Jan 2, 2015

යුද හමුදාව යොදා ඡන්ද වැළැක්වීමේ තැතක්- රනිල්

02 Jan 2015
http://www.bbc.co.uk/sinhala/sri_lanka/2015/01/150101_ranil_maithripala_army

1

1 ජනවාරි 2015 අවසාන වරට යාවත්කාලීන කළේ 21:08 GMT
ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට කැප වන බව විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන විදේශ තානාපතිවරුන් සහ එක්සත් ජාතීන්ගේ නියෝජිතයන් අමතමින් ප්‍රකාශ කරයි.
රටේ යහපත් රාජ්‍ය පාලනයක් ඇති කිරීම, මූලික අයිතිවාසිකම් ප්‍රතිස්ථාපනය කිරීම , සහ නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීමට අවශ්‍ය ආයතන ශක්තිමත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවටත් ඔහු අවධාරණය කළේය.
දූෂණය අවසන් කොට ශ්‍රී ලංකාව යළිත් ජාත්‍යන්තර ප්‍රජාව අතර ඉහල පිළිගැනීමක් ඇති රටක් බවට පත් කරන බවටත් ඔහු ප්‍රතිඥා දුන්නේය.
ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය, ආර්ථික, සමාජීය, සංස්කෘතික සහ දේශපාලන ප්‍රතිපත්ති සියලු ශ්‍රී ලාංකිකයන්ට පිළිගත හැකි ආකාරයට සකස් කරන බවත් පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන පැවසුවේය.
ඔහු සඳහන් කළේ උතුරේ සිට දකුණ දක්වාත් නැගෙනහිර සිට බස්නාහිර දක්වාත් සියලු පුරවැසියන්ට යහපත් ජීවිතයක් ගත කිරීමට හැකි පරිසරයක් නිර්මාණය කරන බවයි.

ස්වාධීන කොමිසන් සභා
18 වැනි සංශෝධනය අවලංගු කොට ක්ෂේත්‍ර ගණනාවක් සඳහා ස්වාධීන කොමිසන් සභා පිහිටුවන බව ඔහු ප්‍රකාශ කළේය.
අධිකරණය, පොලීසිය, මැතිවරණ කටයුතු, රාජ්‍ය සේවය, නීතිපති දෙපාර්තමේන්තුව සහ විගණකාධිපති දෙපාර්තමේන්තුව යන ආයතන අධීක්ෂණය පිණිස ස්වාධීන කොමිසන් සභා පිහිටුවන බවයි ඔහු පැවසුවේ.
මහ බැංකුව ආර්ථිකය පාලනය කරන ස්වාධීන ආයතනයක් බවට පත් කරන බව සඳහන් කල ඔහු රාජ්‍ය මාධ්‍ය, පවතින රජයේ දේශපාලන ප්‍රචාරණ යන්ත්‍ර ලෙස යොදවා ගැනීම වහාම නතර කිරීමට පියවර ගන්නා බවත් ප්‍රකාශ කළේය. දේශපාලන කටයුතු සඳහා යුද හමුදා නිලධාරීන් යොදවා ගෙන ඇති ආකාරයත් ඔහු සඳහන් කළේය. එමගින් උත්සාහ දරන්නේ විවිධ ඡන්ද ප්‍රකාශ කිරීම වළක්වාලීම බවයි ඔහු කියා සිටියේ.
මේ අවස්ථාවට එක්ව සිටි එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පැවසුවේ යුද හමුදා නිලධාරීන් මැතිවරණ ක්‍රියාවලියට යොදවා ගැනීම පිළිබඳව ආරක්ෂක අංශ වලින් තොරතුරු ලැබී ඇති බවයි.

විශ්‍රාමික හමුදා නිලධාරීන්
“ආරක්ෂක අංශවලින් අපට තොරතුරු ලැබෙනවා. ඔවුන් සහ අප අතර හොඳ සම්බන්ධයක් තියෙනව. යුද හමුදා නිලධාරීන් මැතිවරණ ක්‍රියාවලියේ දී බාධා සිදු කිරීම් සඳහා යොදවා ගැනීමේ සැලැස්මක් තිබෙනවා. ඔවුන් ලවා උතුරු නැගෙනහිර පලාත්වල මෙන්ම තවත් පළාත්වල ජනතාව ඡන්ද ප්‍රකාශ කිරීම වැළැක්වීමේ උත්සාහයක් තිබෙනවා,” ඔහු පැවසුවේය. තවදුරටත් මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පැවසුවේ මෙම ක්‍රියාවලියට විශ්‍රාමික හමුදා නිලධාරීන් යොදවා ගෙන ඇති බවයි.
“මේක කරන්න යන්නේ විශ්‍රාමික හමුදා නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන්. ඔවුන් දැනට සේවයේ යෙදී සිටින හමුදා නිලධාරීන් සමඟ සම්බන්ධව තමයි මේ කාර්ය කරන්න යන්නේ. පුහුණු වැඩ සටහන්ද සිදු කරලා තියෙනව”
යුද හමුදාව මැතිවරණ ක්‍රියාවලියේ යොදවා ගැනීමේ වැඩ පිළිවෙළට අදාළ ලේඛන තුනකින් පළමුවැන්න තමන්ට යුද හමුදාව තුලින්ම ලැබී ඇති බවයි විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පැවසුවේ.
අඥාන වැඩ
“හැම කෙනෙකුගේම නම් එහි සඳහන් වෙලා තියෙනවා. එහෙම වුනත් ජනතාව ඡන්දය දීමට පසුබට වන්නේ නැහැ. ඔවුන් ඡන්දය දෙනවා. මේ නම් සඳහන් අයට අපි අවවාද කරනවා එවැනි අඥාන වැඩ කරන්න එපා කියල,”ඔහු තවදුරටත් ප්‍රකාශ කළේය. මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස්වරයා සහ විදේශ මැතිවරණ නිරීක්ෂකයන් දැනුවත් කරන බවයි විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේ. සියලුම රටවල් සමඟ ශ්‍රී ලංකාව පාරම්පරික සම්බන්ධකම් පවත්වා ගෙන යමින් යහපත් රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා පවත්වා ගෙන යාමට බලාපොරොත්තුවන බවත් ඔහු තවදුරටත් ප්‍රකාශ කළේය.

No comments:

Post a Comment