Jan 2, 2015

මෛත්‍රීපාල සිරිසේන -වෛර නොකර ක්‍රෝධ නොකර අතිවිශාල ජන බලයට හිසනමා රජ පුටුවෙන් නික්‌ම යා යුතුයි

02 Jan 2015
වත්මන් පාලනයට එරෙහිව එල්ල වී ඇති විශාල ජනතා විරෝධයට හිස නමා වෛර නොකර, ක්‍රෝධ නොකර මෛත්‍රීයෙන් හා සෙනෙහසින් රජ පුටුවෙන් නික්‌මීමට මහින්ද රාජපක්‍ෂ මහතාට දැන් සුදුසු කාලය එළැඹ ඇතැයි විපක්‍ෂයේ ජනාධිපතිවරණ පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා පෙරේදා (31 වැනිදා) ආණමඩුව, කුලියාපිටිය, හලාවත සහ පුත්තලමේ පැවැති ජනහමු අමතමින් ප්‍රකාශ කළේය.

එහිදී තවදුරටත් අදහස්‌ දැක්‌වූ මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේද කීය.
මහින්ද රාජපක්‍ෂ පාලනය දැනටමත් අවසන් වී හමාරයි. මේ වන විට ආණ්‌ඩුවේ මැති ඇමැතිවරු 25 ක්‌ ආණ්‌ඩුවෙන් ඉවත් වෙලා තිබෙනවා. එයින් මනාව පැහැදිලි වෙනවා මහින්ද රාජපක්‍ෂ ආණ්‌ඩුවට තවදුරටත් ඉදිරියට යැමට නොහැකි බව. තමන් දැනටමත් පරාද බව මහින්ද රාජපක්‍ෂ ආණ්‌ඩුවට දැනිලා තිබෙනවා. හැබැයි මහින්ද රාජපක්‍ෂ හෝ එයාගේ ගෝලබාලයෝ ඡන්ද දූෂණ, අක්‍රමිකතා කරන්න හැදුවොත් අපි ඒවාට විරුද්ධවත් කටයුතු කරනවා. කිසිම ඡන්ද මංකොල්ලයක්‌ කිරීමට අපි ඉඩ දෙන්නේ නැහැ.
අද දහවල් අපි මැතිවරණ කොමසාරිස්‌වරයා මුණ ගැසුනා. මැතිවරණ නීති උල්ලංඝනය කරමින් ආණ්‌ඩුව සිදුකරන දේවල් පිළිබඳව අපි මැතිවරණ කොමසාරිස්‌ දැනුවත් කළා. මැතිවරණ දෙපාර්තමේන්තුව හා මැතිවරණ කොමසාරිස්‌වරයා ගැන මගේ සම්පූර්ණ විශ්වාසය තිබෙනවා. ජනවාරි 9 වැනිදා උදේ වන විට අවුරුදු 10 ක්‌ තිබූ මහින්ද රාජපක්‍ෂ අදූරදර්ශී පාලනය අවසන් කර අපි අලුත් ආණ්‌ඩුවක්‌ හදන එක ස්‌ථීරයි.
ජාති, ආගම් භේදයකින් තොරව අලුත් ආණ්‌ඩුවක්‌ හැදීමට ජනතාව පෙළ ගැසී තිබෙනවා. පවතින ආණ්‌ඩුව වෙනස්‌ විය යුතු යෑයි පොදු මතයකට ඇවිත් තියෙනවා. එසේ ජනතාව පෙළඹුණේ ඇයි? රටේ මහ ලොකු සංවර්ධනයක්‌ සිදුවන බව මේ ආණ්‌ඩුව ඔබට පෙන්වනවා. ඒත් ඒ සංවර්ධනයේ සුන්දරත්වය පිටුපස මහා ලොකු දූෂණයක්‌ සිදු වෙනවා. අවුරුදු 10 ක්‌ රටේ කළ සංවර්ධන වැඩ වලින් සියයට 50 ක්‌ ආණ්‌ඩුව තමන්ගේ සාක්‌කුවට දා ගත් විට එකතු වන මුදල කොපමණක්‌ද කියලා ඔබට හිතා ගන්නවත් බැහැ. මේ තරම් දූෂිත පාලකයෙක්‌ මේ රටේ කවදාවත් හිටියේ නැහැ. එක පවුලක්‌ විසින් මුළු රටම දූෂණයට ලක්‌ කළා. සමාජය අශීලාචාර වුණා. කුඩු, එතනෝල් රටේ රජ කළා. ආණ්‌ඩුවට ආදායම් එන රාජ්‍ය ආයතන සියල්ල විනාශ කළා. රාජ්‍ය භාණ්‌ඩාගාරයට දැන් ඒ ආයතනවලින් මුදල් එන්නේ නැහැ. රාජ්‍ය ආදායම අඩු වුණහම, රජයට මුදල් නැති වුණහම බඩු මිල ඉහළ යනවා. දුප්පත්කම වැඩි වෙනවා. ජනතාවගේ බඩ ගින්න නිවීම අපේ ආණ්‌ඩුවේ මුඛ්‍ය අරමුණයි. රාජකුමාරවරුන්ට හෙලිකොප්ටර්, රත්තරන් පිස්‌තෝල, රත්තරන් අශ්වයෝ ඉන්නවා. කිසිම රාජ්‍ය නායකයෙක්‌ මෙලෙස හැසිරිලා නැහැ. රාජ මාළිගා හැදුවේ නැහැ. කොටුවේ ජනාධිපති මන්දිරය රජ ගෙයක්‌ ලෙස නවීකරණය කර තිබෙනවා. අලුත් රාජ මාළිගා 7 ක්‌ ඇති කළා. අපේ රටේ විතරක්‌ නොවේ ලෝකයේ කිසිම රාජ්‍ය නායකයෙක්‌ මේ විදිහට සුර සැප විඳින්නේ නැහැ.

