Dec 17, 2014

17 Dec 2014

කෝපි බීලා ආප්ප කාල තමයි අපි ජනාධිපතිගෙ කණෙන් රිංගුවෙ - රනිල්

ranil ms 1' මට කෝපි කෝප්පයක් දී ඔහුගේ පැත්තට මාව අරගන්න පුළුවන් යැයි කියා මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා පවසා තිබෙනවා. මම එතුමා සමග ගොස් කෝපි බිව්ව එක ඇත්ත. මම කෝපි බොන විට ජනාධිපතිවරයා හිතුවේ මමයි පොදු අපේක්‍ෂකවරයා කියා. නමුත් ජනාධිපතිවරයා දන්නේ නැතුවම ඔහු සමග ආප්ප කෑ පුද්ගලයා පොදු අපේක්‍ෂකයා වශයෙන් අප පත් කළා. එදා පටන් ජනාධිපතිවරයා කෝපි දෙන්නෙත් නැහැ ආප්ප දෙන්නෙත් නැහැ“ යි එජාප ජාතික නායක සහ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ කුරුණෑගල උඩවල්පොළ ක්‍රීඩාංගනයේදී පැවැති පොදු අපේක්ෂක ප්‍රචාරක රැළියේදී ප්‍රකාශ කෙළේය.
රනිල් වික්‍රමසිංහ මහතා එහිදී කළ සම්පූර්ණ කතාව මෙසේය.
එක්සත් ජාතික පක්‍ෂය සහ කුරුණෑගල ජනතාව අතර විශාල සම්බන්ධකමක් තිබෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා කුරුණෑගල ජනතාව අතර විශාල සම්බන්ධකමක් තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම්වරයා පොදු අපේක්‍ෂකයා වශයෙන් ඉදිරිපත් වුණාම මේ කණ්ඩායම් දෙක එක් වූ විට කුරුණෑගල නගරය හා කොට්ඨාසය දිනා ගැනීම අමාරු කාර්යක් නොවේ.
දන්සල වසා දමනවා :
අපි ජනවාරි 08 වැනිදා පටන් අරලියගහ මන්දිරයේ දෙන දන්සල වසා දැමීමට පියවර ගන්නවා. එමෙන්ම ජනතාව දුක් විඳින යුගය අවසන් කර ජනතාවට සහන ලබා දෙන බවටත් මා මේ අවස්ථාවේදී ප්‍රකාශ කර සිටිනවා.


පසුගිය අවුරුදු 6 ක කාලයක් තිසේසේ මේ රටේ ජනතාව විශාල වශයෙන් දුක් විඳිනවා. යුද්ධ කාලයේදීවත් ජනතාව මෙතරම් දුක් වින්දේ නැහැ. ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා, ප්‍රේමදාස මහතා, විජේතුංග මහතා, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඇතුළු මා යුද්ධ කාලයේදී ද ජනතාවට සහන ලබාදීමට පියවර ගත්තා. එමෙන්ම රැකියා විශාල සංඛ්‍යාවක් ඇති කළා. අධ්‍යාපනයට ද විශාල මුදල් වෙන් කළා.
යුද්ධය අවසන් වූ පසු ජනතාවට සහන ලබා දෙනවා කියා පොරොන්දු වී ජනතාවට පටි තද කර ගන්නා මෙන් මහින්ද රාජපක්‍ෂ මහතා එදා ජනතාව ඉදිරියේදී කියා සිටියා. එමෙන්ම 2010 වසරේ ජනතාව ඉදිරියට පැමිණ රට සංවර්ධනය කරන්න තමාට වරමක් දෙන්නැයි නැවත ඉල්ලා සිටියා. එනම් අද ඇති වී තිබෙන සංවර්ධනය කුමක් ද? අද ජනතාව දන්නවා ජීවන වියදම කොයිතරම් ඉහළ ගොස් තිබෙනවා ද යන්න. ජනතාව ජීවත් වෙන්නේ ඉතාමත් අමාරුවෙන්. ආදායමට වඩා වියදම් ඉහළ ගොස් තිබෙනවා. එදිනෙදා වියදමට මුහුණ දෙනවා නම් එක් කෑම වේලක් අඩු කිරීමට සිදුව තිබෙනවා. මස්, මාළු, බිත්තර යනාදී භාණ්ඩ ලබා ගැනීමට ද අද ජනතාව අත මුදල් නැහැ.
