Dec 1, 2014

28 Nov 2014    මෛත්‍රිපාල සිරිසේන 
තුන්වැනි වර ජනපති වීමට හදන්නේ රටේ සියලු දේශපාලන පක්‍ෂ බිමට සමතලා කර මානව නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය නැති කිරීමටයි 
පොදු අපේක්‍ෂක මෛත්‍රිපාල සිරිසේන

ශිරාන් රණසිංහ

වත්මන් ජනාධිපතිවරයා තුන්වැනි වාරයටත් ජනාධිපති වීමට සිතන්නේ වෙන කිසිදේකට නොව මේ රටේ සියලු දේශපාලන පක්‍ෂ බිමට සමතලා කර මානව නිදහස, රටේ ප්‍රජාතන්ත්‍රවාදය සම්පූර්ණයෙන්ම නැතිකර දැමීමට යෑයි විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක ලෙස තරග වදින හිටපු ඇමැති මෛත්‍රීපාල සිsරිසේන මහතා පැවසීය.

ඒ මහතා මේ බව කියා සිටියේ කොළඹ නව නගර ශාලාවේ ඊයේ (27 වැනිදා) පැවති එක්‌සත් වෛද්‍ය නිලධාරීන්ගේ හමුවක්‌ අමතමිනි.

මෙම හමුව සඳහා විපක්‍ෂ නායක හා එජාප නායක රනිල් වික්‍රමසිංහ, හිටපු ධීවර හා ජලජ සම්පත් ඇමැති රාජිත සේනාරත්න, එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක හා බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රී (එජාප) හර්ෂණ රාජකරුණා යන මහත්වරුද පැමිණ සිටියහ.

එහිදී තවදුරටත් කතා කළ රනිල් වික්‍රමසිංහ මහතා -

විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක ලෙස මාව තෝරා ගැනීමට රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එජාපය ගත් තීරණය, විශාල කැපකිරීමක්‌. ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය, එක්‌සත් ජාතික පක්‍ෂය හා තවත් දේශපාලන පක්‍ෂ ගණනාවක්‌ හා සංගම් රැසක්‌ එක්‌ව නව දේශපාලන සංස්‌කෘතියක්‌ වෙත යොමු වී සිටිනවා. නිදහස ප්‍රජාතන්ත්‍රවාදය යළි මේ රටේ ඇති කිරීමටත්, වංචාව, දූෂණය නැති කර මේ රටේ දූෂිත දේශපාලන ක්‍රමය අහෝසි කිරීමට අනිවාර්යයෙන්ම මම කැපවෙනවා. මා ගැන විශ්වාසය තබන්න. 2015 ජනවාරි 08 වැනිදා මම ජනාධිපති ලෙස ජනතාව තෝරා ගන්නා බව ස්‌ථිරයි. මම සෞඛ්‍ය ඇමැතිවරයා ලෙස කටයුතු කළ අවුරුදු පහක කාලය තුළ කටුක අත්දැකීම් වින්දා. මම විතරක්‌ නොවෙයි රාජිත ඇමැතිතුමා විතරක්‌ නෙවෙයි අපිත් එක්‌ක ආණ්‌ඩුවෙන් එළියට බැහැපු අයත්, තාමත් ආණ්‌ඩුවෙ ඇතුළෙ ඉන්න අයටත් එය පොදුයි. ඔවුන්ගේ හෘද සාක්‍ෂිය ඒ බව දන්නවා.


නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය, ආර්ථික සංවර්ධනය මෙන්ම සැමට සාධාරණ සමාජයක ජීවත්වන්නට හැකි රටක්‌ අපි නිර්මාණය කරනවා.

අද මේ රටේ නිදහස්‌ සෞඛ්‍ය, නිදහස්‌ අධ්‍යාපනයක්‌ නෑ. සෞඛ්‍ය ඇමැතිවරයා ලෙස මම සිගරට්‌ පැකට්‌ටුවේ සියයට අසූවක සෞඛ්‍ය අවවාදාත්මක රූපසටහන් යොදන්න පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරුන්ගේ අනුමැතිය ගත්තා.

