Dec 17, 2014

17 DEC 2014
මවුබිමෙන් සහමුලින් අතුගා දැමුවත් පිටරට සිට
ක්‍රියාත්මක ත්‍රස්‌තවාදය පරාජය කිරීමේ සටන පවතිනවා

පානදුර, උඩුගම, කරන්දෙනිය ජනහමු අමතමින් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ කියයි

මාතෘ භූමියෙන් ත්‍රස්‌තවාදය සහමුලින් අතුගාදැමුවත් පිටරට ඉඳගෙන අපට එරෙහිව කෙරෙන ත්‍රස්‌තවාදය තවමත් අවසන්වී නැහැ. එම නිසා එය පරාජය කිරීමේ සටන අපට තවදුරටත් තිබෙන බව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවැසීය.

අපිට රට දියුණු කරන දර්ශනයක්‌ වැඩපිළිවෙළක්‌ තිබෙනවා, ගමන් මගක්‌ තිබෙනවා. මේ රට සංවර්ධනය කර රටේ මිනිසුන්ගේ ජීවන තත්ත්වය ගොඩනගන්න, දරුවන්ට සුරක්‍ෂිත හෙටදවසක්‌ උදාකිරීමේ වගකීම ඉටුකරන බවත් තමාට වෙන න්‍යායපත්‍රයක්‌ නැති බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.
පානදුර, දඬුගම, කරන්දෙනිය ප්‍රදේශවල පෙරේදා (15 වැනිදා
) පැවැති ජනහමුවලට සහභාගීවෙමින් ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේය.
පෙරේදා (15 දා) සන්ධ්‍යාකාලයේ පානදුර ප්‍රදේශයට ඇදහැළුණු ධාරානිපාත වැසි නොතකා විශාල සෙනඟක්‌ එහි රැස්‌ව සිටියහ.
ජනාධිපතිවරයා එම මහජන රැලිය අමතමින් මෙසේද කීවේය.
හවස ඉඳලා අව්වට වේලෙමින්, දැන් මේ මහ වැස්‌සට තෙමෙමින් ඔබ මේ පෙන්නුම් කරන්නේ කුමන්ත්‍රණකරුවන්ට, බෙදුම්වාදීන්ට මේ රට අවස්‌ථාවර කිරීමට ඉඩ නොතබන බවයි.
එදා 2009 මැයි මස 19 වන දින ත්‍රස්‌තවාදය ලංකා භූමියෙන් අතුගාදැම්මත් පිටරට ඉඳගෙන අපට එරෙහිව කරන ත්‍රස්‌තවාදය අවසන් වෙලා නෑ. බෙදුම්වාදීන් අදත් ඉන්නවා ඔවුන් වෙනම පාර්ලිමේන්තුවක්‌ හදාගෙන ඇමැති මණ්‌ඩලයක්‌ පත්කරගෙන යන මේ වැඩපිළිවෙළින් අපි පරිස්‌සම් විය යුතුයි.

http://www.divaina.com/2014/12/17/news28.html
ඒ අයට උල්පන්දම් දෙන පිරිසක්‌ අදත් ඉන්නවා. ඒ නිසා එය පරාජය කිරීමේ සටන අපට තවදුරටත් තිබෙනවා. ඒ බව මතක්‌ කර දෙමින් ලබන ජනවාරි 8 වැනිදා උදේ පාන්දර ඡන්ද පොළට ගොස්‌ බුලත් කොළයට කතිරය ගහලා ජයග්‍රහණය විජයග්‍රහණයක්‌ කරමු. 9 වැනිදාට අපි ලබන විජයග්‍රහණය කිරිබත් කමින් බුක්‌ති විඳිමු.

ඔබ දන්නවා 2005 දී මම ආවාම රට නිදහස්‌ කරගන්න ඔබ මා කෙරේ විශ්වාසය තැබුවා. අපි ඒ රට නිදහස්‌ කරගත්තා. බියෙන් ජීවත් වූ මිනිසුන්ට බිය නැතිව ජීවත්වෙන්න අවස්‌ථාව ලබා දුන්නා. වසර 04 ක්‌ ගතවීමට පෙර ත්‍රස්‌තවාදය අවසන් කර අපිට රට සංවර්ධනය කරන්න අවස්‌ථාව දෙන්න කියා ඔබෙන් ඉල්ලුවා. ඔබ අපිට ඒ අවස්‌ථාව ලබා දුන්නා. අපි අද රට සංවර්ධනය කරලා. ආර්ථිකය ගොඩනගලා දුප්පත්කම අවම කරලා. විරැකියාව අවම කරලා මේ රට මධ්‍යම ආර්ථික මට්‌ටමක්‌ තිබෙන රටක්‌ බවට පත් කර තිබෙනවා.