http://www.divaina.com/2015/01/02/news20.html

මහින්ද රාජපක්‍ෂ මහතා නැතිනම් මේ රට කඩා වැටෙනවලු. ආණ්‌ඩුව කඩා වැටෙනවලු. යුද්ධය එනවලු. එයාම තමයි මේවා කියන්නේ. එහෙනම් තව අවුරුදු 100 ක්‌ 200 ක්‌ එයාට මේ රට භාර දෙන්න ඕන. මම එල්.ටී.ටී.ඊ. ප්‍රහාර පහකට ලක්‌වුණු අයෙක්‌. රටේ ආරක්‍ෂක ඇමැතිවරයා ලෙසද මම කිහිප වතාවක්‌ කටයුතු කළා. යුද්ධයේ උච්චතම හා අවසාන අවස්‌ථාවේදීත් මමයි මේ රටේ ආරක්‍ෂක ඇමැති. මම එල්.ටී.ටී.ඊ.යට යළි නැගිටින්න දෙන්නේ නැහැ. අපත් සමඟ සන්ධාන ගත වී තිබෙන අනෙක්‌ දේශපාලන නායකයොත් එල්.ටී.ටී.ඊ.යට සියයට සියයක්‌ විරුද්ධයි. ඒ නිසා අපි මේ රටේ යළි යුද්ධයක්‌ ඇති වෙන්න දෙන්නේ නැහැ.

වත්මන් ආණ්‌ඩුව රටේ කිසිම දෙයක්‌ ගැන නිසි ප්‍රමිතියක්‌ නැහැ. තමන්ගේ රටේ කලාකරුවන්ගේ ඔළු ගෙඩි පැලෙන්න පහර දෙන පාලනයක්‌ තමයි අද රටේ තිබෙන්නේ. හැබැයි කෝටි ගණන් වියදම් කරලා ඉන්දියාවෙන් සල්මන් ඛාන්ලාව ලංකාවට ගෙන්වනවා. එහෙම තමයි රටේ කලාවට සංස්‌කෘතියට මහින්ද රාජපක්‍ෂ ආණ්‌ඩුව සලකන්නේ, මේ රටේ පළමු අගවිනිසුරුවරිය වූ ශිරාණි බණ්‌ඩාරනායක මහත්මියව එම තනතුරෙන් ඇදලා දැම්මා. එලෙස කාන්තාවන්ට අපහාස කළා. ඒත් විධායකය සතු අසීමිත බලතල මගේ පාලනයක්‌ යටතේ අධිකරණයට, පොලිසියට පවරනවා. මහින්ද රාජපක්‍ෂ මහතා නායකයෙක්‌ ලෙස ඉවසීම ප්‍රගුණ කළ යුතුයි. ජනතා තීන්දුවට හිස නැමිය යුතුයි.