කීදෙනෙක් අද හාමතේ ද ?
කීදෙනෙක් අද හාමතේ සිටිනවා ද යන්න මහින්ද රාජපක්‍ෂ මහතා දන්නේ නැහැ. එමෙන්ම පාසල් දරුවන් කොපමණ පිරිසක් උදේ ආහාර නොමැතිව පාසලට යනවා ද යන්න ඔවුන් දන්නේ නැහැ. දරුවන් වෙනුවෙන් එක් කෑම වේලක් අත්හරින දෙමව්පියන් කොපමණ සිටිනවා ද යන්න ඔවුන් දන්නේ නැහැ.
වතුර බිල හා විදුලි බිල ගෙව්වායින් පසු අතේ ඉතිරියක් ඇත්තේ නැහැ. බිම් මට්ටමේ ජනතාව කොයිතරම් ණය වී සිටිනවාද? තමන්ගේ රත්තරං භාණ්ඩ උකස් කර ඒවා බේරා ගැනීමට නොහැකිව දුක් විඳිනවා. ලංකා බැංකු, මහජන බැංකු ඇතුළු උකස් මධ්‍යස්ථානවල ඕනෑ තරම් රත්තරං අද තිබෙනවා. එම භාණ්ඩ බේරා ගැනීමට හෝ බේරා ගෙන නැවත විකිණීමටවත් මුදල් ඇත්තේ නැහැ. ක්‍රෙඩිට් කාඩ් ලබා ගෙන ඒ සඳහා ද මුදල් ගෙවීමට නොහැකි වී තිබෙනවා. ඇතැම් තරුණ තරුණියන්ට තමන්ගේ ජංගම දුරකථනයේ බිල ගෙවා ගැනීමට නොහැකි වෙලා. ඒ වගේම කඩ සාප්පුවල අලෙවිය අඩු වෙලා. ජනතාවගේ අතේ මුදල් නොමැතිව ඔවුන්ට දුක් විඳීමට සිදුව තිබෙනවා.
http://sinhala.lankanewsweb.net/news/14916-2014-12-16-09-13-32

සියලූ දෙනාටම දුක් විදීමට සිදුවෙලා ;
එදා යුද කාලයේ වන්නියේ ජීවත වූ මිනිසුන් දුක් වින්දා වගේම අද රටේ සියලූ දෙනාටම දුක් විදීමට සිදුවෙලා. නමුත් මේ තත්ත්වය මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාට වැටහිලා නැහැ. ඔහුට මේ තත්ත්වය තේරෙන්නේ නැහැ. හරීන් ප්‍රනාන්දු මහතාට සහ මෛත්‍රීපාල සිරිසේන මහතා ස්තූතිවන්ත වෙන්න අද විදුලි බිල සහ ඉන්ධන මිල ටිකක් හෝ අඩු වී තිබෙනවා. මෙම මිල ගණන් තවත් අඩු කර ජනතාවට සහන ලබාදීමට හැකියාව තිබෙන නමුත් එම සහන ලබා නොදී මේ පාලනය ගෙන යනවා.
අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම කඩාකප්පල් වී අද නිදහස් අධ්‍යාපනය ඇත්තේ නැහැ. රජයේ පාසලකට ගියත්, ජාත්‍යන්තර පාසලකට ගියත් මුදල් ගෙවීමට සිදු වෙලා. උපකාරක පන්තිවලටත්, ක්‍රීඩා සඳහාත් මුදල් ගෙවිය යුතුයි. මේ අනුව දූ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් සහ ආහාර සඳහා මුදල් වියදම් කළ විට අතේ මුදල් ඉතුරු වන්නේ නැහැ. උපාධිය ලබා විශ්ව විද්‍යාලයෙන් පිටවන තරුණ තරුණියන්ට අද සුදුසු රැකියා ඇත්තේ නැහැ. මේ ප්‍රශ්න මහින්ද රාජපක්‍ෂට තේරෙන්නේ නැහැ.
