට රජෙක්‌ වෙන්න ඉඩ දෙන්නේ නැති බව අපි හැම දෙනාම දන්නවා. ජනවාරි 08 හදන අපේ ආණ්‌ඩුවක්‌ සමඟ සහෝදරත්වයෙන්, ලෙංගතුකමින් ඉදිරියට යමු.

හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා - මම මේ දූෂිත පාලකයාට අභියෝග කළේ තට්‌ට තනියමයිs. හංසයාට එදා පීනා යන්නට වන ලැහැබ, කටු පඳුරු අතරින් කුඩා දිය පහරක්‌ මා අපහසුවෙන් හදා ගත්තා. ඒත් අද මේ හංසයා පීනා යන්නේ විශාල ජල ප්‍රවාහයක්‌ ඔස්‌සේ ගීත ගායනා කරමිනුයි. ආණ්‌ඩුවේ ප්‍රබලයනුත් මේ හංසයාට පීනා යන්න සහයෝගය දෙනවා. රටේ දූෂිත පාලකයාගෙන් අපි මෙවර රට බේරා ගන්නවා.

මෛත්‍රීපාල මහතා සදාචාරයෙන් පිරුණු ලාංකීය නායකයෙක්‌. එතුමාත් එක්‌ක අපිට ගමට යන්න පුළුවන්. චීන මුහුණක්‌ එතුමාට නැහැ. ගමට යන්න පුළුවන් හොඳම නායකයා අපිට අද හම්බු වෙලා තිබෙනවා. තරුණ තරුණියන්ගේ අනාගතය ගැන සිතමින් දරුවන්ගේ අනාගතය ගැන සිතමින් අපට ඔහු සමඟ වැඩ කරන්න පුළුවන්.

එජාප හා විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා - ඇමරිකාවයි කියුබාවයි අදින් වසර 45 කට පෙර පටන් හතුරු රජයන් දෙකක්‌. ඒත් ඊයේ මේ රටවල් දෙක එකතු වුණා. ඒ අවුරුදු 45 ක්‌ හතුරු වී සිටි කියුබාවයි ඇමෙරිකාවයි එකතු වුණා නම් රටේ ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් එජාපයයි හෙළ උරුමයයි එකට එකතු වීම මහ ලොකු දෙයක්‌ද? 2010 දී මහින්ද රාජපක්‍ෂ ඡන්දය ඉල්ලුවේ රට සංවර්ධනය කරන්නයි. තමන්ගේ පෞද්ගලික ඕනෑ එපා කම් ඉටුකර ගත්තා මිසක්‌ ඔහු රට සංවර්ධනය කළේ නැහැ. තවත් අවුරුදු ගාණක්‌ ඔහුට මේ රට භාර දෙනවාද? අපේ යුතුකම පක්‍ෂ දේශපාලනයෙන් ඉවත් වෙලා ශීඝ්‍ර සංවර්ධනයක්‌ රටට අත්කර දීමයි.

අපේ රජයක්‌ යටතේ රජයේ සේවකයන්ට දසදහසක වැටුප් වැඩි වීමක්‌ කරනවා. පෙබරවාරි මාසයේදී එහි මුල් පියවර ලෙස රුපියල් 5000 ක්‌ ලබාදෙනවා. සිංහල අවුරුදු කාලය වන විට මුදල් යහමින් අතේ ගැවසෙන ජනතාවක්‌ දැකීම අපේ අරමුණයි. අපි මේ අරමුණ වෙත යන්න කඹ ඇද ඇද ඉන්නේ නැහැ. මේ තරුණ පරපුරට අනාගතයක්‌ අපි දෙන්න ඕනෑ. මට රකින්න පරපුරක්‌ නැහැ. ඒ නිසා මට ඒ දේ කරන්න පුළුවන්.

මහින්ද රාජපක්‍ෂට තව වාරයක්‌ බලය දෙනවා යනු ඔහුට රජකම දීම හා සමානයි. මේ රාජපක්‍ෂ රෙජීමය අපි පන්නනවා. ජනාධිපතිවරණයෙන් පසු අපි මහ මැතිවරණයකට යනවා. දිනන පක්‍ෂයේ නායකයා අගමැති වෙනවා. දෙවැනියාට වැඩිම ඡන්ද ගන්න පක්‍ෂයේ නායකයාට නියෝජ්‍ය අගමැතිකම දෙනවා. අපි කැපකිරීම්, පරිත්‍යාගයන් කිරීමට සූදානම්. ජනතාව වෙනුවෙන් ඕනම දෙයක්‌ කැප කරන්න බලාගෙන තමයි අපි දේශපාලනයට ආවේ. ඒ නිසා ලබන ඡන්දයේදී මේ රජය ගෙදර යවන්න අවශ්‍ය කරන තීරණය ගන්න ඔබ බිය වෙන්න එපා. හංසයා ඉදිරියේ ඡන්දය සලකුණු කර මෛත්‍රීපාල මහතාට ඔබේ මනාපය ලබා දෙන්න. මෛත්‍රීපාල මහතා මේ රටේ ජනාධිපති බවට පත්කර අපි අපේ අරමුණ ඉටුකර ගැනීමට පළමු පියවර තබමු.

හිටපු ඇමැති ඉමිටියාස්‌ බාකීර් මාකර් , එජාප උප නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක , හිටපු ඇමැති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ,රත්නපුර දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක ,හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් , එජාප ජාතික සංවිධායක දයා ගමගේ යන අයද මෙහිදී කතා කළහ..

No comments:

Post a Comment