Nov 16, 2014


2014 නොවැම්බර් මස 11
ජනපතිට තුන්පාරක් පුළුවන්
ඉහළ උසාවිය ජනපතිට දන්වයි
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බලතල ප්‍රකාරව වත්මන් ජනාධිපතිවරයාට තවත් වාරයක් ජනාධිපතිවරණයට තරග කිරීමට නීතිමය බාධාවක් නැතැ බවට ශ්‍රේෂ්ඨාධිකරණය ඒකමතිකව තීරණය කර ඇතැයි සභානායක ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේ දී අද පැවසීය.
ශ්‍රේෂ්ඨාධිකරණයේ දස පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් ජනාධිපතිවරයා වෙත යවන ලද තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සභානායකවරයා එම ප්‍රකාශය කළේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 31 (3) ඒ (1) (1) ව්‍යවස්ථාව ප්‍රකාරව පැවරී ඇති බලතල ක්‍රියාත්මක කරමින් තවත් වාරයක් තෝරා පත් වීමට, තරග කිරීමට කිසිදු නීතිමය බාධාවක් නැති බව තීන්දුවේ සඳහන් වන්යේ යැයි ද සභානායක කීවේය.
එසේම මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට මැතිවරණයක් ප්‍රකාශයට පත් කිරීමට ද, මැතිවරණයක් කැඳවීමට ද අයිතියක් ඇති බව ද එම තීන්දුවේ සඳහන් බව ඇමැතිවරයා පැවසීය.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට තුන් වරක් තරග කළ නොහැකි බවට කවරකුට හෝ සැකයක් සංකාවක් තිබුණා නම් ඒ සියල්ල දුරු කර නිර්භයව ඕනෑම වේලාවක මැතිවරණයකට ඉදිරිපත් වීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට හැකි බව ද සභානායකවරයා කීවේය.
ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව දී ඇති බලතල අනුව මෙය කළ හැකි යැයි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කැරුණු තීන්දුවේ පැහැදිලිව සඳහන් බව ද හෙතෙම කීවේය.
මේ අනුව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට තුන් වැනි වාරයටත් ජනාධිපතිවරණයට තරග කළ හැකි බවට යහපත් තීන්දුවක් දී ඇතැයි සභා නායකවරයා පැවසීය

No comments:

Post a Comment