ඒත් ආණ්‌ඩුවේ අපිට ඉහළින් සිටින අය ඊට ඉඩ දුන්නේ නෑ. අන්තිමේදී මම ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා. දවසකට දුම්බීමෙන් පුද්ගලයන් විස්‌සක්‌, විස්‌පහක්‌ පමණ අපේ රටේ මියයනවා. මම දුම්කොළ සමාගම් එක්‌ක නඩු කිව්වා. අන්තිමේදී සියයට අසූවක්‌ සෞඛ්‍ය අවවාදාත්මක රූප සටහන් දැමීම සියයට හැට දක්‌වා පමණක්‌ යෑයි අධිකරණය තීන්දු කළා. කවුද මේ පිටුපස්‌සේ ඉන්නෙ කියලා ප්‍රශ්නයක්‌. නීති විශාරදයෝ ඒ තීන්දුව පිළිබඳ පුදුම වුණා. අද අධිකරණය ස්‌වාධීනද? පොලිසිය ස්‌වාධීනද? අමාත්‍යාංශ ලේකම්වරු, පොලිස්‌පති, රේගු අධ්‍යක්‍ෂ ජනරාල්, සුරාබදු කොමසාරිස්‌ ජනරාල්, ආදායම් බදු කොමසාරිස්‌, කොමිසම් සභාවල සභාපතිවරු, ඒවායේ සාමාජිකයන්ට සිය කටයුතු කරන්න නිදහස තිබෙනවාද? මාධ්‍ය නිදහස තියෙනවාද? මීට දින තුන හතරකට පෙරාතුව මම සිරස නාලිකාවේ "සටන" වැඩසටහනට සහභාගි වුණා. මේ අය ඒ වැඩසටහන සම්පූර්ණයෙන්ම කපා හැරියා. මේ මාධ්‍ය නිදහස, මේකද ප්‍රජාතන්ත්‍රවාදය, මේකද මහින්ද චින්තනය.

මම ඖෂධ පනතක්‌ ගෙනාවා. ඒ පනතට වෙච්ච දෙයක්‌ නෑ. එය සැකසූ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරියාට එරෙහිව කිසිදු පියවරක්‌ ගත්තේ නෑ. මේ රටේ උපන්, නූපන් දරුවන් වෙනුවෙන් මම ගත් ඒ තීරණ යටපත් කළේ කවුද?

මේ උගත්, බුද්ධිමත්, වෛද්‍යවරුන්ට මේවා අමුතුවෙන් කිවයුතු නෑ. ඒ අය දන්නවා මේවා පිටුපස ඉන්නේ කවුද කියලා. මේ රටේ ඖෂධ සැපයීම් කරන සමාගම් හාරසියයක්‌ පමණ ලියාපදිංචි වී සිටිනවා. මට කියන්න කනගාටුයි මේ ඖෂධ සමාගම්වලින් රුපියල් ලක්‍ෂ විසිපහ බැගින් ලබාගත්ත අය ඉන්නවා. මගෙ හෘද සාක්‍ෂිය හඬා වැටුණා. මම අවුරුදු විසිපහක්‌ පාර්ලිමේන්තුවේ ඉන්නවා. ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මහ ලේකම් ලෙස අවුරුදු දහතුනක්‌ මම කටයුතු කරනවා. දේශපාලන ජීවිතයට වසර හතළිස්‌ හතක්‌. අද අපිට එරෙහිව මඩ ගහන්න, විවිධ චෝදනා එල්ල කරන්න මේ අය කටයුතු කරනවා. දේශපාලනයේ දී අපිට ඒවා පුරුදුයි.

මම සෞඛ්‍ය ඇමැති වූවාට පසු අමාත්‍යාංශ ලේකම් ලෙස මහාචාර්ය කොල්වින් ගුණරත්න මහත්තයා පත් කරන්න තීරණය කළා. මේ අය ඒකටවත් ඉඩ දුන්නේ නෑ. 2007.01.25 වැනිදා කෘෂිකර්ම ඇමැතිවරයා ලෙස මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය ආරම්භ කළා. රුපියල් කෝටි 9000 ක ඇස්‌තමේන්තුවක්‌ හදලා තිබුණේ. මම ඒ අමාත්‍යාංශයෙන් ඉවත් කරලා වෙනින් අමාත්‍යාංශයකට යනතුරුම එම ව්‍යාපෘතියට අවශ්‍ය ණය මුදල ගැනීම පමා කළා.

මේව මගේ පුද්ගලික ප්‍රශ්න නොවෙයි. මම දැක්‌ක ආණ්‌ඩුවේ ඇමැතිවරියක්‌ කියනවා සෞඛ්‍ය ඇමැතිවරුන්ගෙන් සවුත්තුම සෞඛ්‍ය ඇමැති මමයි කියලා. මම අහන්න කැමතියි කවුද අපිට වැඩ කරන්න දුන්නෙ නැත්තෙ කියලා. මේ ආණ්‌ඩුවේ අනෙක්‌ ඇමැතිවරුන්ගේ හෘද සාක්‍ෂිය ඒ බව දන්නවා. ඒ අයගෙ ප්‍රශ්නෙත් අපේ ප්‍රශ්නෙත් එකක්‌.

