Dec 24, 2014

23 Dec 2014
පාලම්, පාරවල් හැදෙන්න ඕනෑ ජාතික නිෂ්පාදනයේ දියුණුවත් සමඟයි
අනුර කුමාර දිසානායක

රාජපක්‍ෂ ආණ්‌ඩුව මේ රටේ දේශපාලන සංස්‌කෘතිය විනාශ කළා. එහාට මෙහාට මුදලට විකිණෙන මන්ත්‍රීවරු හැදුවා.

රාජපක්‍ෂ ආණ්‌ඩුව සැලුන් දොර වගෙයි කීවා. අපේ පක්‍ෂ නම් එහෙම නෑ. අපේ පක්‍ෂයට කෙනෙක්‌ ගන්නේ ප්‍රතිපත්ති බලලයි. ප්‍රතිපත්ති කැඩුවොත් තමයි පක්‍ෂයෙන් යවන්නේ.

අතීතයේදීත් මන්ත්‍රීවරු පක්‍ෂ මාරු කළේ ප්‍රතිපත්තිවලටයි. නමුත් අද ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාත් කෝටියකට දෙකකට විකිණෙන සංස්‌කෘතියක්‌ බිහිවෙලා.

ජනතා විමුක්‌ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පසුගිය සති අන්තයේ කෑගල්ල නගරයේ පැවැති ජනහමුවකදී මෙම අදහස්‌ පළ කළේය.
ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණය ඉලක්‌ක කරමින් මෙම ජනරැලිය පැවැත්විණි.
එහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ අනුර කුමාර දිසානායක මහතා,
"ජනපති වියරුව පරදවමු" යන තේමාව යටතේ පැවැති මෙම රැලියේදී ජනතා විමුක්‌ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා මෙසේ ද පැවසීය.

http://www.divaina.com/2014/12/22/news13.html
අද මේ ආණ්‌ඩුවට තුනෙන් දෙකක බලයක්‌ තිබෙනවා. උතුරු පළාත් සභාව හැරුණු කොට සියලුම පළාත් සභාවල බලය තිබෙනවා. බහුතරයක්‌ පළාත් පාලන ආයතනවල බලය තිබෙනවා. එහෙම නම් 2017 දී පවත්වන්නට නියම වූ ජනපතිවරණය ඇයි අවුරුදු දෙකකට කලින් පවත්වන්නේ. ඒකේ රහස අද මේ රට පාලනය කරන්නේ රාජපක්‍ෂලාගේ නැකැත්කාරයන්ට අවශ්‍ය වෙලාවට වීමයි. ඉස්‌සර මැතිවරණයකට නාමයෝජනා දීලා කොහේ හරි තමන්ගේ කොට්‌ඨාසයේ ආගමික ස්‌ථානයකට ආධාරකරුවන් ද සමඟ ගිහින් ආගමික වැඩසටහනක්‌ කරනවා වෙනුවට රටේ ජනාධිපති අටවැනිදා නාමයෝජනා දීලා නවවැනිදා තිරුපති කෝවිල වඳින්න යනවා. මේ වගේ පාලකයෝ, මේ වගේ කල්ලි දිගින් දිගටම රටක්‌ පාලනය කළහොත් මේ රටට මොනවද වෙන්නේ. ඒ නිසා ලබන අටවැනිදාට ආරම්භ කරන්න මාන බලන රාජපක්‍ෂලාගේ තුන්වැනි බල යුගය පරාජයට පත්කළ යුතුයි. රාජපක්‍ෂලා මේ නැවතත් විවෘත කරන්න හදන්නේ තවත් දිගු කාලයක්‌ බලයේ සිටින දොරටුවක්‌.

මේ රටේ ආර්ථිකය සවිමත් කියලා රජය කීවට වැඩක්‌ නෑ. එය ජනතාවට දැනෙන්න ඕනේ. ව්‍යාපාරිකයාට ගොවියාට නිෂ්පාදකයාට තමන්ගේ නිෂ්පාදන අලෙවි කරගන්න පුළුවන් කියලා දැනෙන්න ඕනේ.

ගොවියට, කම්කරුවට, රාජ්‍ය සේවකයාට ඔවුන් උපයන මාසික මුදලින් ජීවත්වෙන්න පුළුවන් කියලා දැනෙන්න ඕනේ. අද එහෙම දැනෙන්නේ නෑ. මේ වන විට අපේ රට ඉතිහාසයේ විශාලම ආර්ථික කඩාවැටීමට ගමන් කරමින් තිබෙනවා. මාසේ ආදායම මදි නම් ඒ මාසේ බැංකුවේ ණය වාරිකය ගෙවා දමන්න අපි ඒ ගෙදරට කියන්නේ බංකොලොත් කියලයි.

අද සමහරු කියනවා මොනවා වුණත් පාරවල් ටික, පාලම් ටික හැදෙනවා කියලා. රටක පාරවල්, පාලම් හැදෙන්න ඕනේ. ඒත් රටේ ජාතික නිෂ්පාදනයේ දියුණුවත් සමඟයි. රාජපක්‍ෂ පවුල අද මේ රටේ මහජනතාවගේ දේපළ කොල්ලකන ආර්ථිකයක්‌ හැදුවා.