ලෙඩක් දුකක් හැදී රෝහලකට ගියත් බෙහෙත් ඇත්තේ නැහැ. රෝගියාට සිදුවන්නේ පිටින් බෙහෙත් රැගෙන ඒමටයි. ගොවිතැන් කිරීමෙන් නිසි ආදායමක් ලැබෙනවාද? පොල් වගාවෙන් ජීවත් වීමට සරිලන ආදායමක් ලැබෙනවාද? ස්වයං රැකියාවක් කිරීමට හෝ හැකියාවක් ඇත්තේ නැහැ. මේ තරුණ තරුණියන්ට රැකියා ඇත්තේ නැහැ.
විදේශ රැකියා පුවරු වලට සීමාවෙලා :
මාසයකට රුපියල් ලක්‍ෂයක් ඉපැයිය හැකි විදේශ රැකියා තිබෙන බවට පුවරු සවිකර තිබෙන අයුරු කුරුණෑගලට එන විට මා දුටුවා. නමුත් එම රැකියාවලට යාමටත් රුපියල් ලක්‍ෂ 4 – 5 ක් ගෙවීමට සිදු වෙනවා. ශ්‍රී ලංකාවේ රුපියල් 40,000 ක් 50,000 ක් ඉපයිය හැකි රැකියා ඇත්තේ නැහැ. යුද්ධයෙන් පසුව තරුණ තරුණියන්ට රැකියා බිහි වුණේ නැහැ. මේ තරුණයන්ට සිදුව තිබෙන්නේ මාර්ග ඉදිකිරීම් සඳහා රැකියාවට යාමටයි. නමුත් එය ස්ථිර රැකියාවක් නොවෙයි. කරදරයකින් තොරව ජීවත් වීම සඳහා අඩුම වශයෙන් රුපියල් 40,000 ක් ඉපයිය හැකි රැකියා තිබෙන කර්මාන්තශාලා තිබෙනවාද? අද තරුණ තරුණියන්ට සිදුව තිබෙන්නේ දෙමාපියන්ගේ මුදල්වලින් ජීවත් වීමටයි. මේ ප්‍රශ්න නොතේරෙන ජනාධිපතිවරයෙක් අද ප්‍රජාතන්ත්‍රවාදී ලෝකයේ සම්ප්‍රදාය සහ නීති කඩ කරමින් තුන් වැනි වතාවටත් බලය ඉල්ලනවා.
අමෙරිකාවේ ජනාධිපතිවරයෙකු වූ ජෝර්ජ් බුෂ් මහතා කියා සිටියේ විධායක ජනාධිපති ධූරය දෙවතාවක් දැරීම හොඳටම ප්‍රමාණවත් බවයි. ප්‍රංශයේ ජනාධිපති ධූරය දැරීය හැකි වාර ගණන දෙකකට සීමා කරමින් චාල්ස් ඩිගෝල් ජනාධිපතිවරයා නීති ගෙන ආවා. ශ්‍රී ලංකාවේ ජනාධිපති ධූරය ඇති කරද්දී ජේආර් ජයවර්ධන ජනාධිපතිතුමා කියා සිටියේ කවුරුන් හෝ තුන් වැනි වතාවටත් ජනාධිපති පුටුවේ වාඩි වුණොත් ඔහු එයින් නොගැටින බවයි. එම නිසා තමා තුන් වැනි වතාවට තරග නොකරන බවත්, තමාට එවැනි වුවමනාවක් නොමැති බවත් ජේආර් ජයවර්ධන ජනාධිපතිතුමා මා සමග කියා සිටියා. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිවරියත් කටයුතු කළේ ඒ අනුවයි.