යුද ජයග්‍රහණයේ ගෞරවය කිසිසේත් තනි පුද්ගලයෙකුට අයිති නැහැ. යුද්ධය වෙනුවෙන් රණවිරුවන් ජීවිත පූජා කළා. තවත් රණවිරුවන් ආබාධිත වුණා. රණවිරු බිරින්දැවරුන්ට තම ස්‌වාමියන් අහිමි වුණා, දරුවන්ට දෙමවුපියන්, දෙමවුපියන්ට දරුවන් අහිමි වුණා. සමස්‌ත ජනතාව නොයෙක්‌ කැප කිරීම් කළා. මේ හැම දෙනාම යුද ජයග්‍රහණයේ කොටස්‌කරුවන්. ඒත් ජනාධිපති යුද ජයග්‍රහණයේ අයිතිය තනිකරම තමන් වෙත නතුකර ගත්තා.

2005 ආණ්‌ඩුව තනිවම මහින්ද රාජපක්‍ෂ මහත්තයා හදපු ආණ්‌ඩුවක්‌ නොවේ. ඒ ආණ්‌ඩුව පිහිටුවන්න මම තරම් මහන්සි වුණු කෙනෙක්‌ තවත් නැතිව ඇති. ඒ විශාල අයිතියක්‌ තනිවම තමාගේ නමට ලියා ගන්න රාජපක්‍ෂ මහත්තයා උත්සාහ ගන්නවා. තමාගේ පාලනයට එරෙහිව දැන් එල්ල වී ඇති විශාල ජනතා විරෝධයට හිස නමා වෛර නොකර, ක්‍රෝධ නොකර පුටුවෙන් නික්‌මීමට කාලය එළැඹ ඇති බව මම මහින්ද රාජපක්‍ෂ මහතාට කියනව. රාජපක්‍ෂ පාලනයේ යුවරජු වන ආර්ථික සංවර්ධන ඇමැතිවරයා හැම විටම බහුජාතික සමාගම්වල පැත්ත ගැනීම නිසා ජනතාව වකුගඩු රෝගීන්, පිළිකා රෝගීන් බවට පත්වෙලා. හලාවත ධීවර ගැටලුවලට ආණ්‌ඩුව තුවක්‌කුවෙන් උත්තර සෙව්වා. තරුණයින් ඝාතනය වුණා.

ජනවාරි 8 ඡන්ද පෙට්‌ටිය ගණන් කරන්න කලින්ම මහින්ද රාජපක්‍ෂ ආණ්‌ඩුව පරාජයට පත්වෙලා. ශ්‍රී ලංකාවේ මැතිවරණ ඉතිහාසයේ පවතින ආණ්‌ඩුවක්‌ වෙනස්‌ කිරීමට මෙතරම් ජනතා බලවේගයක්‌ කවර කලෙකවත් උදා වුණේ නැහැ. ආණ්‌ඩුවකට එරෙහිව මේ තරම් ජනතා පිබිදීමක්‌ මම කිසිම මැතිවරණයකදී දැකලා නැහැ.

විපක්‍ෂ නායක හා එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා - ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සමග සිටි මුස්‌ලිම් නායකයන් අද වන විට වෙනසක්‌ ඇති කිරීම සඳහා මෛත්‍රීපාල සිරිසේන මහතාට සහයෝගය දැක්‌වීමට පොදු වේදිකාවට එක්‌ව සිටිනවා. රාජපක්‍ෂ මහතාට අද මුස්‌ලිම් නායකයන් නොමැති නිසා ඉන්දියාවෙන් සල්මන් ඛාන් ගෙන්වා මුස්‌ලිම් පෙරමුණක්‌ ඇති කිරීමට උත්සාහ දරනවා. ශ්‍රී ලංකාවට පැමිණියේ සල්මන් ඛාන් ද, ශාරුක්‌ ඛාන් ද, අයුබ් ඛාන්ද කියා ඔහු ලංකාවට ගෙන්වා ගත් අයවත් දන්නේ නැහැ.

මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා මැතිවරණ ව්‍යාපාරයේ යෙදුණු කලාකරුවන් පිරිසකට කුඹුක්‌ගැටේදී එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ පළාත් සභා මන්ත්‍රී කමල් ඉන්දික පහර දුන්නා. ඔහු පසුව පොලිසියට භාර වුණා. ඔහු සමග එම ප්‍රහාරය එල්ල කළේ අප හැමෝම දන්නා නිල් බළකායයි.

