Dec 1, 2014

28 Nov 2014 FUTA
අරලියගහ මන්දිරයට කැඳවීම ගැන ෆුටා අප්‍රසාදය!
November 28, 2014  09:38 am
Bookmark and Share
2014 දෙසැම්බර් 01 වැනිදා සවස අරලියගහ මන්දිරයේ දී පැවැත්වීමට යෝජිත ‘ප‍්‍රගති සමාලෝචන රැස්වීම’ වූ කලී විශ්වවිද්‍යාල පරිපාලනය දේශපාලනීකරණය කිරීම සඳහා දරන නිර්ලජ්ජිත උත්සාහයක් යැයි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය අවධාරණය කරයි. 
එහි සභාපති චන්ද්‍රගුප්ත තේනුවර හා ලේකම් මහාචාර්ය රොහාන් ගුණරත්න යන මහත්වරුන්ගේ අත්සනින් යුතුව නිකුත් කළ මාධ්‍ය නිවේදනයකින් මේ බව අවධාරණය කෙරේ. 
එකී නිවේදනය වැඩිදුරටත් පහත පරිදිය. 

අරලියගහ මන්දිරයේ දී පැවැත්වීම යෝජිත ‘ප‍්‍රගති සමාලෝචන රැස්වීම’ පිළිබඳ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ මාධ්‍ය නිවේදනය. 
අරලියගහ මන්දිරයේදී 2014 දෙසැම්බර් මස පළමු වෙනි දින පස්වරු 3.00 ට පැවැත්වේ යැයි කියන ‘ප‍්‍රගති සමාලෝචන’ රැස්වීමක් සඳහා සියලූම රාජ්‍ය විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් වෙත උසස් අධ්‍යාපන අමාත්‍යාංශය සහ විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව විසින් ආරාධනා පත‍්‍ර යවනු ලැබ ඇත. කෙසේ වෙතත් මෙම ‘ප‍්‍රගති සමාලෝචන රැස්වීම’ වැඩිදුර පිළිබඳ විස්තර සපයා නැත. 
පළමුවෙන්ම අපගේ අදහස වන්නේ මේ රැස්වීම පැවැත්වෙන වකවානුව අතිශයින් ප‍්‍රශ්නකාරී බවයි. මීට පෙර දී ද, 2010 ජනාධිපතිවරණයට පෙර මෙවැනිම රැස්වීමක් පැවැත්විණි. අපගේ අදහස වන්නේ මෙවැනි ක‍්‍රියා විශ්වවිද්‍යාල පරිපාලනය දේශපාලනීකරණය කිරීම සඳහා දැරෙන නිර්ලජ්ජිත උත්සාහයන් බවයි. 
ජනාධිපතිවරයාට ප‍්‍රගති සමාලෝචන රැස්වීමක් පැවැත්වීමට අවශ්‍යනම් මෙය කිසිසේත්ම එය කිරීමට උචිත ක‍්‍රමය නොවේ. ඇත්ත වශයෙන්ම පවත්නා උසස් අධ්‍යාපන ක‍්‍රමය පරීක්ෂාකර බැලීමට සහ උසස් අධ්‍යාපන ප‍්‍රතිපත්තියක් යෝජනා කිරීමට ජනාධිපති කොමිෂන් සභාවක් ස්ථාපිත කිරීම සඳහා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය 2012 සිටම උද්ඝෝෂණය කරයි. 

එම යෝජනා නොතකා හැර, ඒ වෙනුවට ජනාධිපතිවරණය නිවේදනය කළ වහාම ලහි ලහියේ මෙවැනි රැස්වීමක් සඳහා කටයුතු කිරීම අප තුළ කුතුහළයක් ඇති කර තිබේ. මෙවැනි රැස්වීම් හුදෙක් ජනාධිපතිවරයාගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයේ කොටසක් බවට විශ්වවිද්‍යාල ආචාර්යවරු අතර ඇති සැකය මේ අනුව සාධාරණ එකක් බව පෙනේ. 

ජනාධිපතිවරයාට සිය මැතිවරණ ව්‍යාපාරයේ නියැලීමට ඇති අයිතිය පිළිබඳ සැකයක් නැත. ආචාර්යවරුන්ටද සිය දේශපාලන මත පළ කිරීමට මෙන්ම ඒ වෙනුවෙන් ක‍්‍රියාත්මක වීමට ද, ඔවුන් තෝරාගනු ලබන අපේක්ෂ්කයෙක් වෙනුවෙන් කටයුතු කිරීමට ද අයිතියක් ඇත. එසේ වුවද, මහජන අරමුදල් සහ තනතුරු භාවිත කිරීම සම්බන්ධයෙන් ගත් කළ සියළු දේශපාලන පක්ෂ සහ අපේක්ෂකයින් නියමිත පරිදි මැතිවරණ නීති අනුව කටයුතු කරන බවට වගබලා ගැනීම මැතිවරණ කොමසාරිස්වරයා විසින් සිදු කරනු ලැබිය යුතුය. 

විශ්වවිද්‍යාලවල ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට සහ දේශපාලනීකරණයට විරුද්ධව සටන් කරනු ලැබ ඇති විශ්වවිද්‍යාල ආචාර්යවරු මේ ඊනියා ‘‘ප‍්‍රගති සමාලෝචන රැස්වීම’’ සඳහා ලැබී ඇති ආරාධනය සම්බන්ධයෙන් නිවැරදි තීරණයක් ගනු ඇතැයි අපට විශ්වාසය. 

ඇතැම් උපකුලපතිවරු මේ රැස්වීමට සහභාගී වීම සඳහා ආචාර්යවරුන්ට බලපෑම් කරමින් සිටින බව අපට ආරංචි වී ඇති අතර අප එවැනි උත්සාහයන් තරයේ හෙළා දකිමු. විශ්වවිද්‍යාල ආචාර්ය ප‍්‍රජාව සැමවිටම ශාස්ත‍්‍රීය නිදහස හා විශ්වවිද්‍යාල ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට කැපවිය යුතුබවත් වෘත්තියේ සහ උසස් අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ ගරුත්වය පරදුවට තබා කටයුතු නොකළ යුතු බවත් අවධාරණය කර සිටිමු. 

චන්ද්‍රගුප්ත තේනුවර 
සභාපති 
මහාචාර්ය රොහාන් ප‍්‍රනාන්දු
ලේකම්

No comments:

Post a Comment