තමන්ගේ පවුල ගැන පමණක් සිතමින් :
ජනතාවට ලබා දුන් පොරොන්දු ඉටු නොකර විධායක ජනාධිපති ධූරයට තිබූ සීමා කඩා දමා නැවතත් එම ධූරයට පත්වන්නේ ජනතාව වෙනුවෙන් නොවෙයි. තෙවැනි වතාවටත් ජනාධිපති ධූරයට පත්වීමට උත්සාහ කරන්නේ තමන් ගැනත්, තමන්ගේ පවුලත්, රාජපක්‍ෂ රෙජීමය ගැනත් පමණක් සිතමිනුයි. පසුගිය වසර හය තුළ යම් වාසියක් ලැබුණා නම් ඒ වාසිය ලැබුණේ රාජපක්‍ෂ රෙජීමයටයි.
අද ජනාධිපතිවරයා වෙනුවෙන් අලවා තිබෙන පෝස්ටර් සහ කටවුට් වෙනුවෙන් කොපමණ මුදලක් වියදම් කර තිබෙනවාද? ඒ එක් කටවුට් එකකට පමණක් රුපියල් ලක්‍ෂ 4 – 5 ක් පමණ වියදම් වෙනවා. මේ මුදල් ලැබුණේ කෙසේද? ඒ මුදල් හම්බ කර ගත්තේ කෙසේද? මේ ප්‍රශ්න සඳහා වහාම පිළිතුරු ලබාදිය යුතුයි.
මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා පරාජය කර ඒකාධිපතිවාදයට යන ගමන නැවැත්වීමටත්, රාජපක්‍ෂ රෙජීමයේ උඩ සිට පහළටම සිදුවන දූෂණය නැවැත්වීමටත්, ජනතාව වෙත පටවා තිබෙන බර නැවැත්වීමටත් අප සියලූ දෙනා එකතු වී පොදු අපේක්‍ෂකයෙකු ඉදිරිපත් කළා. ඒ පොදු අපේක්‍ෂකයා ලෙස අප ඉදිරිපත් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේම මහ ලේකම් මෛත්‍රීපාල සිරිසේන මහතාවයි. අප එසේ කළේ එක්සත් ජාතික පක්‍ෂයත්, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයත් එකට එකතු වී ඉදිරියට යාමට හැකි වන නිසයි. මේ සැලසුම පිළිබඳව මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා හෝ දැනගෙන සිටියේ නැහැ. බ්‍රහස්පතින්දා රාත්‍රි 8 ට පමණ තමන්ගේ මහලේකම්තුමා තබා ගෙන ආප්ප කමින් කියා සිටියේ ජනාධිපතිවරණය සඳහා පොදු අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත්වන්නේ රනිල් වික්‍රමසිංහ බවයි. ඊට පසු දා සවස 3 පමණ වන විට තමා පොදු අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් වන බව මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටියා. එවිට මා කියා සිටියේ ඔබතුමා පැමිණෙනවා නම් අප සියලූ දෙනා ඒ සඳහා සහයෝගය ලබාදීමට සූදානම් බවයි.
අපට අවශ්‍ය වුණේ වෙනසක් :
අපට අවශ්‍ය වුණේ වෙනසක් ඇති කර ජනතාව දුකින් මුදවා ගැනීමයි. තනතුරු වෙනුවෙන් ගහ ගැනීමට අපට අවශ්‍ය වුණේ නැහැ. මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරයා ලෙස පත්වී ජනාධිපති ධූරය අහෝසි කිරීමෙන් පසු පවත්වන පාර්ලිමේන්තු මැතිවරණයට අප ඉදිරිපත් වනවා.
