Jan 5, 2015

මෛත්‍රීපාල සිරිසේන - වෙඩි තියලා ගල් ගහලා අපිව නතර කරන්න බැහැ

05 Dec 2015
ජනතාව වෙනුවෙන් ජීවිතය පූජා කරන්න සූදානම්
-පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන
ජනතාවට බොරු පොරොන්දු දෙන දේශපාලන සංස්‌කෘතිය අපි හෙළා දකිනවා
-සරත් ෆොන්සේකා 
මේ වතාවේ මහින්ද පරාදයි
-ඌව විපක්‍ෂ නායක හරීන් ප්‍රනාන්දු

වෙඩි තියලා, ගල් ගහලා, වේදිකා ගිනි තියලා අපව නතර කරන්න හදන්න එපා. අපිව බය කරන්න හැදුවට අපි බිය හඳුනන්නේ නැහැ. ජනතාව වෙනුවෙන් ජීවිතය පූජා කරන්න වුවත් අපි සූදානම් යෑයි විපක්‍ෂයේ ජනාධිපතිවරණ පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා පෙරේදා
(3 වැනිදා) මහියංගනය, දෙහිඅත්තකණ්‌ඩිය සහ ඊයේ (4 වැනිදා) බදුල්ල, පස්‌සර, උඩුදුම්බර යන ප්‍රදේශවල පැවැති ජනහමු අමතමින් ප්‍රකාශ කළේය.
එහිදී තවදුරටත් අදහස්‌ දැක්‌වූ මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේද කීවේය.
මගේ පියා ගොවියෙක්‌. මමත් ගොවියෙක්‌. ගොවි ජනතාවගේ ගැටලු, ප්‍රශ්න අපි හොඳින් හඳුනනවා. ගොවි ජනතාවගේ දහඩිය සුවඳ අපි හඳුනනවා. අපේ ආණ්‌ඩුවක්‌ යටතේ ගොවි ජනතාවගේ ගැටලු විසඳීමට කටයුතු කරනවා. විශේෂයෙන් ජල ප්‍රශ්නය, පොහොර ප්‍රශ්නය ඒ අතර ප්‍රධානයි. අපි බාල පොහොර ගෙන්වන්නේ නැහැ. ගොවියා ලෙඩුන් කරන ආණ්‌ඩුවක්‌ වෙනුවට ගොවියා රජුන් කරන ආණ්‌ඩුවක්‌ හදනවා. මේ රජය ගොවියා ගැන සලකන්නේ නැහැ. ඔවුන්ගේ ප්‍රශ්න හඳුනන්නේ නැහැ. කොමිස්‌ කුට්‌ටි ඇති මහා පරිමාණ ජල ව්‍යාපෘති විතරයි මේ ආණ්‌ඩුව හදන්නේ. ඒත් කුඹුරට නියරට වතුර එන ක්‍රමයක්‌ හදන්නේ නැහැ. නියං කාලයට විතරක්‌ නොවේ ඇතැම් වර්ෂා කාලයටත් ගොවියාට වතුර ලැබෙන ක්‍රමයක්‌ නැහැ. ජලය අපතේ යනවා. අපේ මේ ජලය රටවල් 10 කට ඇති. ඒත් කුඹුරට වතුර නැහැ. අපේ ආණ්‌ඩුවක්‌ යටතේ කුඹුරට හිඟයකින් තොරව වතුර ටික ලැබෙන්න සලස්‌සනවා.
අද මහින්ද රාජපක්‍ෂ ආණ්‌ඩුව දැනටමත් මේ මැතිවරණයේ පරාජය පිළිඅරගෙන තිබෙනවා. ඔවුන්ට ඒ පරාජය දැන් දරා ගන්න බැහැ. එයින් වියරු වැටී තිබෙනවා. මුලින්ම අපේ වඳුරඹ වේදිකාව ගිනිබත් කළා. දැන් අපි කතා කරන කොට ස්‌ටේඡ්වලට ගල් ගහනවා. කතා කරලා ආවහම වේදිකාවට ගිනි තියනවා. මගේ දැනුවත්භාවය අනුව නම් මේවා කරන්නේ මහින්ද රාජපක්‍ෂ ආණ්‌ඩුවේ ගැත්තෝ තමයි. අපේ කලාකරුවන්ට පහර දෙනව. ආණ්‌ඩුවට එරෙහිව කිසිම කෙනකුට මුකුත් කරන්න බැහැ. ආණ්‌ඩුව හිතන් ඉන්නේ මේ තිබෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්‌ඩුවක්‌ නොව රාජාණ්‌ඩුවක්‌ කියලයි. රාජාණ්‌ඩුවල තමයි මෙවැනි කටයුතු සිදු වෙන්නේ. රාජාණ්‌ඩුවක සිටින අසාධාරණ පාලකයෙක්‌ නිසා අද මුළු රටම අසරණ වෙලා.

http://www.divaina.com/2015/01/05/news40.html
මම කතා කරමින් සිටි පැල්මඩුල්ල වේදිකාවට ගල් ප්‍රහාර එල්ල කළ දෙදෙනකු අත්අඩංගුවට ගත්තා. තවත් දෙන්නෙක්‌ව අල්ලන්න නියමිතයි. මේ වගේ මැතිවරණ ප්‍රචණ්‌ඩ ක්‍රියා තව බොහෝමයක්‌ ආණ්‌ඩුව සිදුකරනවා. අපට මැතිවරණ ප්‍රචණ්‌ඩ ක්‍රියා දූෂණ නොමැති ඡන්දයක්‌ අවශ්‍යයි. සාධාරණ ලෙස මේ ඡන්ද සටන ගෙන යන්න එකතු වෙන්න මහින්ද රාජපක්‍ෂ මහතාට මා ආරාධනා කරනවා.

මේ වියරු වැටී සිටින දූෂිත, ආණ්‌ඩුව ලබන 9 වැනිදාට අපි ගෙදර යවනවා. ඒක ස්‌ථිරයි. ගොවීන් ඇතුළු ජනතාව වකුගඩු රෝගීන් බවට පත් කරලා රුපියල් 3000 ක්‌ දෙන්න හදනවා. ඒ රුපියල් 3000 වකුගඩු රෝගීන්ට හැරෙන්නවත් මදි. රුපියල් 350 ට අපි නියම ප්‍රමිතියෙන් යුතු පොහොර ගොවි ජනතාවට ලබා දෙනවා.

අද රටේ යහපාලනය, ප්‍රජාතන්ත්‍රවාදය නැහැ. අවනීතිය, දූෂණය, භීෂණය රජ කරනවා. මහින්ද රාජපක්‍ෂ මහතා ඒකාධිපති ගමනක්‌ යමින් සිටිනවා. ඒ ගමන නිසා අද ආණ්‌ඩුව තුළ ශ්‍රීලනිපයක්‌ නැහැ. ශ්‍රීලනිප දර්ශනයක්‌ නැහැ. ශ්‍රීලනිපය සහ ශ්‍රීලනිප දර්ශනය විනාශය කරා ඇදෙමින් තිබෙනවා. ඊට වගකිව යුත්තා මේ පාලකයා මිස වෙන කවුරුවත් නොවේ. ඇමැති මණ්‌ඩලයට බලතල දෙන්නේනැහැ. පාර්ලිමේන්තුවේ බලතල උදුරාගෙන තිබෙනවා. රාජ්‍ය සේවය පක්‍ෂග්‍රාහී කර තිබෙනවා. පොලිසිය, අධිකරණය නිහඬ කර තිබෙනවා. අගවිනිසුරුවරිය පුටුවෙන් එළවා දැම්මා. ඇය කාන්තාවක්‌, ඇය මවක්‌, ඒ නිසා මාතෘත්වයට, ස්‌ත්‍රීන්ට මේ ආණ්‌ඩුව නිගා කළා.