අද පිටරට රැකියාවලින් එවන මුදල් ප්‍රමාණය මිලියන 600 දක්‌වා වැඩිවෙලා තිබෙනවා. ඒ වගේම අපනයන භෝගවලින් විශාල ආදායමක්‌ ලැබෙනවා. කෘෂිකර්මාන්තයේ යෙදී ඉන්න අයට අපි සහන ලබා දුන්නා. රබර්, පොල්, තේ කුඩා කර්මාන්තකරුවන්ට විශාල දායකත්වයක්‌ අපි ලබාදී තිබෙනවා. ඔවුන්ගේ ව්‍යාපාර නගා සිටුවන්නට අද මවුකුසේ ඉන්න දරුවාගේ ඉඳලා මරණ මංචකයේ ඉන්න අය දක්‌වාම සහන සලසන අයවැයක්‌ අපි පසුගියදා ඉදිරිපත් කළා. ඒ විතරක්‌ නෙවෙයි කාන්තාවන් වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක්‌ සකස්‌ කර තිබෙනවා. ඔවුන්ට ණය වැඩපිළිවෙළවල් හඳුන්වා දීලා. ස්‌වයං රැකියා සඳහා පහසුකම් දීලා ඔවුන්ට ස්‌වෝත්සාහයෙන් නැගී සිටින්නට. අනුන්ට අතනොපා මේ රට තුළ ජීවත්වීමේ වාතාවරණයක්‌ ඇති කරන්නට අපි පියවර ගත්තා.

අද උසස්‌ පෙළ සමත් තරුණයින් 1,50,000 කට රැකියා අවස්‌ථා නිර්මාණය කරන්න මුදල් වෙන්කළා පසුගිය අයවැයෙන් විද්‍යාගාර හදලා ඔබේ දරුවාගේ අනාගතය ගැන බලාපොරොත්තු ඇති කළා. තාක්‍ෂණ විද්‍යාගාර ඇතිකරලා තාක්‌ෂණ විෂය ධාරාවක්‌ අලුතින් හඳුන්වා දී තිබෙනවා. දෙමාපියන්ට බරක්‌ වෙලා හිටපු සාමාන්‍ය පෙළ සමත් වෙලා ගණිතය සමත් නොවුණු සියලුම දරුවන්ට තමන්ට හැකි විෂය ධාරාවකින් උසස්‌ පෙළ හදාරන්න. ගණිතය වසර දෙකක්‌ තුළ සමත් වෙන්න අවස්‌ථාව ලබා දුන්නා. මම නුවර ප්‍රදේශයට ගිය උත්සවයක දරුවන්ගේ රංගනයක්‌ තිබුණා. ඔවුන් සියලු දෙනා ගණිතය අසමත් වුණු අය. නමුත් වසර 02 ක්‌ තුළ ගණිතය සමත් වෙන්න අවස්‌ථාව දීලා ඔවුන්ට නර්තනය විෂය ධාරාවෙන් උසස්‌ පෙළ හදාරා සෞන්දර්ය විශ්වවිද්‍යාලයට යන්න අවස්‌ථාව ලැබී තිබෙනවා. එසේ නොවුණා නම් ඒ දරුවන්ට නිවෙස්‌වලට වෙලා ඉන්න වෙන්නේ. අපි මේ ආකාරයට හැම ක්‍ෂේත්‍රයක්‌ම හැම කෙනෙක්‌ ගැනම අවධානය යොමු කරලා කටයුතු කළ බව ඔබ දන්නවා. අපි සමාජයේ හැම කෙනෙක්‌ ගැනම අවබෝධ කරගෙන තමයි අයවැයක්‌ සකස්‌ කළේ. මේ ඔබේ අනාගතය. මේ රට ඔබේ දරුවාට සුරක්‌ෂිත රටක්‌ බවට පත්කරන්න ඕනෑ. ඒ කාර්යය තමයි අපි තෙවැනි වතාවේදී කරන්නේ.