එරික්‌ වීරවර්ධන මන්ත්‍රීවරයා පුවත්පත් සාකච්ඡාවක්‌ පවත්වා නිල් බළකායේ කවුරුන් හෝ මේ සම්බන්ධව වගකියනවා නම් ඔවුන්ට දඬුවම් ලබාදෙන බව ප්‍රකාශ කර සිටියා. ඒ කියන්නේ නිල් බළකාය මෙම ප්‍රහාරයට සම්බන්ධ බවයි. සත්‍ය හෙළි කිරීම සම්බන්ධයෙන් එරික්‌ වීරවර්ධන මන්ත්‍රීතුමාට මම ප්‍රශංසා කර සිටිනවා. කෙසේ වෙතත් නිල් බළකායේ මේ ක්‍රියාදාමය කිසිවකුට අනුමත කරන්නට බැහැ. නිල් බළකාය උත්සාහ දැරුවේ රටේ වෙනසක්‌ ඇති කිරීම වැළැක්‌වීමටයි. මැර බලය යොදවා වෙනසක්‌ ඇති වීම කිසිසේත් වැළැක්‌විය නොහැකියි.

මේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ වේදිකාවක්‌ හෝ එක්‌සත් ජාතික පක්‍ෂයේ වේදිකාවක්‌ හෝ නොවෙයි. එක්‌සත් ජාතික පක්‍ෂයේ නායකවරයා වශයෙන් අද මා මේ වේදිකාවේ දී ඉල්ලා සිටින්නේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මහලේකම් මෛත්‍රීපාල සිරිසේන මහතාව ජනාධිපති කරවන ලෙසයි. මාගේ මේ ඉල්ලීම ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසයේ නායකවරයා ද අසා සිටිනවා. මීට වඩා ජාතික වේදිකාවක්‌ අපට හදන්නට නොහැකියි.

ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා, ශ්‍රී ලංකාවේ සිටින ද්‍රවිඩ භාෂාව කතා කරන ජනතාවට රාජපක්‍ෂ රෙජිමය තර්ජනයක්‌ වෙමින් පවතින බවත්, නොබෙදුණු ශ්‍රී ලංකාවක්‌ යටතේ සාධාරණ, ප්‍රායෝගික, කල් පවත්නා දේශපාලන විසඳුමකට දෙමළ ජාතික සන්ධානය කටයුතු කරන බවත් ප්‍රකාශ කර සිටියා. නොබෙදුණු ශ්‍රී ලංකාවක්‌ තුළ ඔවුන් මේ වැඩකටයුතු කිරීමට ඉදිරියට පැමිණීම සම්බන්ධයෙන් මා ස්‌තුතිවන්ත වෙනවා. එක්‌සත් ජාතික පක්‍ෂය ඇතුළු මා ද සිටින්නේ ඒ ස්‌ථාවරයේයි. අපේ රටේ ඒකීයභාවය ආරක්‍ෂා කළ යුතු අතර පළාත් සභා ක්‍රමය ද ක්‍රියාත්මක කළ යුතුයි. 13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනයේ රාමුව වන්නේ ඒකීයභාවය ආරක්‍ෂා කිරීම හා පළාත් සභා බලතල ක්‍රියාත්මක කිරීමයි. අප ක්‍රියාකරන්නේ ඒ තුළ සිටිමිනුයි. නමුත් මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා පවසා සිටියේ 13 ව්‍යවස්‌ථා සංශෝධනයෙන් ඔබ්බට ගොස්‌ විසඳුමක්‌ ලබාදෙන බවයි.

රටේ තිබෙන හමුදා කඳවුරු කිසිසේත් ඉවත් කරන්නේ නැහැ. එසේ ඉවත් කිරීමේ අවශ්‍යතාවක්‌ ද අපට ඇත්තේ නැහැ. හමුදා කඳවුරු එම ප්‍රදේශවලම තබා ජනතාවට සාධාරණය ඉටු කිරීමට අපට පුළුවන්. ජාතික සමගිය ඇති කිරීම සඳහා මහින්ද රාජපක්‍ෂ මහතා හිටපු නීතිපති සී. ආර්. ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පත් කළ උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසම් සභා වාර්තාවේ වැදගත් කරුණු රාශියක්‌ ඇතුළත් වී තිබෙනවා. මෙම වාර්තාවේ ඇතුළත් වූ වැදගත් කරුණු කිසිවක්‌ මහින්ද රාජපක්‍ෂ මහතා ක්‍රියාත්මක කළේ නැහැ. එම වාර්තාවේ තිබෙන වැදගත් කරුණු ක්‍රියාත්මක කර ශ්‍රී ලාංකික අනන්‍යතාවය ආරක්‍ෂා කිරීමට අප පියවර ගන්නා බව මා මේ අවස්‌ථාවේදී පැහැදිලිව ප්‍රකාශ කර සිටිනවා.

