Dec 1, 2014

27 Nov 2014
වමේ පෙරමුණේ පොදු අපේක්‍ෂක දුමින්ද නාගමුව 
රනිල් ධර්මසේන
වමේ ව්‍යාපාරයේ පොදු අපේක්‍ෂක ලෙස පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ දේශපාලන මණ්‌ඩල සභික දුමින්ද නාගමුව මහතා ඉදිරි ජනාධිපතිවරණ අපේක්‍ෂකයකු ලෙස ඉදිරිපත් කිරීමට වාමාංශික පක්‍ෂ කිහිපයක්‌ එක්‌ව තීරණය කර ඇත.

"වමේ පෙරමුණ" පක්‍ෂයෙන් දුමින්ද නාගමුව මහතා තරග කරන අතර නව පක්‍ෂ ලාංඡනයට අද හෝ හෙට මැතිවරණ කොමසාරිස්‌වරයාගේ අනුමැතිය ලබා ගැනීමට නියමිතය.

වමේ පොදු අපේක්‍ෂකයාට වාමාංශික දේශපාලන පක්‍ෂ හතකින් සහාය ලැබෙනු ඇති බවත් පෙරටුගාමී පක්‍ෂයට අමතරව නව සමසමාජ පක්‍ෂය, ශ්‍රී ලංකා සමාජවාදී පක්‍ෂයද ඊට ඇතුළත් බව පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ මහතා ඊයේ (27 වැනිදා) කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය. ජනාධිපතිවරණයට තරග කිරීමට දැන් ඉදිරිපත් වී සිටින අධිරාජ්‍යවාදී කඳවුරු දෙකටම විකල්පයක්‌ ලෙසත් රටේ වැඩකරන ජනතාවගේ සැබෑ ප්‍රශ්නවලට විසඳුම් ඇත්තේ වමේ ව්‍යාපාරය තුළ බවත් ජයගොඩ මහතා කීය.

වමේ පොදු අපේක්‍ෂකයාගේ පොදු වැඩපිළිවෙළ ළඟදීම රටට ඉදිරිපත් කරන බවත් ඉන්පසුව වැඩකරන ජනතාව පාරට ගෙන සැබෑ ජනතා හඬ අවදි කරන බවත් හෙතෙම කියා සිටියේය.


http://www.divaina.com/2014/11/28/news31.html
දූෂිත සංධාන ආණ්‌ඩුවේ එකට හොරා කාපු අය අද
විපක්‍ෂයට ගොස්‌ යහපාලනය ගැන විහිළු සපයනවා 
පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ 

වමේ පෙරමුණ ඊයේ (27 වැනිදා) කැඳවූ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී වමේ පොදු අපේක්‍ෂක දුමින්ද නාගමුව මහතා අදහස්‌ දැක්‌වූ අයුරු.ඡායාරූපය - සමන් රණවීර

රනිල් ධර්මසේන

අවුරුදු 18 ක්‌ පුරා දූෂිත සන්ධාන ආණ්‌ඩුවේ එකට හොරා කාපු අය අද කොටස බෙදා ගන්න බැරිව විපක්‍ෂයට ගොස්‌ පොදු අපේක්‍ෂකයා වී යහ පාලනයක්‌ ගැන රටටම විහිලු සපයන බව පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ මහතා පැවසීය.

ප්‍රතිපත්තිගරුක දේශපාලනය වෙනුවට කුමන්ත්‍රණ පිරි, නූල් සූත්තර පිරි පිට්‌ටනියක්‌ බවට අද ජනාධිපතිවරණය පත්වී ඇතැයිද ඊයේ (27 දා) කොළඹ දී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ජයගොඩ මහතා කීය.

මෙහිදී අදහස්‌ දැක්‌වූ ඒ මහතා මෙසේද කීය. 


අධිරාජ්‍යවාදයට අනුව ඔවුන්ගේ වුවමනා එපාකම්වලට අනුව රට පාලනය කරන රාජපක්‍ෂ ආණ්‌ඩුව අද මැතිවරණයක්‌ අභියස බොරු අධිරාජ්‍ය විරෝධයක්‌ පෙන්වනවා. ආණ්‌ඩුව වැඩකරන ජනතාවගේ ජීවිත ගැන කිසිදු තැකීමක්‌ නොකර තීන්දු තීරණ ගත්තා. කොළඹ පැල්පත් කඩා දමා ජනතාව අසරණ කළා. උතුරේ ජනතාවගේ අයිතීන් අහිමි කළා. ඇමරිකාව, චීනය, රුසියාව, යුරෝපය අතර ඇති ගෝලීය අරගලය මැදට ලංකාවත් තල්ලු කර රට අවදානමකට ඇද දැම්මා. අධිරාජ්‍යවාදී ප්‍රතිපත්ති ගෙඩි පිටින්ම ක්‍රියාත්මක කරන ආණ්‌ඩුව අද ඊට විරුද්ධව කතා කරනවා.

දාහත් අවුරුද්දක්‌ රට විනාශ කළ 82 දී හා 88 දී රට ලේ විලක්‌ කළ 2002 සිට 2004 දක්‌වා රට අධිරාජ්‍යවාදයට තල්ලු කර දැවැන්ත මර්දනයක්‌ ඇති කළ රනිල් වික්‍රමසිංහ මහතා අද ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරනවා.