මහින්ද රාජපක්‍ෂ ආණ්‌ඩුවට මේ රටේ ආයෙත් කවදාවත් බලය ලැබෙන්නේ නැහැ. අද තිබෙන්නේ ආණ්‌ඩුවක්‌ කියනවාට වඩා පවුල් පාලනයක්‌ කිව්වොත් තමයි නිවැරදි. මේ පවුල් පාලනය දුර්දාන්තයි. ජනතාවගේ බඩගින්න මේ පවුල් පාලනයට තේරෙන්නේ නැහැ. ඔවුන් දුප්පත් ජනතාවගේ දහඩිය, දුක හඳුනන්නේ නැහැ. 1948 න් පසු බිහි වූ අන්ත දූෂිතම පාලනය තමයි අද රටේ ක්‍රියාත්මක වෙන්නේ. රණවිරුවන්ව කුණු කූඩයට නොව කුණු කාණුවට දාලා.

පසුගිය වසර 4 පුරාවටම ආණ්‌ඩුව ජනතාවට සේවයක්‌ කළේ නැහැ. පාරවල්, වරාය, ගුවන් තොටුපළ හදනවා කියමින් ජනතාවගේ මුදල් කොල්ල කෑවා. වැඩ කරන ජනතාවගේ සාක්‌කු හිස්‌ කළාම අද ජනතාව අතේ මුදල් නැහැ. ආණ්‌ඩුව කරනවා වගේ දෙතුන් ගුණයකින් අපි රට සංවර්ධනය කරනවා. ඒ විතරක්‌ නොවේ ජනතාව අතර මුදල් ගැවසෙන ක්‍රමවේදයක්‌ ඇති කරනවා. සංවර්ධනය මුවාවෙන් සිදුකරන දූෂණ අපි නතර කරනවා. භීෂණයෙන්, දූෂණයෙන්, පවුල් වාදයෙන් තොර රටක්‌ අපි හදනවා. රාජපක්‍ෂ පවුල ඇතුළු මේ ආණ්‌ඩුව අයුතු ක්‍රම මගින් උපයා ගෙන ඇති හැම රුපියලක්‌ම ජනතාවගේ සුබ සාධනය සඳහා යොදා ගන්නවා. මේ දේවල් අපට තනිව කරන්න බැහැ. ඔබගේ සහයත් ඊට අවශ්‍යයයි. ඒ සඳහා ලබන 08 වැනිදාට හංසයා ඉදිරියේ කතිරය ලකුණු කරන්න. ශ්‍රී ල.නි.ප. එජාපය ඇතුළු රටේ හැම පක්‍ෂයකින්ම සමන්විත ජනතාවාදී ආණ්‌ඩුවක්‌ බිහි කිරීමට ඔබත් දායක වෙන්න.

ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයේ නායක හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා -

අද රටේ තිබෙන්නේ මැර බලය සහ දාමරික බව සහිත ආණ්‌ඩුවක්‌. මේ ආණ්‌ඩුවේ රටේ, පාලකය අද ජනතාවට පිළිලයක්‌ වෙලා. ජනතාව මේ පාලකයා පිළිකුල් කරනවා. පක්‍ෂයක්‌, ආණ්‌ඩුවක්‌, රටට වැඩ කරන්නේ නැති නම් ඒ පක්‍ෂය සහ ආණ්‌ඩුව රටෙන් නෙරපිය යුතුයි. ජනතාව දැන් ඒ කාර්යයට පෙළගැසී සිටිනවා. ආණ්‌ඩුවට එරෙහිව විශාල ජනතා බලවේගයක්‌ එල්ල වී තිබෙනවා. වැරදීමකින් හෝ මේ රට තව වසර 8 කට රාජපක්‍ෂලාට හිමිවුණොත් රටෙන් ගන්න දෙයක්‌ ඉතුරු වෙන්නේ නැහැ.

අද රටේ ආශ්චර්යයක්‌ තිබෙනවා යෑයි පාලකයා කියනවා. ජනතාවට හීනෙකින්වත් ඒ ආශ්චර්යය පෙනිලා නැහැ. ආශ්චර්යය කෙසේ වෙතත් තව වසර කිහිපයක්‌ මේ විදිහට ගියොත් ආසියාවේ අපාය නම් ශ්‍රී ලංකාවෙන් බිහි වේවි. පාලකයා මුලාවෙන්, බොරුවෙන් රට පාලනය කරනවා. දවසකට කෝටි දෙකහමාරක්‌ ජනාධිපතිට වියදම් වෙනවා. ජනතාවගෙන් අසීමිත ලෙස බදු ගන්නවා. වසරකට එක්‌ පුද්ගලයකුගෙන් රුපියල් 48,000 ක්‌ බදු ලෙස අය වෙනවා.

