Dec 1, 2014

29 Nov 2014   රනිල්

දැන් රාජපක්‍ෂ යුගය ඉවරයි - රනිල්

ranil 30

දැන් රාජපක්‍ෂ යුගය ඉවරයි. රාජපක්‍ෂ යුගයේ අවසානය දැන් එළැඹිළා. දැන් අලූත් දේශපාලන සංස්කෘතියක් ආරම්භ කරනා යුගයයි. දැන් අපි ඉන්නේ සේරම බලවේග එකතු කරගෙන ජනාධිපතිවරණයට මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කරලා ඔහුව ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරවන්න. මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා වාර දෙකක් තනතුරු දරපු නිසා එයාට කියමු අනික් අය වගේ ගෙදර යන්න' යනුවෙන් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
 ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ පසුගිය 28 දින පැවැති මාතලේ දිස්ත්‍රික් බල මණ්ඩල රැස්වීමේදී ය.
ඒ මහතා කළ ප්‍රකාශය තවදුරටත්.....


ඊළඟ අවුරුද්දේ එක්සත් ජාතික පක්‍ෂය විරුද්ධ පක්‍ෂයේ ඉදන් ආණ්ඩුවට යන්නේ අලූත් දේශපාලන සංස්කෘතියක් ඇති කරන්නයි. මේ ගමන අපි ආරම්භ කළේ පසුගිය සිකුරාදා. එදා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නිත්‍යානුකඣල ලේකම් මෛත්‍රීපාල සිරිසේන මහතා කිව්වා පොදු අපේක්‍ෂකයකු විදියට ඉදිරිපත් වෙනවා කියලා. එදා හැන්දාවේ එක්සත් ජාතික පක්‍ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වුණාම මම යෝජනා කළා අපිත් එතුමාට සහයෝගය දෙමු කියලා. පොදු අපේක්‍ෂකයා හැටියට සේරම එකතු කිරීමට කියලා.
දැන් ආණ්ඩුව කොච්චර බය වෙලා ද කිව්වොත් කිසිදවසක පාර්ලිමේන්තුවේ තමන්ගේ මන්ත්‍රීකම අතනොහරින අෂ්වර් මන්ත්‍රීවරයාත් අද අයින් වෙලා තියෙනවා මහින්ද රාජපක්‍ෂ බේරා ගැනීමට. හැබැයි ඔය බිල්ල දුන්නා කියලා මෙදා සැරේ නම් බේරෙන්න බැහැ. දැන් රාජපක්‍ෂ යුගය ඉවරයි. රාජපක්‍ෂ යුගයේ අවසානය දැන් එළැඹිළා. දැන් අලූත් දේශපාලන සංස්කෘතියක් ආරම්භ කරනා යුගයයි. දැන් අපි ඉන්නේ සේරම බලවේග එකතු කරගෙන ජනාධිපතිවරණයට මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කරලා ඔහුව ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරවන්න. මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා වාර දෙකක් තනතුරු දරපු නිසා එයාට කියමු අනික් අය වගේ ගෙදර යන්න කියලා.
ජනාධිපතිවරණයෙන් දවස් 100 ක් යන්න කලින් අපි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා. ස්වාධීන මැතිවරණ කොමිසම, ස්වාධින පොලිස් කොමිසම, ස්වාධීන රජයේ සේවා කොමිසම, ස්වාධීන අධිකරණ කොමිසම පත් කරනවා. මේ දවස් 100 න් පස්සේ අපි බලාපොරොත්තු වෙන්නේ පාර්ලිමේන්තු මැතිවරණයක් තියන්නයි. සිංහල අවුරුද්දෙන් පස්සේ අලූත් පාර්ලිමේන්තුව තේරුනාම මගේ බලාපොරොත්තුව එක්සත් ජාතික පක්‍ෂය ජයග්‍රහණය කරලා බහුතර ආසන සංඛ්‍යාවක් දිනා ගන්නයි. ඒත් අපි ජයග්‍රහණය කළා කියලා තනියම රට හදන්න යන්නේ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයත්, පොදු වැඩපිළිවෙලකට එකඟ අනෙක් ඇමැතිවරුත්, ඔක්කෝම එකතු කරගෙන, අඩු ගාණේ අවුරුදු දෙකක් එකට එකතු වෙලා රටේ ප්‍රශ්නවලට සීඝ්‍ර විසඳුම් දෙන්න පුළුවන් සාමූහික ආණ්ඩුවක් හදන්නයි අපි අදහස් කරන්නේ. අන්න ඒකයි අපි මේ රටට හඳුන්වා දෙන්න සැරසෙන නව දේශපාලන සංස්කෘතිය.