අප, මේ යන ගමන නවත්වා තරුණ තරුණියන්ට හොඳ අනාගතයක් ලබාදිය යුතු අතරම ජනතාව ජීවත් කරවිය යුතුයි. මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් කළේ ඒ සඳහායි. ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අපේක්‍ෂකයායි. එතුමා එක්සත් ජාතික පක්‍ෂයට එකතු නොවූ අතර එසේ එකතු නොවන බව ද කියා සිටියා. එතුමා එක්සත් ජාතික පක්‍ෂයට එකතු විය යුතු නැති බවත්, අවශ්‍ය වන්නේ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාව පරාජය කිරීම බවත් මා කියා සිටියා. එතුමා බලයට පත්වූ පසු අප සියලූ දෙනාට එකතු වී කටයුතු කළ හැකියි. ඒ සඳහා මෛත්‍රීපාල සිරිසේන මහතා තමගේ අමාත්‍යාංශයත් කැප කළ අතර අපත් එක්සත් ජාතික පක්‍ෂය ලෙස කැපකිරීමක් කරමින් සියලූ දෙනා එකතු එකතු වුණා. අප සියලූ දෙනා මෙසේ එකතු වූයේ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා පරාජයට කිරීමට පමණක් නොවන අතර ඉන් අනතුරුව රටේ අලූත් ක්‍රමයක් ඇති කිරීමටයි. ජනාධිපතිවරණයෙන් පසු දින 100 ක් ඇතුළත එම ක්‍රමය ඇති කිරීම අප ආරම්භ කරනවා.
පළමුව ජනතාවගේ අතේ තිබෙන මුදල් ප්‍රමාණය වැඩි කළ යුතුයි. ඒ සඳහා රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කළ යුතුයි. එවිට පෞද්ගලික අංශයේ සේවකයනගේ මෙන්ම වැවිලි කර්මාන්තයේ නියුතු ජනතාවගේ ද වැටුප් වැඩි වනවා. එම මූලික කටයුතු සිංහල අලූත් අවුරුද්දට ප්‍රථම සිදු කිරීම අපේ අරමුණයි.
මගේ ඉලක්කය :
මගේ ඉලක්කය වන්නේ සියලූ දෙනාගේම වැටුප් රුපියල් 10,000 කින් වැඩි කිරීමයි. අයවැය කතාව ඉදිරිපත් කරමින් මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා කියා සිටියේ රුපියල් 15,000 කින් වැටුප් වැඩි කළ බවයි. නමුත් ලැබෙන සියලූ දීමනා එකතු කළ විට වැඩි වූ මුදල ලෙස අතට ලැබෙන්නේ රුපියල් 2900 ක් පමණයි. එම වැටුප් වැඩි කිරීමට පෙර මසකට රුපියල් 3000 ක් ලබා දෙන බව ද ජනාධිපතිවරයා කියා සිටියා. ඒ අනුව වැඩිපුර ලැබෙන රුපියල් 2900 ට වඩා මුලින් රුපියල් 100 ක් වැඩියෙන් ලබා දී තිබෙනවා.
අපගේ සැලසුම වන්නේ සිංහල අලූත් අවුරුද්ට පෙර අන්තර් දීමනාව ලෙස රුපියල් 5000 ක මුදලක් අතට ලබාදීමයි. ඊට පසු අයවැයෙන් ලබාදී තිබෙන වැටුප් වැඩි කිරීම ද සැලකිල්ලට ගෙන ඒ මුදල සමග හිඟ මුදල් ද සමග තුන් වන අදියරේ දී ලබා දෙනවා.
රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කළ විට සංස්ථා සහ සමාගම්වල සේවකයින්ගේ ද වැටුප් වැඩි කරනවා. ඒ වගේම සේවකයින්ගේ බෝනස් ද වැඩි කෙරෙනු ඇති. ජනතාව අතට මුදල් ලැබෙන විට වෙළෙඳ ව්‍යාපාරිකයන්ගේ අලෙවිය ඉහළ ගොස් ඔවුන්ගේ ද ආදායම ඉහළ යනවා. ඊට අමතරව තවත් කෙටිකාලීනව පියවර කිහිපයක් ලබා ගන්නවා. ඒ පිළිබඳව අපේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් දැනගැනීමට පුලූවන්...