ජනතාවට බොරු පොරොන්දු දෙන දේශපාලන සංස්‌කෘතිය අපි හෙළා දකිනවා. ජනතාවට වංචා කරන දේශපාලන සංස්‌කෘතිය අපට එපා. අද ආණ්‌ඩුව මොන වැඩේ කරත් හොරකම් කරනවා. වරාය, ගුවන්තොටුපළ හදනවා. ඒවායෙන් ජනතාවට ඇති ප්‍රයෝජනයක්‌ නැහැ. හම්බන්තොට වරායට අද නැව් එන්නේ නැහැ. මත්තල ගුවන්තොටුපළ අද බකමූණෝ, මීමින්නෝ, උගුඩුවෝ රජ කරනවා. එය ලොව අභයභූමියක ඇති එකම ගුවන්තොටුපළයි.

ජනාධිපති බදාගෙන ඉඹින්නේ බඩගින්නේ ඉන්න දරුවන්. දරුවන්ගේ කිරිපිටි මිල වැඩි කරලා දරුවන් බදාගෙන ඉඹිනවා. කිරිපිටි මිල අඩු කරා නම් මුළු රටේම ළමයින් එකපාර සිපගත්තා වගේ වෙනවා. ඒත් එහෙම කරන්නේ නැහැ. පපුවට ගහ ගත්තට, දේශප්‍රේමියෙක්‌ වෙන්නේ නැහැ. මෛත්‍රීපාල මහතා යටතේ අපි රට ආරක්‍ෂා කර ගන්නවා. සාධාරණත්වය, අවංකත්වය රජයන පරිසරයක්‌ අපි රටට උදා කරනවා. මෛත්‍රීපාල මහතාට ඒ සඳහා සුදුසුකම් තිබෙනවා. එතුමාට ලාංකීය දැක්‌මක්‌ තිබෙනවා. ඒ විතරක්‌ නොවෙයි චීන මුහුණක්‌ නැති එතුමා ලාංකීය මොඩලයක්‌.

ඌව විපක්‍ෂ නායක හරීන් ප්‍රනාන්දු මහතා -

මේ රටට අද මෛත්‍රියක්‌ අවශ්‍යයි. වෛරී පාලනය නිමා කිරීමට ඒ මෛත්‍රියට හැකි වේවි. මහින්ද රාජපක්‍ෂ මහතාගේ වෙලාව මේ දවස්‌වල බොහොම නරකයි. ඌවෙන් මුලින්ම බය වුණා. ඊට පස්‌සෙ සෙනසුරු මාරුවට බය වුණා. ඡන්දයකට ආවා. ලේකම් ප්‍රතිවාදියා වුණා. හිතපු ප්‍රතිවාදියා රනිල් නොවෙයි ඡන්දයට ආවේ. රනිල්ට විරුද්ධව රුපියල් මිලියන 500 ක්‌ වියදම් කර මඩ පෝස්‌ටර් ගැහැව්වා. බටලන්ද ගැන චිත්‍රපට හැදුවා. ඒත් රනිල් වික්‍රමසිංහ මහතා තම ටිකිරි මොළය පාවිච්චි කර මෛත්‍රීපාල මහතාව පොදු අපේක්‍ෂක කළා. මේ වතාවේ මහින්ද පරාදයි.