විනයගරුක සමාජයක්‌, අම්මාට තාත්තාට ගරු කරන සමාජයක්‌, පන්සල, පල්ලියට, කෝවිලට යන්න හැඟීම් තිබෙන දරුවන් සිටින සමාජයක්‌, සාරධර්ම පිරි සමාජයක්‌ බිහි කරන්න අවශ්‍ය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න අපි අද සුදානම් වෙලා ඉන්නවා. අපිට අද මඩ ගසනවා. හැම දෙනාම පහර දෙනවා. පාරවල් හදන කොට මෙපමණ වියදම් කරන්න අවශ්‍ය නැහැ. පොඩි මුදලකින් කරන්න තිබුණා කියනවා. එහෙනම් ඇයි ඒ අය හැදුවේ නැත්තේ. පාර හැදුවා නම් 1/3 න් හදන්න පුළුවන්. පාලම 2/3 ක වියදමෙන් හදන්න පුළුවන් කියනවා. මේ අය කොපමණ කල් පාලනය කළාද? චන්ද්‍රිකා නෝනා වසර 11 යි, රනිල් වික්‍රමසිංහ මහත්තයා. ප්‍රේමදාස මහත්තයා මේ අය පාලනය කළා. නමුත් ඉතිහාසයටම කරගන්න බැරිවුණු වැඩක්‌ අපි කර දුන්නාම අපිට මඩ ගහනවා.

දැන් කියනවා මම දරුවන්ට උපන්දිනවලට හෙලිකොප්ටර් 03 ක්‌ අරන් දුන්නා කියනවා. මම අරන් දුන්නා ඒ අය පුංචි කාලේ සෙල්ලම් කරන්න. ඒ අයට අපි තුවක්‌කු දුන්නේ නැහැ සෙල්ලම් කරන්න. මේ වගේ බොරු කියන්නේ අපේ හාමුදුරු කෙනෙක්‌. නමුත් ඒ හාමුදුරුවන්ට හදිසියකට පන්සිල් පද පහත් අමතක වුණා. ඉතින් එහෙම නම් අතින් දේවල් මතක්‌ කරගන්නේ කොහොමද? ඒ අය තමයි මෙහෙම කතා කරන්නේ.

වෛරයෙන්, ක්‍රෝධයෙන් ඊර්ෂ්‍යාවෙන් අද අපි දෙස බලන්නේ. එහෙම කරන්නේ අපි රට නිදහස්‌ කරගත් නිසාද? අපි මැදමුලිනින් ආපු නිසාද? මම හිතන්නේ හේතුව ඒක වෙන්න ඇති. ඔය ඉන්න රදළ අය එදා එයාට කිව්වේ මැට්‌ටා කියලා. කොළඹ ඉපදුණොත් හරි. එතකොට සියල්ල හොඳයි. මේ තිබෙන්නේ පන්ති පරතරය තරග කරන දෙදෙනාම ගමේ. ඔහු ගම්පහෙන් ඇවිත් පොළොන්නරුවට ගියේ ඉඩම් ලැබිලා. අපි එයාගේ පරම්රාව ගැන කියන්නේ නැහැ. හොඳ පාලනයක්‌ තිබුණා නම්, එයා ගැන හැඟීමක්‌ තිබුණා නම් එහේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු 03 දෙනයි. දැන් මහන්සි ගන්නේ අනිත් අයවත් ගන්න. ඒ කාලේ විපක්‍ෂයේ ඉන්න අය එයාගේ සහෝදරයන් ගැන කිව්වා. ඒ අයගේ ව්‍යාපාර ගැන කිව්වා. මම ඒවා කියන්නෙත් නැහැ අපහාස කරන්නෙත් නැහැ. එහෙම කියපු අය අද දැන් ඒවා කියන්නේ නැහැ. මෙය පුදුම වැඩක්‌. ආණ්‌ඩු පක්‍ෂයේ ඉන්නතුරු බනිනවා. හොරා කියනවා. බෙහෙත්වලින් කොමිස්‌ ගහනවා කියනවා. ඊට පස්‌සේ විපක්‍ෂයට ගියාම එයා සුජාත වෙනවා. කරපු වැරදි සියල්ල හොඳ වෙනවා.