අපේ මුල්ම කාර්යය මේ රාජපක්‍ෂ පාලනය අවසන් කොට, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරලා දැමීමයි. ඉන් පසුව අපි ඔක්කොම එකතු වෙලා රටේ මුලික ප්‍රශ්නවලට විසඳුම් සෙවීමයි. අඩු තරමින් අවුරුදු දෙකක් සාමූහිකව රට දියුණු කිරීමයි. හැමදාටම මේ ක්‍රමයටම යා යුතුයි කියලා මම කියන්නේ නෑ. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ බහු පාර්ශ්වික ක්‍රමයක්. ඒ ක්‍රමයට අනුව, එක් පක්‍ෂයක් පාලන බලය ලබා ගන්නවා. තවත් අය විරුද්ධ පක්‍ෂයට යනවා.
ඒත් අද මහින්ද රාජපක්‍ෂ ඇති කරලා තිබෙන්නේ විශාල ප්‍රශ්නයක්. අද ජීවන බර වැඩි වෙලා. රැකියා නැහැ. ජන ජීවිතය කඩා වැටිලා. 2001 යුද්ධ කාලයේ ආර්ථිකය කඩා වැටී තිබුණු ආර්ථිකය මම අවුරුද්දකින් යළි ගොඩ නැංවුවා. අද ආර්ථිකය එදාටත් වඩා නරකයි. ණය බර අහස උසට ගිහින්. මේ ණය ගෙවන්න පරම්පරා තුනක් තිස්සේ දුක් විදින්න වෙන තත්වයක් අද උදා වෙලා.
අපි මෙතෙක් කල් මහවැලිය කළේ තනියම අවුරුදු 8 කින්. අපි තනියම ඇඟළුම් කර්මාන්ත 200 දැම්මා අවුරුදු 2 කින්. අපි එකතු වෙලා කළා නම් ඊට වැඩිය ලේසියෙන් කරන්න තිබුණා. අද රට පත් වෙලා තියෙන තත්ත්වය අනුව, රට ගොනැඟීමට සාමූහික ව්‍යායාමයක් අත්‍යවශ්‍යයි. මොකද මට ඕන රැකියා ලක්‍ෂ 10 ක් බිහි කරලා ආදායම් වැඩි කරන්න. කර්මාන්ත ශාලා දාන්න. විවිධ ව්‍යාපාර පටන් ගන්න. මේ සඳහා අපිට දේශීය හා විදේශීය ආයෝජන අවශ්‍යයි. චීනය කළා වගේ විදේශ අයෝජන ඇතිව අවුරුද්දට විශාල කර්මාන්ත ශාලා 200 ක් 300 ක් හදන්න අවශ්‍යයි. ඒ සඳහා ස්ථාවර ජාතික ප්‍රතිපත්තිවලින් යුතු ආණ්ඩුවක් අවශ්‍යයි. ආයෝජකයින් ගේ විශ්වාසය දිනාගන්න පුළුවන් වෙන්නේ එතකොටයි. කවුරු බලයේ හිටියත් ජාතික ප්‍රතිපත්ති වෙනස් කරන්නේ නැහැ. ස්ථිර භාවයක් තිබෙනවා. අවුරුදු දෙකක් තුනක් අපි එකට වැඩ කරනවා නම් විශේෂ ආයෝජකයින් විශ්වාසයකින් යුතුව මේ රටේ ආයෝජනය කරයි.
මගේ අපේක්‍ෂාව අඩුම ගණනේ කර්මාන්ත කලාප 50 ක් වත් පිහිටුවන්නයි. ආසන දෙකට තුනකට එක කර්මාන්ත කලාපයක්. බියගම, කොග්ගල, සීතාවක, පල්ලේකැළේ වගේ විශාල ඒවා ඇති කරන්නයි. අඩු පඩි දෙන ඒවා නෙවෙයි. ඉහළ වැටුප් ලැබෙන හොඳ කර්මාන්ත. අපි ඉන්දියාවට වඩා හොඳ පඩි දෙන්න අවශ්‍යයි. අපේ පඩි සිංගප්පූරුවට, මැලේසියාවට වඩා අඩු වෙන්න පුළුවන්. නමුත් කලාපයේ අනෙක් රටවල් වලට වඩා වැඩි පඩි ලබා දෙන කර්මාන්ත අපි බිහි කළ යුතුයි. ඒ සඳහා අපේ තරුණ තරුණියන්ට අලූත් තාක්‍ෂණය සමග, අලූත් දැනුම ලබා ගැනීමේ අවකාශ සැලසිය යුතුයි. පරිගණක කර්මාන්ත වගේම අනෙක් ව්‍යාපාර ආරම්භ කළ යුතුයි. හැම දාම පාරවල් හද හදා ආර්ථිකය ගෙනියන්න බැහැ. ස්ථිර රැකියා එමගින් ලැබෙන්නේ නැහැ. ණය අරගෙන ජීවත් වෙන්නත් බැහැ. විදේශ ආයෝජනය රටට ලැබුණාම අපිට පුළුවන් අපේ මුදල් අරගෙන කෘෂිකර්මය හා ධීවර කර්මාන්තය නවීකරණය කරන්න. මේ ක්ෂේත්‍රයන්ට අලූත් තාක්‍ෂණය ගෙන එන්න. කොරියාවේ, තායිලන්තයේ කළා වගේ. හැම කුඩා ගොවියෙක්ම කෘෂි ව්‍යාපාරිකයකු බවට පත් කරන්න. වැඩිහිටි අයගේ ආදායම දෙගුණයක්, තුන් ගුණයක්, හතර ගුණයක් වැඩි කරන්න.
අපි මේ අවුරුදු දෙක තුනක් තුළ මේ සාමූහික ආණ්ඩු ක්‍රමය හරියට කළොත් මේ හැම එකක්ම කිසිම අපහසුවකින් තොරව කරන්න පුළුවන් වෙනවා. අවුරුදු 5කින් රැකියා ලක්‍ෂ 10 ක් බිහි කිරීම මගේ බලාපොරොත්තුවයි. අපි ඔක්කොම එකතු වෙන්න ඕන. එකතුවෙලා යන්න ඕන. අපි ඔක්කොම එකතු වෙලා තමයි ජාතික ප්‍රතිපත්ති රාමුව හදන්නේ. ඊට පස්සෙයි ඡන්දයට යන්නේ.
මේ රටේ මැතිවරණ සංස්කෘතිය දැන් විනාශ කරලා තියෙන්නේ. එකිනෙකා මරාගන්නා සංස්කෘතියක්. අපි මේ තත්ත්වය වෙනස් කරන්න අවශ්‍යයි. ගමේ යූඑන්පි කාරයා කියන්නේ ශ්‍රී ලංකා කාරයා කියන්නේ අපි දන්න කියන අය. සමහරවිට අපේ නෑදැයෝ. සමහරු එකට ඉගෙන ගත්ත අය. අසල්වාසීන්. ඕන්ද කාලේදී දේශපාලනය කළාට ඊට පස්සේ ගම එකතු වෙලා වැඩ කරන්න ඕන. සාමූහිකව, සහෝදරත්වයෙන් ජීවත් වෙන්න ඕනෑ. අපි යෝජනා කරන මේ නව දේශපාලන ක්‍රමය අනුව ඒ යහපත් සංසකෘතිය යළිත් මේ රටේ ඇති කරන්න පුළුවන්.
මහින්ද රාජපක්‍ෂට අවුරුදු 10 ක් පාලනය කරලාත්, මේ තත්ත්වය ඇති කරන්න බැරි වුණා. අපි මේ ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති කරලා, සියළු කණ්ඩායම් එකට එකතු කරගෙන, ආණ්ඩුවක් ඇති කරනවා. මහින්ද රාජපක්‍ෂට ඇති කරන්න බැරි වුණ දේශපාලන සංස්කෘතියක් මම ඇති කරලා පෙන්වනවා. මට බලය බදා ගන්න උවමනාවක් නෑ. මට මගේ දේශපලන උරුමය පවරන්න පරම්පරාවක් නැහැ. මම හිතන්නේ රටේ උරුමය ගැන පමණයි. රටේ අනාගතය ගැන පමණයි.
රාජපක්‍ෂ රෙජීමයට යුද්ධයෙන් පස්සේ ජාතික ප්‍රශ්නය විසඳන්න බැරි වුණා, ගමේ ප්‍රශ්න විසඳන්න බැරි වුණා. අන්තිමට තමන්ගේ ප්‍රශ්න විස¼දාගන්නත් බැරිවුණා. තමන්ගේ මහලේකම්තුමා තමන්ට විරුද්ධව ආවා. තමන්ගේ පක්‍ෂය රකින්න බැරි කෙනාට රටක් රකින්න බෑ. ඒත් අපි රට රකිනවා. රට රකින්න සියළු ජාතික බලවේග දැන් අපිත් එක්ක එකතු වෙමින් තියෙනවා. අපි සේරම එකතු වෙලා මේ රටේ ප්‍රශ්න විසඳලා දෙනවා කියලා මම කියන්න කැමැතියි. කිසිම බයක් තියා ගන්න එපා.
