Jan 2, 2015

රනිල් වික්‍රමසිංහ - ජාතික ගීයේ යෙදුම් මැතිවරණ දැන්වීම්වලට යොදා ගැනීම මවුබිමට අගෞරවයක්‌

02 Jan  2015
ජාතික ගීයේ යෙදුම් මැතිවරණ දැන්වීම්වලට  යොදා ගැනීම මවුබිමට අගෞරවයක්‌
- විපක්‌ෂ නායක රනිල් වික්‍රමසිංහ
ජාතික ගීතයේ ශ්‍රී ලංකා මාතාවට ගරු කිරීම සඳහා යොදා ගන්නා "අපගේ ශක්‌තිය ඔබයි. අපගේ ආලෝකය ඔබයි. අපගේ අනුප්‍රාණය ඔබයි. අපගේ ජීවය ඔබයි" ආදී යෙදුම් තමන්ගේ ජනාධිපතිවරණ වෙළෙඳ ප්‍රචාරණය සඳහා යොදා ගැනීමෙන් ජාතික ගීතයට පමණක්‌ නොව ලංකා මාතාවටද අගෞරව කිරීමට ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා ක්‍රියාකර ඇතැයි විපක්‌ෂ නායක සහ එක්‌සත් ජාතික පක්‌ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
ඹේතැන්න සහ උකුවෙල පැවැති ප්‍රචාරක රැස්‌වීම් අමතමින් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේ ජාතික ගීතයේ යෙදුම් පෞද්ගික ප්‍රචාරක කටයුතු සඳහා යෙදවීම ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට පටහැනි කරුණක්‌ බවයි. මේ ආකාරයට ව්‍යවස්‌ථා විරෝධී ක්‍රියාවකට එක්‌වීම ජනාධිපතිවරයාට එරෙහි දෝෂාභියෝගයක්‌ ගෙන ඒමට හේතු සාධක කර ගත හැකි කරුණක්‌ බවද විපක්‌ෂ නායකවරයා පෙන්වා දුන්නේය.
රටේ දේපළ, රටේ සම්පත් රටේ ධනය සොරකම් කිරීමෙන් නොනැවතී දැන් රාජපක්‌ෂ රෙජිමය ජාතික ගීතයද සොරකම් කර ඇතිබව පෙන්වා දුන් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පැවසුවේ රටක්‌ නිරුපණය කරන ජාතීක ගීතය හා ජාතික ධජය ජනරජයට හා ජනතාවට අයත් දේපළක්‌ බවත් මෙවැනි පුද්ගලික හා දේශපාලන ප්‍රචාරණ වැඩපිළිවෙළ සඳහා යොදා ගැනීම පොදු දේපළ පනත උල්ලංඝනය කිරීමක්‌ බවත්ය.
මේ ආකාරයෙන් තමන් ලක්‌මාතාවට සමාන තලයක සිටින බව පෙන්වීමට උත්සාහ කිරීම දේශෙද්‍රdaහී ක්‍රියාවක්‌ සහ අපරාධයක්‌ බව ද වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.
මේ අතර පොදු විපක්‌ෂ ආරංචි මාර්ග සඳහන් කළේ මේ ආකාරයෙන් ජාතික ගීතය දේශපාලන ප්‍රචාරණ කටයුතුවලට යොදා ගැනීමෙන් සිදු කළ සාපරාධී ක්‍රියාවට ව්‍යවස්‌ථා උල්ලංඝනයට මෙන්ම දේශපාලනඥයකු ලක්‌මාතාවගේ තලයට ඔසවා තැබීමට එරෙහිව ද නෛතික පියවර ගැනීමට ඔවුන් කටයුතු කරන බවය.
http://www.divaina.com/2015/01/02/provin04.html

No comments:

Post a Comment