වාරිමාර්ග හා ජල කළමනාකරණ ඇමැති නිමල් සිරිපාලද සිල්වා මහතා - ජනාධිපති නිසා වී ගොවියාට සුළු අපනයන භෝග ගොවීන්ට, තේ, රබර් වගාවන් සඳහා සහන ලබා දුන්නා. උපාධිධාරීන්ට රැකියා ලබාදුන්නා. මෛත්‍රී කියනවා ඔහුට කරන්න දුන්නේ නැතිලු. මමත් සෞඛ්‍ය ඇමැතිකමේ හිටියා. මම හොඳට වැඩ කළා. මෛත්‍රී කියන්නේ වැඩ බැරි කෙනෙක්‌.

විපක්‍ෂ අපේක්‍ෂකගේ සටන්පාඨය විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමයි. සෝභිත හිමියන්ගේ සටන්පාඨයේ මේ අය එල්ලිලා විධායක ක්‍රමය තියාගෙන බලතල අඩුකරනවා කියලා දැන් කියනවා. මේක ව්‍යාජ සටන්පාඨයක්‌. ඔවුන්ට ඉදිරි දැක්‌ම නැහැ.

බටහිර බලවේගයෙන් සිරියාව ඉරාකය වැනි රටවල් අස්‌ථාවර කරපු ආකාරයට අප රටත් පත්කිරීමේ පොඩි උත්සාහය යෙදෙනවා. ඒ නිසා රටට ආදරය කරන තමුන්නාන්සේලා මේවාට අසුවෙන්න එපා. අපි අපේ ස්‌ථාවරයක ඉඳලා නිවැරදි තීරණය ගත යුතුයි.

අර කියමනක්‌ තියනවා නේ කැලේ ගසක්‌ නසන්න කැලේ ගහක්‌ ඕන කියලා. අද මේ දුෂ්ට බලවේග භාවිතා කළේ මේ න්‍යාය. බටහිර බලවේගවලට අවශ්‍ය රූකඩ නායකයකු මතුකර ගැනීම බව දයාන් ජයතිලක කිව්වා. ජනාධිපතිවරයා මෙතනින් එළවන්න ඔවුන් සිරිසේන පාවිච්චි කරනවා.

පක්‍ෂ මාරු කරන්න බෑ කලකිරීම නිසා ප්‍රතිපත්ති මත පක්‍ෂ වෙනස්‌ කරනවා. මෙතන වුණේ තනතුරු නොලැබුණු නිසා පක්‍ෂය අත්හැරීම. අපේ පක්‍ෂය පාවාදීමේ අයිතියක්‌ කිසිකෙනෙකුට නෑ.

එජාපයේ හිටපු මහ ලේකම් සෞඛ්‍ය ඇමැති තිස්‌ස අත්තනායක මහතා-

ජනාධිපතිගේ ජයග්‍රහණය තහවුරු කරන්න මේ වගේ කතා කරන්න මම හීනෙකින්වත් සිතුවේ නෑ. ජනාධිපතිතුමාගේ මහනුවර දිස්‌ත්‍රික්‌කයේ රැස්‌වීම් ගණනාවකට සහභාගී වුණා. ඒවට එක්‌වූ අති විශාල ජනතාව දැක්‌කම ලබන ජනවාරි 9 වැනිදාට සිරිසේන මහත්තයාගේ ඇපත් කැන්සල් කියලා තේරුණා. මේකෙ කිසිම තරගයක්‌ නැහැ.

මා එජාපය දාලා ආවේ ඇයි කියලා අහනවා. මෙහෙම අහන විට මට දෙන්න තියෙන්නේ එක උත්තරයයි. සිරිසේන මහත්තයාගේ බස්‌ එකේ එජාපය, දෙමළ සන්ධාන ජාතික හෙළ උරුමය හා පක්‍ෂ දාගෙන යන්න බෑ. ඒ බස්‌ එක යන්නේ කනත්තට. ඒ නිසා මම කනත්තේ ගේට්‌ටුව ළඟින් බැහැලා ජනාධිපතිතුමාට උදව්කරන්න මේ වේදිකාවට නැග්ගේ.