ජනාධිපතිතුමාගේ පුංචි පුරුද්දක්‌ තිබෙනවා. විපක්‍ෂයේ මන්ත්‍රීවරුන්ට උපන් දිනයට සුබපතලා ඒ අයව බිලි බා ගන්න පුරුද්දක්‌. මගේ උපන් දිනය දවසෙත් කතා කළා. මගේ ෆොaන් එකට 6.30 ට ගත්තා. 7.30 ට ගත්තා. මම ෆොaන් එක ඉස්‌සුවේ නැහැ. පස්‌සේ මෙන්න මගේ නෝනගේ ෆොaන් එකට කතා කරලා සුබ පැතුවා. ජනාධිපතිවරණයට කවුද ඇහුවා විපක්‍ෂයෙන් ඉදිරිපත් වෙන්නේ. කවුරුවත් ඕනෑ නැහැ රනිල්වම දාන්න කිව්වා. එහෙම තමයි විපක්‍ෂයට එරෙහිව කුමන්ත්‍රණ කරන්නේ. විපක්‍ෂය දෙකඩ කළා.

අපේ පක්‍ෂයෙන් තිස්‌ස අත්තනායක ඒ පැත්තට ගියා. හරියට කටේ නරක්‌ වෙච්ච දතක්‌ ගැලෙව්වා වගෙයි. ඒ වගේ අය මේ පක්‍ෂයෙන් ගිය එක ලොකු දෙයක්‌. එජාපයට සියයට 45 ක ඡන්ද පදනමක්‌ තිබෙනවා. මෛත්‍රීපාල මහතාගේ වේදිකාවේ ශ්‍රී ල.නි.ප. යෙන් භාගයකුත් තවත් පක්‍ෂ කිහිපයක නියෝජිතයොත් ඉන්නවා. ඒ නිසා මේ වතාවේ අපි ජය ගන්නවා. ඡන්දය නොඉල්ලාම අපේ නායක රනිල් වික්‍රමසිංහ ලබන 09 වැනිදා මේ රටේ අගමැති වෙනවා. මහින්ද රාජපක්‍ෂ මහතාට දූෂණ ගැන සීමාවක්‌ නැහැ. රාජපක්‍ෂ නම ඇති 22 දෙනෙක්‌ මේ රට සූරාගෙන කනවා. ඒ වාසගම නැති එහෙත් තවත් ඥතීන් පිරිසකුත් ඒ විදිහටම රට සූරා ගෙන කනවා. එතුමාට මේ රට භාර දුන්නොත් තවත් අවුරුදු 8 කට මේ රට ජනතාවට ලැබෙන්නේ නැහැ.

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා -

මහින්ද රාජපක්‍ෂ මහතා තනි බොරුවක්‌ මේ රටේ ගෙන යනවා. හැමතැනම බොරුව රජකරනවා. මහින්ද චින්තනයෙත් තිබෙන්නේ ඒ බොරුවමයි. මෙවර මහින්ද චින්තනයේ ඉංග්‍රීසි පිටපතයි සිංහල පිටපතයි එකිනෙකට වෙනස්‌. එහි සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන බව සිංහල පිටපතේ දැක්‌වෙනවා. ඒත් ඉංග්‍රීසි පිටපතේ එහෙම දෙයක්‌ නැහැ. ජනතාවට සිංහල පිටපත බෙදලා, බොරු දේශප්‍රේමීත්වයක්‌, ආදරයක්‌ පෙන්නනවා. ඒත් ඉංග්‍රීසි පිටපතට සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තිය ගැන වචනයක්‌ වත් නොකියා ඖෂධ සමාගම්වලට එය බෙදනවා. ජනතාව සහ ඖෂධ සමාගම් යන දෙකම රවටනවා. හැබැයි අන්තිමට රැවටෙන්නේ අහිංසක ජනතාව.

අද ආණ්‌ඩුව ජනතාවගෙන් අති විශාල ලෙස බදු ගන්නවා. ලෙඩට දුකට බොන කොත්තමල්ලි පැකට්‌ එකේ සිට හැම භාණ්‌ඩයකින්ම අසීමිත ලෙස බදු ගන්නවා. පෙට්‍රල් ලීටරයකින් භාගයට භාගයක්‌ බදු ගහනවා. රුපියල් 30 ක්‌ බදු ලෙස තබා ගෙන රුපියල් 100 ට පෙට්‍රල් ලීටරයක්‌ දෙන්න පුළුවන්. ඒත් ආණ්‌ඩුව එහෙම කරන්නේ නැහැ. කිරිපිටි පැකට්‌ටුවකින්, ඩීසල් ලීටරයකින්, රජය නොසෑහෙන්න බදු ගහනවා. මේ ආණ්‌ඩුව ජනතාව ගැන හිතන්නේ නැහැ. ජනතාව මත බදු ගසා ජනතාවගෙන් යෑපෙන ආණ්‌ඩුවක්‌ බවට මේ ආණ්‌ඩුව පත්වෙලා.