ගොවීන්ට සහ කෘෂිකාර්මික අංශයේ නියුතු වූවන්ට මෙන්ම අනෙකුත් අංශවල සියලූ දෙනාට සහන ලබාදීම දින 100 ක් වැනි කෙටි කාලයක් තුල අප සිදු කරනවා. අපේ අනෙක් ඉලක්කය වන්නේ තරුණ තරුණියන්ගේ රැකියා ප්‍රශ්නය විසඳීමයි. ඒ අනුව වසර පහක් තුළ රැකියා ලක්‍ෂ 10 ක් ඇති කිරීම අපේ බලාපොරොත්තුවයි. ඒ සඳහා දේශීය මෙන්ම විදේශීය ආයෝජකයන් අවශ්‍යයි. විශේෂයෙන්ම විදේශ ආයෝජකයින් සමග නව දැනුම, හැකියාව, කළමනාකරණය මෙන්ම විදේශ වෙළෙඳ පොළ ද අපට අවශ්‍යයි. අපට අවශ්‍ය වන්නේ අඩු වැටුප් ලබා දෙන රැකියා නොවෙයි. අඩුම වශයෙන් මසකට රුපියල් 40,000 – 50,000 ක වැටුපක් ලබා ගත හැකි රැකියා ඇති කළ යුතුයි.
මූලිකව 30,000 සිට රුපියල් 75,000 ක් දක්වා වැටුප් ලබා ගත හැකි රැකියා ඇති කරනවා. පුහුණුව හා දක්‍ෂතාව අනුව මෙන්ම ශිල්පීය දක්‍ෂතාව තිබෙන අයට රැකියා ලබාදෙන ලබා දෙන වැඩසටහන් හා ශ්‍රමිකයින් පුහුණු කරන වැඩසටහන් ආරම්භ කරනවා. ජංගම දුරකථනවලට අමතර කොටස් නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය තාක්‍ෂණික දැනුම ලබාදිය යුතුයි. ඒ සඳහා අපේ ආණ්ඩුව යටතේ සහන ලබාදීමට ද පියවර ගන්නා අතර නව කර්මාන්ත ශාලා දහස් ගණනක් ඇති කිරීමට ද පියවර ගන්නවා.
1977 ජේ.ආර්. ජයවර්ධන මහතාගේ කාලයේ කර්මාන්ත ශාලා ඇති කළ අතර සිරිල් මැතිතුමාගෙන් පසුව මම කර්මාන්ත ඇමැතිවරයා වශයෙන් කර්මාන්ත ශාලා ආරම්භ කළා. ඒ අනුව බියගම වෙළෙඳ කලාපය ද ඇති කළා. රණසිංහ පේ‍ර්මදාස මහතාගේ කාලයේ කොග්ගල නිදහස් වෙළෙඳ කලාපය ඇති කළ අතර ඇඟළුම් කර්මාන්ත ශාලා 200 ක් ද ඇති කළා. ඩී.බී. විජේතුංග ජනාධිපතිතුමා යටතේ පල්ලෙකැලේ වෙළෙඳ කලාපය ඇති කළා. ඊට අමතරව සීතාවක ද වෙළෙඳ කලාපයක් ඇති කළා. ගාමිණී ජයවික්‍රම මහතාගේ මූලිකත්වයෙන් මාකදුර වෙළෙඳ කලාපයක් ඇති කළා. නෙස්ලේ කර්මාන්ත ශාලාව ද, සෙරන්ඩිබ් කර්මාන්ත ශාලාව ද ඇති කළේ එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව කාලයේයි. මෙවැනි කර්මාන්ත ශාලා දහස් ගණනක් ඇති කළේ එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩු කාලයේයි.
තරුණයන්ට හොඳ අනාගතයක් :
දැනුම ලබා ගන්නා අංශ අද ගණනාවක් තිබෙනවා. ඒ මාර්ගයෙන් ගොස් රැකියා ඇති කර තරුණයන්ට හොඳ අනාගතයක් උදා කර දීම අපේ අරමුණයි. කිසිවෙකුට බරක් නොවී තමන්ගේ අතේ තිබෙන මුදලින් ජීවත් විය හැකි මාර්ගයක් ඇති කළ යුතුයි. යහලූවන් සමග විනෝද වීමට, විවාහ වීමට, තමන්ගේ වැඩ කටයුතු තමන් විසින්ම කර ගත හැකි යුගයක් ඇති කළ යුතුයි. මේ වැඩකටයුතු කරන අතරතුර කෘෂි කර්මාන්තය ද නවීකරණය කළ යුතුයි. ස්වයං රැකියා බිහි කර අනෙක් අංශ ද වැඩි දියුණු කළ යුතුයි. විශාලම සටන වනුයේ ඉදිරි වසර පහ තුළ රැකියා ලක්‍ෂ 10 ක් බිහි කිරීමයි. කුඩු හා කැසිනෝ යුගය අවසන් කර, කර්මාන්ත ශාලා ඇති කර ඉදිරියට යාමේ වැඩපිළිවෙළ ආරම්භ කරනවා.