මම සිරිකොතේ එළියට බැහැලා ආවේ මැතිවරණ යාන්ත්‍රණයේ සුවිච් එක ඕප් කරලා. මේනිසා සිරිකොතේ අය නන්නත්තාරවෙලා. 2010 සරත් ෙµdන්සේකා හංසයාගෙන් දාලා ලක්‍ෂ 17 කින් පරාදවුණා. දැන් තුන්වැනි වරටත් අලියා පැත්තකට දමා හයර් එකට හංසයා ලකුණ ගෙන මෛත්‍රී ගෙනල්ලා මෙවර ලක්‍ෂ 26 කින් පරදිනවා.

සිරිසේන මහත්තයා රනිල් වික්‍රමසිංහ මහත්තයාට කියලා තිබුණා ඔහුත් සමග 25 දෙනෙක්‌ එනවා කියලා. නාමයෝජනා දින එහෙම ගේන්න බැරිවුණා. රනිල්ට අගමැතිකම දෙනවා කිව්වා. පැය 24 න් විධායක බලය රනිල්ට පවරනවා කිව්වා. මේ පළමු සාකච්ඡාවේදී කිව්වේ. නමුත් ඉන්පසු අද වනතෙක්‌ ඒක කියන්නේ නෑ. කොළ පාටට අගෞරව කර කර මේ දේශපාලනය කරන්න බෑ.

මේ ගොල්ලෝ පක්‍ෂයෙන් පක්‍ෂයට පුද්ගලයගෙන් පුද්ගලයාට ගිවිසුම් අත්සන් කරනවා. දෙමළ සන්ධානය එක්‌ක ඇති කර ගත්ත එකඟතාව රටට හෙළිකරන්න ඕන. ඔවුන් අත්සන් කරන ගිවිසුම් එකක්‌වත් එළියට දාන්නේ නෑ. මෙහෙම හොර ගිවිසුම් ගසන සිරිසේන මහත්තයා විශ්වාස කළ හැකිද? ඔහු හදන්නේ මේ රට අස්‌ථාවර කරන්න. දිනා දුන් නිදහස පාවාදෙන්න හදනවා. ජනාධිපති අපේක්‍ෂක සිරිසේන මහතා නළුවෙක්‌ විතරයි. සැබෑ අපේක්‍ෂකයා චන්ද්‍රිකා මැතිනිය. එතුමිය තමයි පිටුපස ඉඳගෙන නූල අදින්නේ.

ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම මහතා-

ජනාධිපතිවරයා ගැන අමුතුවෙන් අපි කියන්න අවශ්‍ය නෑ ජනතාව කවුරුත් දන්නවා. එජාප මහ ලේකම් විපක්‍ෂයේ සිට හඬ නඟපු කෙනෙක්‌. ඔහුගේ පැමිණීම ජනාධිපතිතුමාගේ ජයග්‍රහණයට විශාල රුකුලක්‌. ජනාධිපතිතුමා මේ රටට පහළවූ තේජවන්ත නායකයෙක්‌. ඔහු පරාජය කරන්න කිසිවකුට බැහැ. කවුරු කොහොම කිව්වත් සුළු ජාතික ඡන්ද වැඩි ප්‍රමාණයක්‌ ලැබෙන්නේ ජනාධිපතිතුමාටයි. මේ රටේ සියලුම දෙනාට නිදහසේ බියෙන් සැකෙන් තොරව ජීවත් වන්න අවස්‌ථාව උදාකර දුන්නේ ජනාධිපතිවරයායි.

මෙම ජනහමුව අමතා ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා ඇමැති වාසුදේව නානායක්‌කාර සුළු අපනයන බෝග ප්‍රවර්ධන නියෝජ්‍ය ඇමැති ගාල්ල දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්‌ටිගම, නියෝජ්‍ය කථානායක ගාල්ල දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී චන්දිම වීරක්‌කොඩි, ගාල්ල දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී රමේෂ් පතිරණ. හිටපු වැවිලි කර්මාන්ත නියෝජ්‍ය ඇමැති නොඑල් පද්මසිරි කාරියවසම්. ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති උප සභාපති ඇතුළු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු ඇතුළු ගිහි පැවිදි විශාල පිරිසක්‌ සහභාගි වූහ.

No comments:

Post a Comment