1994 දී ජනාධිපති ධුරය අහෝසි කරන බවට පොරොන්දු වී විලි ලැඡ්ජා නැතිව එය කඩකළ චන්ද්‍රිකා කුමාරතුංග අද විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීම ගැන කතා කරනවා. දූෂණයේ කුප්‍රකට පුද්ගලයන් අද දූෂණයෙන් තොර රටක්‌ ගැන කතා කරනවා. අද සමස්‌ත දේශපාලනයම විගඩමක්‌ බවට පත්වෙලා. දේශපාලන කුමන්ත්‍රණ, යටිපූට්‌ටු ගේම් පවතින දේශපාලනයක්‌ අද ඇති වෙලා.

ඊයේ (27 වැනිදා) වෙනකම් ආණ්‌ඩුවෙන් යනවා යනවා කියපු අය අද යන්නේ නෑ කියන්නේ කොහොමද? සල්ලි මලු වැඩකරන බව රහසක්‌ නොවෙයි. සියලු අයගේ µයිල් තියෙනවා ඒවා එලියට දාන්නේ නෑ කියනවා. මෙයින් පේන්නේ මෙච්චර කාලයක්‌ හොඳට ජනතාවගේ දේපළ හොරා කන්න ඉඩදී හොරු ආරක්‍ෂා කළා කියන එක නොවෙයිද?

පසුගියදා මෛත්‍රීපාල සිරිසේන මාධ්‍ය හමුවේ හඬා වැටුණා. ඒ තමන්ගේ ප්‍රශ්නවලට තමන්ට නොලැබුණු දේට, රටේ ඇත්ත ප්‍රශ්නවලට නොවෙයි. රතුපස්‌වල ඝාතනවලට උතුරේ ඝාතනවලට, කටුනායක වෙළෙඳ කලාපයේ ඝාතනවලට ප්‍රජාතන්ත්‍රවාදය නැසුනු වෙලාවල්වල ඔහුට හැඬුනේ නැහැ.

මේ ජරා දේශපාලනය වෙනුවට ප්‍රතිපත්ති දේශපාලන පිටියක්‌ කරා යැමට අපි කටයුතු කරනවා. රටේ ප්‍රශ්නවලට ඇත්ත පිළිතුර තිබෙන්නේ වාමාංශික පක්‍ෂ තුළයි.

ජාතික පීඩනයට හසුවී සිටින සියලු දෙනා එක කුඩයක්‌ යටට ගත හැකි ශක්‌තියක්‌ අපි ඇති කරනවා.

නව සම සමාජ පක්‍ෂයේ ලේකම් ලීනස්‌ ජයතිලක මහතා -

මෙවර අපි වම වශයෙන් ඒකාබද්ධ වී ප්‍රයත්නයක යෙදෙන්නේ වැඩකරන ජනතාවට මේ ආණ්‌ඩුව විසින් කර ඇති විනාශයෙන් බේරා ගැනීමටයි. ඒකාධිපති ලෙස හැසිරෙන ජනාධිපතිවරයා පැරදවීමේ වගකීම වමට තිබෙනවා.

රාජපක්‍ෂ ආණ්‌ඩුවට සොඳුරු ආඥ දායකයා කියා අද සමහරු කීවට ඔවුන් කලක්‌ තිස්‌සේ කළෙත් එයමයි.

දේශය එක්‌සත් කිරීමේ කටයුත්ත නිර්ධනයන්ගේ කම්කරුවන්ගේ අතට ගත යුතුයි. මේ කඳවුරු දෙකටම එය කරන්න බැහැ. විධායක ජනාධිපති ක්‍රමය ගැන කියමින් ආණ්‌ඩුවේම එකම කඳවුර දෙකට බෙදී තරග කරන තත්ත්වයක්‌ අද තිබෙන්නේ. පවුල්වාදය ඥති සංග්‍රහය රාජපක්‍ෂ ආණ්‌ඩුව අපිට උරුම කළා. දූෂණය ඉහවහා ගියා. ප්‍රජාතන්ත්‍රවාදය ගේනවා කියා අද කියන අයත් මේ ටිකමයි කළේ.

වමේ පොදු අපේක්‍ෂක දුමින්ද නාගමුව මහතා-

අද තිප්පොළවල් දෙකකට ජනතාව එකතු කරනවා. එකම කොළටික අනලා යළි ඉදිරිපත් කරනවා. ජනතාවට තෝරන්න කියලා. පරණ කට්‌ටියම තමයි තැන මාරු කරගෙන ඉදිරිපත් වී සිටින්නේ.

විසඳුම තිබෙන්නේ වම අතේ. එය අසීරු කටයුත්තක්‌. අපි එය ජය ගැනීමේ මාවතට ගෙන යැමට ක්‍රියා කරනවා.

චීනයත් එක්‌ක කරන ගනුදෙනුවෙන් ආණ්‌ඩුව ගෙන යන්නේ. චීනය සේලයින් එක ගැලවුවහොත් රට ඉවරයි. සංවර්ධනය කියලා තවදුරටත් ආණ්‌ඩුව කරන්නේ රට වෙන්දේසි කරන එකයි.

මෛත්‍රීපාල සිරිසේන එයාගේ ඇමැති බලතල ලබා ගැනීමටත් චන්ද්‍රිකා කුමාරතුංග ශ්‍රී ල.නි.ප. යට යළි ඇතුළු වීමටත් අවශ්‍ය නිදහස ජනතාවගෙන් ඉල්ලනවා. එකට හොරකමේ ගිය කට්‌ටියට බෙදා ගන්න බැරිව ගිය විට යහ පාලනය ගැන කතා කරනවා. ජවිපෙ තුන් තේරවිල්ලක්‌ කියනවා. ඒක කාටවත් තේරෙන්නේ නැහැ. කෙලින් කියන්න බැරි වුණාට ඔවුනුත් රනිල් මෛත්‍රී පිලේ ඉන්නේ.

No comments:

Post a Comment