ජාත්‍යන්තර සම්මන්ත්‍රණශාලා, ක්‍රීඩා පිටි වගේම ආසියාවේ ලොකුම කුලුන ලෙස නෙළුම් කුලුන ඉදිකරනවා. මේ රටේ මහජනතාවගේ දේපළ උකස්‌ කරලා. අද මේ රටට ස්‌වාධීන අධිකරණ පද්ධතියක්‌ නෑ. ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨතම විනිශ්චයකාරවරයාට හිමිවිය යුතු අගවිනිසුරුකම දේශපාලන පත්වීමක්‌ ලෙස බැංකුවක සභාපති පදවියක්‌ ලැබූ අයකුට දීලා. රාජපක්‍ෂ මහත්තයා මේ රටේ කැබිනෙට්‌ටුව තුළ ඇති අමාත්‍යාංශ ගණනාවක්‌ ද ඔහු වෙත පවරාගෙන. මාධ්‍ය ආයතන යටකරගෙන රාජපක්‍ෂලාට එරෙහිව කියන දේ පළකිරීම නවත්වා ගෙන. මේකට තමයි ඒකාධිපතිවාදය කියල කියන්නේ. මේක හදන්න නම් ලබන ජනවාරි 8 වැනිදට මහින්ද රාජපක්‍ෂ මහත්තයා ගෙදර යවන්න ඕනේ.

යුද්ධය නිමා වුණාට පශ්චාත් සමය ගැන බැලුවෙ නෑ. උතුරු පළාතේ පමණක්‌ යුද්ධයෙන් අනාථ වූ වැන්දඹුවන් 45,000 ක්‌ ඉන්නවා. රජය මේ රටේ ජාතික සමගිය ගොඩනගන්න උත්සාහ කළේ නෑ. දෙමළ ජනතාව කඳවුරුවල සිටියදී රජයේ ගෝලයෝ ඉඩම් ටික අල්ලාගෙන. මැලේසියාවේදී අත්අඩංගුවට ගෙන මේ රටට මෙහා අය මේ රටේ විවෘත අධිකරණයට ගේන්න ඕනේ නැද්ද? කරුණා අම්මාන් අන්තිම මොහොතේ එල්. ටී. ටී. ඊ. යෙන් කැඩුණු බව ඇත්ත. නමුත් ඔහු අධිකරණයට ගෙන එන්න අවශ්‍ය නැද්ද? ජනතාවට දැනගන්න අයිතියක්‌ තියෙනවා. එම සිද්ධි මාලාව ඔවුන් අධිකරණයට ගෙන එන්න අවශ්‍යයි. දඬුවම් නියම කළාට පස්‌සේ අවශ්‍ය නම් සමාව දෙන්න. නමුත් නඩුව අහන්න ඕනේ. ජනතාවට මේවාගේ විස්‌තර දැනගන්න ඕනේ.

දෙමළ ජාතික සන්ධානය ඔවුන්ගේ ජනතාවට කරපු කෙන්ගෙඩියක්‌ නෑ. ඔවුන් කළේ ඒ ජනතාවගේ සැකය හා විනාශය වැඩි කළා පමණයි.\ රජය කළේ ජාතික සමගිය වඩවනවා වෙනුවට විවිධ බලසේනා හදලා ජනතාව බෙදීමයි. මේ දේශපාලන ගමන නතර කරන්න පුළුවන් වන්නේ ලබන 8 වැනිදාට ඔබේ ඡන්දය මහින්ද රාජපක්‍ෂ ආණ්‌ඩුවට එරෙහිව පාවිච්චි කිරීමෙන් පමණයි.

මුදලට නොවිකිණෙන ජනහිතකාමී පාර්ලිමේන්තුවක්‌ හදමු. ඒ සඳහා කැපවෙමු. අත්වැල් බැඳගමු.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී රත්නායක මහතා (ජ.වි.පෙ.) - වත්මන් රජය අනාගත පරම්පරාවට ගෙවන්න බැරි ණය කන්දක ජනතාව හිරකරලා. ණයකරුවන් බවට පත්කරලා. මේ රටේ ඉහළම ආදායම් ලබන අය රටේ ජාතික ආදායමෙන් සියයට පනස්‌හතරක්‌ බුක්‌ති විඳිනවා. ලෝකයේ දුප්පත්ම රටවල් අතරින් ඇති නැති පරතරය වැඩිම රටක්‌ බවට පත්කළා. මේ රටේ මහජන මුදල් සොරකම් කරන කොමිස්‌ ගහන සංස්‌කෘතියක්‌ ඇති කරලා. විධායක ජනාධිපති ක්‍රමය පමණක්‌ අහෝසි කළාට මදි. ජනතාවගේ ආර්ථිකය ශක්‌තිමත් කරන ප්‍රජාතන්ත්‍රවාදී ආර්ථික සමානතාවක්‌ ද ඇතිකරගත යුතුව තියෙනවා.

සබරගමුව පළාත් සභාවේ ජවිපෙ නියෝජනය කරමින් හිටපු මන්ත්‍රී මනෝඡ් කුමාර රාජපක්‍ෂ මහතා ද මෙහිදී අදහස්‌ දැක්‌වීය.

No comments:

Post a Comment