අපි ඔක්කොම එකතු වෙලා යුරෝපා වෙළෙඳපොළ, ඕස්ට්‍රේලියා වෙළෙඳපොළ, ජපාන වෙළෙඳ පොළ ආක්‍රමණය කරමු. ඇයි චීන බඩු ලංකාවේ විකුණන්නේ ලංකාවේ බඩු චීනයට ගෙනිහින් විකුණන්න. ඉන්දියානු වෙළඳපොල ආක්‍රමණය කරමු. ඔබ සියලූ දෙනාටම ආදායම් වැඩි කරලා හොඳ රැකියා ලබලාදීලා හොඳ අනාගතයක් ලබා දීම එක්සත් ජාතික පක්‍ෂයේ අරමුණයි. එහිදී ඕනෑම පුද්ගලයකුට එක සමාන අවස්ථා ලබා දිය යුතුයි. දියුණු වීමේ අවස්ථා සැලසිය යුතුයි.
එක්සත් ජාතික පක්‍ෂය ඉහළ සිට පහළටම මේ අවස්ථාව සලසා දුන් ආණ්ඩුවක්. පොදු ජනතාව අතරින් නැගී ආ ප්‍රේමදාස මැතිතුමාට ජනාධිපති ධූරයට පත් වෙන්න අවස්ථාව සලසා දුන්නේ එක්සත් ජාතික පක්‍ෂයයි. අපිට ආඩම්බර වෙන්න පුළුවන් ඒ ගැන. දැන් අපි කිසිම පැකිලීමක් නැතිව පොළොන්නරුවේ ගොවි පුත්‍රයෙකුට මේ රටේ ජනාධිපති පදවිය බාර කරලා තියෙයනවා. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ අවස්ථාව සලසා දී තියෙනවා. ඒ ගැනත් එක්සත් ජාතික පක්‍ෂයේ අපි ආඩම්බර වෙනවා.
එහෙනම් මින් පස්සේ ගම්වලට ගිහින් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට විරුද්ධයි කියලා කියන්න එපා. ශ්‍රී ලංකා නිදහහස් පක්‍ෂයේ අයටත් මා කියන්නේ යූඑන්පි විරුද්ධයි කියලා කියන්න එපා. අපි සියලූ දෙනාම එකතු වෙලා රාජපක්‍ෂ රෙජිමයට විරුද්ධයි කියලා කියමු කියලා මම මෙතැන ප්‍රකාශ කරනවා. ඒ පණිවුඩය දෙන්න. දැන් ගියාම ගමේ ඉන්න ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අයවත් මේ සටනට එක් කර ගන්න. තරුණයන්ට කතා කරන්න. ඒ පණිවුඩය දෙන්න. අපි මේ ඔක්කොම කරන්නේ මේ රටේ තරුණ තරුණියන්ට අවුරුදු 6 කින් රැකියා ලක්‍ෂ 10 ක් ලබා දෙන්නයි.
මේ පණිවුඩය දෙන්නයි අපි එකතු වෙලා තියෙන්නේ. අපි අපේ පක්‍ෂයේ සංවිධාන කමිටු හදමු. අනෙක් පක්‍ෂත් මේ සටනට එක් කර ගනිමු. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය, ජනතා විමුක්ති පෙරමුණ, හෙළ උරුමය වගේ හැම පක්‍ෂයක්ම මේ සටනට එක් කර ගනිමු. මුලින්ම ජනාධිපතිවරණය ජය ගනිමු. ඊළඟට මේ රටේ ප්‍රශ්න විසඳන්න පුළුවන් සාමූහික දේශපාලන සංස්කෘතියක් ඇති කරමු.

No comments:

Post a Comment