යුද්ධයට කැපවූ ඔබ සියලූ දෙනාටම යහතින් ජීවත් වීමේ අයිතියක් තිබෙනවා. ඒ අයිතිය ලබා ගැනීමට ද ඔබට අයිතියක් තිබෙනවා. එදා හමුදාවට බැදෙන්නැයි කියා තරුණයන්ට ආරාධනා කළා. මෙම ප්‍රදේශවල දහස් ගණන් තරුණයන් හමුදාවට බැදී යුද්ධය අවසන් කිරීම සඳහා ඔවුන්ගේ දායකත්වය ලබා දුන්නා. නමුත් අද යුද්ධය ජය ගත්තේ එක් පුද්ගලයෙක් පමණක් බව පවසනවා. ඒ අනුව ඔවුන් කියන්නේ යුද්ධය ජයගත්තේ මහින්ද රාජපක්‍ෂ බවයි. මලියදේව විද්‍යාලයෙන් විශාල නිලධාරීන් පිරිසක් බිහි වුණ අතර මේ අනුව ආණ්ඩුව කියන්නේ එම නිලධාරීන් යුද්ධය ජයගත් නොගත් බව ද? මහින්ද රාජපක්‍ෂ දැක ප්‍රභාකරන් බියෙන් පලා ගිය බවත්, හමුදාව ගියේ ජනාධිපතිවරයාගේ පිටුපසින් බව ද පවසනවා.
රණවිරුවන්ගේ ඉරණම :
යුද්ධය ජයගත් රණවිරුවන්ට අද අත්වී තිබෙන ඉරණම කුමක්ද? ඔවුන්ව තණ කොළ කැපීමට, කාණු ශුද්ධ පවිත්‍ර කිරීමට සහ ගොඩනැගිලි තැනීමට යොදවා ගෙන තිබෙනවා. හමුදාවක් තිබෙනවා නම් ඔවුන්ට හිමි ගෞරවය ලබාදිය යුතුයි. මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති වූවායින් පසු රණවිරුවන් තණ කොළ කපන, කාණු ශුද්ධ පවිත්‍ර කරන යුගය අවසන් කර හමුදාවේ ගෞරවය හිමි කර දෙන යුගයක් ඇති කරන බවට පොරොන්දු වෙනවා. අපි 20 වැනි ශත වර්ෂයේ සිටි ත්‍රස්තවාදීන් සමග සටන් කළා. ලෝකයේ අනෙක් රටවල හමුදා 21 වැනි ශත වර්ෂයට ගැලපෙන අයුරින් සූදානම් වී සිටිනවා. අපේ රණවිරුවන් ද 21 වැනි ශතවර්ෂයට ගැලපෙන ආකාරයට සූදානම් කළ යුතුයි. අපේ ගුවන් හමුදාව සහ නාවුක හමුදාව ද ඒ ආකාරයට හැඩගැස්විය යුතුයි. හමුදාවේ සමහර නිලධාරීන් පවසන්නේ විදේශයන්ට ගොස් සේවය කිරීම සඳහා පුහුණුව ලබා දෙන ලෙසයි. ආබාධිත රණවිරුවන්ව අද සම්පූර්ණයෙන්ම අමතක කොට තිබෙන අතර ඔවුන්ට නිසි ලෙස සලකන්නේ නැහැ. එම අඩුපාඩු මඟහරවා ඉදිරියට යාම සඳහා අප වැඩසටහන් සකස් කරනවා.
