Dec 17, 2014

17 Dec 2014
මහින්දගේ මල්ලේ ගඳ හොඳට හඳුනන
නිසා එය යළි ඔබා බැලිය යුතු නැහැ

 කථිකාචාර්ය දඹර අමිල හිමි
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ මාධ්‍ය හමුව

මහින්ද රාජපක්‍ෂ මහතාගේ මල්ල යළි ඔබා බැලීමේ අවශ්‍යතාවක්‌ නැතැයිද එහි ගඳ හොඳට හඳුනන බවද "සමාජ සාධාරණත්වය සඳහා විශ්වවිද්‍යාල ආචාර්යවරු" සංවිධානයේ කැඳවුම්කරු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දඹර අමිල හිමියෝ පැවැසූහ.

යහ පාලනයක්‌ වෙනුවෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් විසින් සකස්‌ කරන ලද ප්‍රතිපත්තිමය යෝජනාවලිය පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට පිළිගැන්වූ බවද එහිමියෝ සඳහන් කළහ.
උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ නාරාහේන්පිට සෝලිස්‌ ශාලාවේ පෙරේදා (15 වැනිදා) පැවැති එම සංවිධානයේ පළමු මාධ්‍ය සාකච්ඡාවේදීය. ජනාධිපතිවරණයේදී පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය පළ කිරීම වෙනුවෙන් මෙම සංවිධානය පිහිටුවාගෙන ඇති අතර සියලුම විශ්වවිද්‍යාල නියෝජනය වන පරිදි සාමාජිකයෝ ඊට ඇතුළත්ව සිටිති.
තනි පුද්ගලයකුගේ බල තණ්‌හාව වෙනුවෙන් කැඳවා ඇති මේ ජනාධිපතිවරණය රටේම යහපත වෙනුවෙන් හරවා ගත යුතු යෑයිද රට නිවැරදි මාවතට ගැනීම සඳහා ලැබී ඇති අවසාන සහ හොඳම අවස්‌ථාව මෙය යෑයිද අමිල හිමියෝ කීහ.

http://www.divaina.com/2014/12/17/news31.html
කුරුම්බැට්‌ටි මැෂිමක්‌ හදා ගත නොහැකි අය අභ්‍යවකාශ යානා තැනීමට උත්සාහ ගන්නා බවක්‌ රටේ කටයුතුවලින් පෙනෙන බවද නීති විරෝධී ජනාධිපතිවරණයක්‌ කැඳවා ඇති මේ අවස්‌ථාවේ විශ්වවිද්‍යාල ආචාර්යවරු ලෙස නිහඬව සිටිය නොහැකි යෑයිද පැවසූ උන්වහන්සේ රට විනාශයට පත්වන තෙක්‌ ඇස්‌ කන් පියාගෙන සිටීම ජනතාවට කරන අසාධාරණයක්‌ යෑයිද කීහ.

ඉතිහාසයේ මුල් වරට මැතිවරණ ව්‍යාපාරයකදී සිරකරුවන් ලවා ඡන්ද ප්‍රචාරක පෝස්‌ටර් ඇලවීම මේ ජනාධිපතිවරණයේදී දැක ගත හැකි බවත් සඳහන් කළ අමිල හිමියෝ අද විශ්වවිද්‍යාල පද්ධතියත් විනාශ මුඛයට ඇද දමා ඇති බවද ඡන්දයකදී "කඩේ" යෑවිය හැකි අය පමණක්‌ උපකුලපතිවරුන් ලෙස පත් කරන බවද ප්‍රකාශ කළහ.

විධායක ජනාධිපති ක්‍රමය පක්‍ෂයේ අයටත් ප්‍රජාතන්ත්‍රවාදය අහිමි කරන බවද විදේශ සේවය ඇතුළුÊසියලුම ක්‍ෂේත්‍රයන්ට විධායක ජනාධිපති ක්‍රමය පිළිලයක්‌ වී ඇතැයිද උන්වහන්සේ කීහ.

මහාචාර්ය ගාමිණී කීරවැල්ල මහතා- අපි අද සන්ධිස්‌ථානයකට පැමිණ සිටිනවා. මීට පෙර 1956 වගේම 1977 ත් මේ රටේ ගමන් මග වෙනස්‌ කළ මැතිවරණ දෙකකට මුහුණ දෙමින් ඒ කාලයන්හි දැවැන්ත වෙනසක්‌ ඇතිවුණා. මෙවරත් අපි අත්දකිමින් සිටින්නේ ඒ තත්ත්වයමයි.

මහින්ද රාජපක්‍ෂ මහත්තයා යුද්ධය පරාජය කළ බව සත්‍යයක්‌. නමුත් ඒ යුද ජයග්‍රහණය රටේ යහපත වෙනුවෙන් යොදා නොගැනීමේ ආදීනව අද රට හමුවේ දකින්න පුළුවන්. අර්බුද පහක්‌ අද රටේ නිර්මාණය වෙලා.

පළමුවැන්න ජාත්‍යන්තරය ඉදිරියේ රට හුදකලා වීම, දෙවැන්න රට අරාජික වීම, ප්‍රජාතන්ත්‍රවාදය හකුලා දැමීම තෙවැන්නයි. ආර්ථික ප්‍රතිපත්තියක්‌ නොමැතිකම හා ජාතික ප්‍රශ්නයට විසඳුමක්‌ ලබාදීම සඳහා පියවර නොතැබීම සිව්වැන්න හා පස්‌වැන්න ලෙස දකින්න පුළුවන්.

මේ අර්බුදයෙන් රට මුදාගෙන යහපාලනයක්‌ ඇති කිරීමේ හොඳම අවස්‌ථාව මෙයයි. මොහොතක නොසැලකිල්ල කාලාන්තරයක්‌ පශ්චාත්තාපයට පත් වීමට හේතුවක්‌ බව ජනතාව අවබෝධ කර ගත යුතුයි.

ආචාර්ය ජගත් කුමාරසිංහ, ආචාර්ය මහීම් මෙන්ඩිස්‌ යන මහත්වරුද කතා කළ අතර ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි, ආචාර්ය රොහාන් ප්‍රනාන්දු ඇතුළු ආචාර්යවරු පිරිසක්‌ ඊට සහභාගි වූහ.
 


No comments:

Post a Comment