මේ අසාධාරණ බදු ක්‍රමය යහපත්, ප්‍රජාතන්ත්‍රවාදී රටක ලක්‍ෂණ නොවේ. මෙහෙම ජනතාවගෙන් අසීමිත ලෙස බදු ගන්න ආණ්‌ඩුවලට එතරම් ආයුෂ නැහැ. අපේ ආණ්‌ඩුවක්‌ යටතේ ජනතාවගේ මේ අංක බදු බර තුරන් කරනවා. ජනතාවට සහන දෙනවා. ඒවා කිරීමට අපි සල්ලි හොයා ගත්තේ මේ ආණ්‌ඩුව කරන හොරකම් නතර කරලයි. ආණ්‌ඩුව අධික පොලියට විදේශ රටවල්වලින් ණය ගන්නවා. ඒ ණය පොලිsය අප වගේ රටකට දරා ගන්න බැහැ. මෙහෙම ගියොත් රට කඩා වැටෙනවා. රට අස්‌ථාවර වෙනවා. මේ රට ස්‌ථාවර කර ආර්ථිකය ශක්‌තිමත් කිරීමට අපි කටයුතු කරනවා.

එජාප ප්‍රධාන සංවිධායක දයා ගමගේ

2015 අවුරුද්ද කොළ පාට නිල්පාට පක්‍ෂ එකතු වෙලා විශාල ජයග්‍රහණයක්‌ ලබනවා. මෛත්‍රීපාල සිරිසේන මහතා මේ රටේ ජනාධිපති වෙන්නට පෙර තමයි අපි නැගෙනහිර පළාත් සභාවේ බලය අල්ලා ගත්තේ. ජනවාරි 12 වැනිදාට නැගෙනහිර පළාත් සභාවට අලුත් මහ ඇමැති කෙනෙක්‌ පත්වෙනවා. මේ රටේ සියලුම පොලිස්‌ නිලධාරීන්ට ගෞරවනීය විදියට ඉන්න පුළුවන් යුගයක්‌ බිහිකරනවා.

මුස්‌ලිම් කොංග්‍රස්‌ නායක රාවුෆa හකීම්

මේ රජය ස්‌ථාවර ආණ්‌ඩුවක්‌ නොවේ. අස්‌ථාවර ආණ්‌ඩුවක්‌. රටටම ව්‍යසනයක්‌ වෙලා තියෙන මේ ආණ්‌ඩුව අපි ඔක්‌කොම එකතුවෙලා ගෙදර යවන්න ඕනෙ. මම කවදාවත් මුස්‌ලිම් කලාපයක්‌ ඉල්ලලා නැහැ. සිංහල, දෙමළ, මුස්‌ලිම් ජාතීන් තුනම ජීවත්වෙන රටක සහෝදරයන් මෙන් එකට සිටියොත් මේ රට දියුණු කරන්න පුළුවන්.

උතුරු මැද හිටපු මහ ඇමැති පේෂල ජයරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රිනී අනෝමා ගමගේ, දිගාමඩුල්ල හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ නැගෙනහිර පළාත් සභා මන්ත්‍රී චන්ද්‍රදාස ගලප්පත්ති, නැගෙනහිර පළාත් සභා මන්ත්‍රී මංජුල නිශාන්ත, ප්‍රාදේශීය සභා විපක්‍ෂ නායක තිලක්‌ කාරියවසම්, ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඩග්ලස්‌ ගජනායක, චතුරංග ප්‍රදීප් යන මහත්වරුද අදහස්‌ දැක්‌වූහ.

No comments:

Post a Comment