Dec 25, 2014

25 Dec 2014
මෛත්‍රීගේ රැස්‌වීමට කොලොන්නාවේ
පිටිය සරසද්දී පාතාලයෙන් පැන වෙඩි තබති
ජනාධිපති අපේක්‍ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොලොන්නාව උමගිලිය ක්‍රීඩාංගණයේ ඊයේ (24 වැනිදා) සවස පැවැත්වීමට නියමිතව තිබූ රැස්‌වීම සඳහා සැරසිලි කරමින් සිටි පිරිස අතරට කඩා වැදී ඇති පාතාල කණ්‌ඩායමක්‌ ටී 56 ගිනි අවි යොදාගෙන හතර අතට වෙඩි තබා මුළු ප්‍රදේශයම භීතියට පත්කර පලා ගොස්‌ ඇත.මෙම වෙඩි තැබීම සිදු කර ඇත්තේ ඊයේ
(24 වැනිදා) අලුයම 1.00 ට පමණය. වෙඩි තැබීමෙන් කිසිවකුටත් හානි සිදුවී නැති අතර මෛත්‍රිපාල සිරිසේන මහතා ජනතාව ඇමතීමට නියමිතව තිබූ වේදිකාවට වෙඩි ප්‍රහාර කීපයක්‌ එල්ල වී ඇත.

මෙම වේදිකාවට සහ ප්‍රදේශයේ ආරක්‍ෂාවට පොලිස්‌ නිලධාරීන් යොදවා සිටියදීත් මේ ආකාරයට පාතාල කණ්‌ඩායම් පැමිණ වෙඩි තැබීම් සිදු කර නිරුපද්‍රිතව පලා යැම පිළිබඳව ප්‍රදේශවාසීහු දැඩි අප්‍රසාදය පළ කර සිටිති.
මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබූ රැස්‌වීම සඳහා කොලොන්නාවේ විශාල පිරිසක්‌ පෙරේදා රාත්‍රි කාලයේ සිට උමගිලිය ක්‍රීඩාංගණයේ සැරසිලි කරමින් සිට ඇත.
ඒ අවස්‌ථාවේ කළු පැහැති ජීප් රථ දෙකකින් සහ වෑන් රථයකින් පැමිණ ඇති විසිදෙනකුගෙන් පමණ සමන්විත පාතාල කණ්‌ඩායමක්‌ හතර අතට වෙඩි තබා තිබේ.
සිද්ධිය වූ ස්‌ථානයේ වැටී තිබී ටී 56 හිස්‌ පතරොම් උණ්‌ඩ 18ක්‌ පොලිසිය මගින් සොයා ගෙන ඇත.
කොන්නාව, ප්‍රදේශයේ එක්‌තරා දේශපාලනඥයකු සමග සිටින දෙමටගොඩ පාතාල කල්ලියක නායකයා ඇතුළු සගයන් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලිස්‌ පරීක්‍ෂණවලින් හෙළි වී තිබේ. ඊයේ සවස්‌ වනතුරුත් මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් කිසිවකු අත්අඩංගුවට ගෙන නොතිබිණි.වැල්ලම්පිටිය පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වා ගෙන යයි.

http://www.divaina.com/2014/12/25/news03.html

No comments:

Post a Comment