ජාතික ප්‍රශ්නය විසඳීම සඳහා අප සර්වපාක්‍ෂික ආණ්‌ඩුවක්‌ ඇති කරනවා. අපට නිදහස ලැබෙන විට රාජ්‍ය භාෂාව වූයේ ඉංග්‍රීසි භාෂාව වන අතර ඊට පසු සිංහල සහ දෙමළ භාෂාව රාජ්‍ය භාෂාව ලෙස නම් කිරීමට සියලු දෙනාම එකඟ වුණා. නමුත් 1956 මැතිවරණයේදී සිංහල ජනතාවගේ ඡන්දය ලබා ගැනීමේ අරමුණින් සිංහල භාෂාව පමණක්‌ රාජ්‍ය භාෂාව බවට පත් කරන බව එක්‌සත් ජාතික පක්‍ෂයත්, ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයත් කියා සිටියා. ඉන් පසු ද්‍රවිඩ ව්‍යාපාරය ආරම්භ වී ත්‍රස්‌තවාදය ඇති වූ අතර ඒ යුද්ධය 2009 දී අවසන් කිරීමට හැකි වුණා.

----------

ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයේ නායක හිටපු යුද හමුදාපති සරත් ෙµdන්සේකා මහතා - රාජපක්‍ෂ බේබිලාට ලැම්බෝගිනි. අපේ ගමේ දරුවන්ට බඩගිනි. ඒ දරුවන්ට අඩු තරමින් පාපැදියක්‌ ගන්න වත්කමක්‌ නෑ. රටම දුප්පත්කමින් වෙලිලා. රජ දරුවෝ සුර සැප විඳිනවා.

රාජපක්‍ෂලා සිතා සිටින්නේ රටේ ඔවුන් පමණක්‌ සිටියොත් ඇති කියලයි. ඔවුන් පමණක්‌ කා බී හැඳ පැළඳ සිටියොත් ඇති කියලයි. රටේ අනිකුත් ජනතාවටත් බඩගින්න දැනෙනවා. ඒත් රජවරුන්ට ජනතාවගේ බඩගින්න දැනෙන්නේ නැහැ. ඔවුන් පමණක්‌ සුත මුදිත වී සිටිනවා. මේකද ප්‍රජාතන්ත්‍රවාදය? මේකද රටේ ආශ්චර්ය?

"අපේ රටේ මෙතුවක්‌ තිබූ ස්‌වාධීන, නිදහස්‌ අධිකරණය විනාශ කළා. ඊට හානි කළා. තම අභිමතය පරිදි අධිකරණය හසුරුවා ගන්න උත්සාහ කරනවා. මේවා සෑමදාම කරන්නට බැහැ. අපි අධිකරණය ස්‌වාධීන කරනවා.

රටම බේරා ගත් රණවිරුවෝ අද මහ පාරේ කාණු කපනවා. ඒ අයගේ ආත්මගරුත්වය, වීරත්වය කාණු දිගේ ගලා යනවා. ඇයි අපේ රණවිරුවන්ට මේ විදියට නිග්‍රහ කරන්නේ. ඔවුන් රාජපක්‍ෂ පවුලේ වහල්ලු නොවෙයි. ඔවුන් මේ රටට අයිති මේ රට රැකීමට සිටින සැබෑ විරුවන්. ඔවුන් රටේ සම්පතක්‌.

ඉදිරියේදී ආරක්‍ෂක හමුදා පොලිසිවල සේවයේ නියුතු නිලධාරීන්ගේ මාසික අවම වැටුප රුපියල් 40000 (හතළිස්‌ දහස) කිරීමට අප ඉදිරි රජයෙන් කටයුතු කරනවා.