2015 ජනවාරි 08 වැනිදා මම නියත වශයෙන්ම මේ රටේ ජනාධිපති වෙනවා කියලා මට විශ්වාසයි. මට මගෙ ජනතාව විශ්වාසයි. මම ජනාධිපති වූ විට කළයුතු වැඩ කිහිපයක්‌ තියෙනවා. එකක්‌ තමයි සිගරැට්‌ පැකැට්‌ටුවේ අවවාදාත්මක සෞඛ්‍ය රූපසටහන් සියයට අසූවකින් නොව සියයට අනූවකින් අඩංගු කරන ගැසට්‌ නිවේදනය නිකුත් කරනවා. රටේ ප්‍රජාතන්ත්‍රවාදය, මානව නිදහස, රාජ්‍ය හා පුද්ගලික අංශවල සේවකයන්ගේ, නිලධාරීන්ගේ රාජකාරිමය අයිතිවාසිකම් ලබාදී නව දේශපාලන සංස්‌කෘතියක්‌ ඇති කරනවා.

මෙහිදී කතා කළ එජාප නායක විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා.

අපේ රටට නිදහස ලැබුණේ සර්වජන ඡන්ද බලය ලැබුණාට පසුවයි. ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස, නිදහස්‌ අධ්‍යාපනය, නිදහස්‌ සෞඛ්‍ය අපට ලැබුණා. රාජපක්‍ෂ රෙජිමය අපේ මූලික අයිතීන්, අධිකරණයේ ස්‌වාධීන බව, මාධ්‍ය නිදහස, නැති කළා. දේශපාලන පක්‍ෂ කඩලා රාජපක්‍ෂ රෙජිමය තමන්ගෙ බලය තහවුරු කරගත්තා.

අධ්‍යාපනය, සෞඛ්‍ය සේවා කප්පාදු කළා. අධ්‍යාපනය විනාශ කළා. විශ්වවිද්‍යාලවල ගොඩනැඟිලි හැදුවට නිදහස්‌ අධ්‍යාපනය, අධ්‍යාපනයට මුදල් වෙන් කළේ නෑ. සෞඛ්‍ය ක්‌ෂේත්‍රයටත් එහෙමයි. අපි යළිත් මේ රටේ බිඳවැටුන ඒ ක්‌ෂේත්‍ර නගා සිටුවනවා.

ප්‍රජාතන්ත්‍රවාදය ආරක්‍ෂා කරලා නිදහස්‌ සෞඛ්‍ය, නිදහස්‌ අධ්‍යාපනය යළි ශක්‌තිමත් කරලා, අපේ පොදු අපේක්‍ෂකයා වන මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති කරලා සර්ව පාක්‍ෂික ආණ්‌ඩුවක්‌ යටතේ රටේ දූෂණය වංචාව නැති කරලා රට ගොඩනගන්න අපි ලෑස්‌තියි.

විදේශ ණය බර විශාලයි. නව ආයෝජකයෝ රටට ගෙනායුතුයි. බහු පක්‍ෂ ක්‍රමයක්‌ රටට අවශ්‍යයි. ජනාධිපතිවරණයට පසුව අපි මහ මැතිවරණයක්‌ පවත්වනවා. එහිදී අපි රට ගොඩනගන රාමුවක්‌ යටතේ සියලුම දෙනා සමග එකට එකතු වෙලා අලුත් දේශපාලන සංස්‌කෘතියක්‌ යටතේ රට ඉදිරියට ගෙන යනවා. රටේ සීග්‍ර දියුණුවක්‌ ඇති කරනවා. අවුරුදු දෙකක්‌ තුළ සර්ව පාක්‍ෂික ආණ්‌ඩුවක්‌ යටතේ මේ රටේ විනාශ වී තිබෙන අධිකරණය, සෞඛ්‍ය, අධ්‍යාපනය, කර්මාන්ත හා ජනතාවගේ අයිතිවාසිකම් දිනාදී ප්‍රජාතන්ත්‍රවාදය යළි ස්‌ථාපිත කරනවා. ඒ වෙනුවෙන් අපේ පොදු අපේක්‍ෂක වන මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති කරන්න එක්‌සත් ජාතික පක්‍ෂය, ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ඇතුළු පක්‍ෂ ගණනාවක්‌ අවබෝධතා ගිවිසුමක්‌ අත්සන් කරනවා.