ජාතික ආණ්ඩුවක් ඇති කර රට ඉදිරියට ගෙන යා යුතුයි. ඉන් අනතුරුව පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වා වැඩි ආසන ලබා ගන්නා පක්‍ෂයට අගමැති ධූරය ලබා දෙන අතර ඉන් අනතුරුව ජාතික ආණ්ඩුවක් ඇති කිරීම සඳහා එකඟතාවයකට යාමට පුලූවන්. සමහර අය එක්සත් ජාතික පාක්‍ෂිකයන්ට මෙයින් ඵලක් නොවන බව කියා සිටිනවා. නමුත් එවැනි හානියක් කිසිදු පාර්ශ්වයකට සිදු වන්නේ නැහැ. අප අහෝසි කිරීමට සූදානම් වන්නේ ජේ.ආර්. ජයවර්ධන මහතා ඇති කළ විධායක ජනාධිපති ක්‍රමය නොවෙයි. ඒ සඳහා සීමාවක් තිබුණා. බලතල සීමාවක් ද පැවතුණා. එමෙන්ම වාර දෙකක සීමාව ද බලපැවැත්වුණා. 17 වන ව්‍යවස්ථා සංශෝධනය ද බල පැවැත්වුණා. මේ සියල්ල අහෝසි කර පිහිටුවා ගත් රාජපක්‍ෂ ඒකාධිපති ධූරය ඉවත් කිරීමට අප සියලූ දෙනා අද ඒකරාශී වී සිටිනවා. එමෙන්ම පාර්ලිමේන්තුවට වගකියන පාලනයක් ස්ථාපිත කළ යුතුයි.
එජාපය පාවිච්චි කර පැත්තකට දමාවි ද ?
එක්සත් ජාතික පක්‍ෂය පාවිච්චි කර පැත්තකට දමාවි යැයි සමහරුන් මතයක් පතුරුවනවා. නමුත් එවැනි දෙයක් කිසිසේත් සිදු වන්නේ නැහැ. එක්සත් ජාතික පක්‍ෂයේ අපි ඡන්දය ඉල්ලා බහුතරය ලබා ගෙන අනෙක් පාර්ශ්වයන් ද ඒකරාශී කර ගනිමින් නව ආණ්ඩුවක් පිහිටුවනවා. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ රූකඩයක් වැනි මෛත්‍රීපාල සිරිසේන පොදු අපේක්‍ෂකයා ලෙස පත් කර මම බලය ලබා ගැනීමට උත්සාහ කරන බවට සමහර අය චෝදනා කරනවා. මට එසේ බලය ලබා ගැනීමට කිසිඳු අවශ්‍යතාවයක් නොමැති බව කිව යුතුයි. එවැනි අවශ්‍යතාවයක් තිබුණා නම් කෙලින්ම ජනාධිපතිවරණයට ඉදිරිපත් බලය ලබා ගැනීමට තිබුණා. අපට අවශ්‍ය වූයේ අපට බලය ලබා ගැනීමට වඩා සියලූ දෙනා ඒකරාශී කර ගැනීමයි. අපේ අරමුණ අවුරුදු දෙකක කාලයක් අප සියලූ දෙනාම එක්වී රටේ දැවෙන ප්‍රශ්න විසඳා ගැනීමට ප්‍රමුඛත්වය දීමයි.
දූෂණය හා පවුල්වාදය නොමැති පසුබිමක් ඇති කර පුද්ගලයන් මාරු වුව ද, ප්‍රතිපත්ති මාරු නොවන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර විදේශ ආයෝජකයන්ගේ සිත් දිනා ගැනීම අපේ පරමාර්ථයයි. සංවර්ධන වැඩ කටයුතු ඉදිරියට ගෙන යන අතර කොමිස් ගන්නා ක්‍රමය සහමුලින්ම නැති කර දමනවා.
අප සියලූ දෙනා එක වේදිකාවේ සිටින්නේ මෛත්‍රීපාල සිරිසේන මහතාට අනාගතයක් උදා කිරීමට හෝ මට අනාගතයක් උදා කර ගැනීමට නොව, රටේ ජනතාවට හොඳ අනාගතයක් උදා කිරීමටයි.''


No comments:

Post a Comment