වල් වැදුණු නීතිය, යුක්‌තිය සාධාරණය යළි නිසි මඟට ගැනීමට ලබන 08 දින හංසයා ඉදිරියේ කතිරය ගසා මෛත්‍රීපාල සිරිසේන ජයග්‍රහණය කරවන්න. මේ රටට, අපට ලැබෙන මහඟු අවස්‌ථාවයි. ඒ වගේම අවසන් අවස්‌ථාවයි.

ඉන්ද්‍රdනි දසනායක මහත්මිය - අද සිටිය යුත්තේ මහින්ද රාජපක්‍ෂ වේදිකාවේ නොවෙයි. මෛත්‍රී වේදිකාවේයි. තම ගමනට රාජපක්‍ෂ මහතාගෙන් හිරිහැර කෙණහිලි සිදුවෙද්දීත් තවත් ඔය පාර්ලිමේන්තුවේ සැඟ වී සිටින මැති ඇමැතිවරුන්ට මම ආරාධනා කරනවා. 08 වැනි දින දිනන මෛත්‍රී පැත්තට එන්න කියා. තවමත් ඔවුන් වෙනුවෙන් මෛත්‍රී වේදිකාව විවෘතයි. අපි මෙවර ආණමඩුවත් දිනා පුත්තලම දිස්‌ත්‍රික්‌කයත් ජයග්‍රහණය කරනවා.

එ.ජ.නි.ස. හිටපු වයඹ පළාත් සභා සෞඛ්‍ය අමාත්‍ය හා වත්මන් මන්ත්‍රී අශෝක වඩිගමංගාව මහතා - මා යළිත් එ.ජා.ප. යට හැරුණේ මෙතුවක්‌ මේ දුර්දාන්ත පාලනය තව දුරටත් ඉවසා සිටීමට නොහැකි නිසායි. රට විනාශ කරන මේ ක්‍රමය, පිරිස සමග හිඳීම අපහසුයි. අපි ප්‍රජාතන්ත්‍රවාදය, සාමය ගරු කරන අය. එවැනි රටක්‌ යළිත් අප සැම එක්‌ වී නිර්මාණය කළ යුතුයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා - මහින්ද රාජපක්‍ෂ ආණ්‌ඩුව මේ රටේ විශාල දූෂණයක්‌ සිදුකරමින් සිටිනවා. රටේ කරන හැම සංවර්ධන කටයුත්තකින්ම ඔවුන් ජනතාවගේ මුදල් ගසා කනවා. අපි හදන ආණ්‌ඩුවෙන් මේ දූෂණ නතර කරනවා විතරක්‌ නොවේ ඒ මුදල් ජනතාවගේ දුප්පත්කම නිවන්න, අපේ පොදු වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න යොදනවා. එසේම දැන් රාජපක්‍ෂලාගේ පවුලේ සුඛවිහරණයට යොදා ගන්නා මුදල් ප්‍රමාණය ද එදාට අපට ඉතිරි වෙනවා. එම වියදම සියයට 50 කින් අඩු කළ විට අපට විශාල මුදලක්‌ ඉතිරි වෙනවා. අපි රට දියුණු කරන්නේ රට ගොඩනගන්නේ ඒ විදිහටයි. ඒ වගේම මහින්ද රාජපක්‍ෂගේ පාලනය නිසා රටට ඔබට අහිමි වුණු ශ්‍රීලනිපය ද එම ආණ්‌ඩුව ඇතුළේ නැවත පිබිදීමකට ලක්‌ කරනවා.

නව සමසමාජ පක්‍ෂයේ නායක වික්‍රමබාහු කරුණාරත්න මහතා - ජනතාවගේ දැවෙන ප්‍රශ්නවලට විසඳුම් ලබාගැනීම සඳහා නැවත වතාවක්‌ මහින්ද රාජපක්‍ෂ ආණ්‌ඩුවට බලය ලබා දීමෙන් පලක්‌ වෙන්නේ නැහැ. ජනතාවගේ දුක්‌ ගින්දර මේ ආණ්‌ඩුවට තේරුම් ගන්න නොහැකි වෙලා තිබෙනවා. මෛත්‍රීපාල මහතා වටා සියලු ජන කොටස්‌ අද එකතුවී තිබෙනවා. ඒ අනුව මේ දුර්දාන්ත පාලනය නිමා කිරීමට දැන් සියල්ල සූදානම්. ලබන 08 වැනිදාට ඒ සඳහා ඔබ අප ක්‍රියාත්මක වෙන බව මට විශ්වාසයි.

No comments:

Post a Comment