මෙහිදී කතා කළ හිටපු ධීවර හා ජලජ සම්පත් ඇමැති රාජිත සේනාරත්න මහතා,

1978 ගෙනා ව්‍යවස්‌ථාව හරහා විධායක ජනාධිපති ක්‍රමය ඇති කළා. මේ වගේ බලයක්‌ සහිත ජනාධිපතිවරයෙක්‌ ලෝකයේ කොහෙවත් නෑ. අධිකරණයට වග නොකියන, පාර්ලිමේන්තුවට වග නොකියන මේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න අද දේශපාලන සටනක්‌ ඇති වෙලා.

විධායක අගමැතිවරයෙක්‌ නෑ. පාර්ලිමේන්තුවට බලය ලැබෙන ක්‍රමයක්‌ සැකසීම අපේ අරමුණ. ඇමැති මණ්‌ඩලයේ ප්‍රධාන ඇමැති තමයි අගමැති. කෙනෙකුට තනියෙන් තීරණ ගත නොහැකි ලෙස සියලු දේශපාලන පක්‍ෂ සමග සාකච්ඡා කරලා නව ප්‍රඥප්තියක්‌ සකසන්න අපි සූදානම්. සෑම පක්‍ෂයක්‌ සමගම සාකච්ඡා කරලා විධායක ජනාධිපති ක්‍රමය වෙනුවට පාර්ලිමේන්තුවට බලය ලැබෙන නව දේශපාලන ක්‍රමයක්‌ හරහා අලුත් දේශපාලන සංස්‌කෘතියක්‌ ඇති කරලා හොර මැර වංචා කරන දේශපාලන ක්‍රමය අහෝසි කරන්න අපි සූදානම්.

අද ගුරුවරයකුට, ගමේ වෙද මහත්තයට පාර්ලිමේන්තුවේ දොර වහලා. දේශපාලන දැනුම තියෙන, නායකත්වය හිමි වුණත් තරුණයා පාර්ලිමේන්තුවට එන්න බැරිවෙන විදිහට මේ ජරා දේශපාලන ක්‍රමය වෙනුවට නව දේශපාලන සංස්‌කෘතියක්‌ ඇති කරනවා. මුලින්ම මේ විධායක ජනාධිපති පුටුව ඉවර කළ යුතුයි. වරක්‌ හිටපු ජනාධිපති ඩී. බී. විඡේතුංග මහත්තය මට කිව්වා මේ පුටුව තමයි රට විනාශ කළේ කියලා.

ජනාධිපතිවරයාට තුන් පාරක්‌ පුළුවන්ද කියලා මතය විමසූ එක පත්තරෙන් දැකපු නිමල් සිරිපාල ද සිල්වා මගෙන් ඇහුවා පත්තරේ ඒක දකිනකම් දන්නෙවත් නෑ කියලා. පාර්ලිමේන්තුව රබර් ස්‌ටෑම්ප් එකක්‌ විතරයි. තීන්දු තීරණ ගන්නේ රජගෙදර. අපේ මරණයට පෙර මේ දේශපාලන සංස්‌කෘතිය ඉවර කළ යුතුයි. අද අධිකරණයේ ස්‌වාධීනත්වයක්‌ තියෙනවාද? පාර්ලිමේන්තුව ගාලු මුවදොරට අරගෙන ගිහින් තිබ්බත් රටේ මිලියන විසි එකක ජනතාවට වාඩිවෙන්න බෑ. ඒකට තමයි ජනතා නියෝජිතයෝ 225 ක්‌ පාර්ලිමේන්තුවට යවන්නෙ. වහල් බැමි වලින් ජනතාව නිදහස්‌ කළ යුතුයි. ලිවීමේ නිදහස, අදහස්‌ ප්‍රකාශ කිරීමේ නිදහස, ජීවත්වීමට තිබෙන නිදහස, කැමති ආගමක්‌ ඇදහීමට තියෙන නිදහස පිළිබඳව අපි කතා කළත්, ගමේ දුප්පත් මිනිසා ඉල්ලන නිදහස වෙනස්‌. ඒ අය ඉල්ලන්නේ තුන්වේල කෑමට තියෙන නිදහස. දරුවන්ට උගන්ව ගන්න තියෙන නිදහස ගැන. අද මේ රටේ ජනතාවට නිදහස තියෙනවාද? තමන්ගේ මූලික අයිතීන් තියෙනවද? අපි පුද්ගලික ප්‍රශ්න නෙමෙයි මේ කතා කරන්නේ. ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මහ ලේකම් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාත් එක්‌ක අපි හත් දෙනෙක්‌ එළියට ආවේ ඒ සැබෑ වූ නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය යළි ඇති කරලා, මේ ඒකාධිපති විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරලා, නව දේශපාලන සංස්‌කෘතියක්‌ රටේ ඇති කිරීමටයි. 

No comments:

Post a Comment