Jan 4, 2015

- කුමාර් ගුණරත්නම් - ජ.වි.පෙ. රැසක්‌ ඉදිරියේදී මා සමඟ එක්‌වෙනවා

04 Jan 2015
* මම ආවේ කොන්ත්‍රාත්තුවකට නොවෙය!
* ඉදිරියේදී පූර්ණකාලීනව දේශපාලනය කරනවා
* මේක හෙමින් දුවන මැරතන් එකක්‌! 

ජනතා විමුක්‌ති පෙරමුණේ ක්‍රියාකාරී යාන්ත්‍රණයේ නියමුවා ලෙස සහ ජාත්‍යන්තර සම්බන්ධතා කටයුතු පිළිබඳ ප්‍රධානියා ලෙස තිරයෙන් පිටුපස ප්‍රබල චරිතයක්‌ව සිටි කුමාර් ගුණරත්නම් මහතා පක්‍ෂය තුළ ඇතිවූ අභ්‍යන්තර ගැටුම් හමුවේ පෙරටුගාමී පක්‍ෂය නමින් වාමාංශික දේශපාලන පක්‍ෂයක්‌ පිහිටුවා එහි නායකත්වයට පත්විය. එම පක්‍ෂයේ ක්‍රියාකාරීව කටයුතු කිරීමට ඔස්‌ටේ්‍රලියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණි ඔහු ආගමන විගමන නීති උල්ලංඝනය කිරීමේ චෝදනා මත 2012 අප්‍රේල් 07 වැනිදා ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කරනු ලැබීය. නැවතත් ඔහු 2015 ජනවාරි 01 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණ ශ්‍රී ලංකාවේ වාමාංශික දේශපාලනය ශක්‌තිමත් කිරීම සඳහා සක්‍රීය දායකත්වය දැක්‌වීමට පෙරමුණ ගෙන ඇත.
මෙම ආගමනය පිළිබඳව දිවයින ඉරිදා සංග්‍රහය සමඟ ඔහු පිළිසඳරකට එක්‌විය. එහිදී අප නැගූ පැනයනට ඔහු දුන් පිළිතුරු මෙසේය.
ප්‍රශ්නය - 2015 ජනවාරි 08 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා අපේක්‍ෂකයකු ලෙස ඉදිරිපත්ව සිටින ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට සහයෝගය දැක්‌වීම සඳහා ආණ්‌ඩුවේ කොන්ත්‍රාත්තුවකට ඔබ නැවත ලංකාවට පැමිණියා නේද?
පිළිතුර - මම කාගේවත් කොන්ත්‍රාත්තුවකට ලංකාවට ආවේ නැහැ. මා නැවත ලංකාවට පැමිණියේ ශ්‍රී ලංකාවේ වාමාංශික දේශපාලනය යළි ගොඩනගන්නයි. ඒ සඳහා මම පූර්ණකාලීනව කැපවී සිටිනවා. මාව 2012 වසරේ ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කරපු දවසේ පටන් මම නැවත ලංකාවට එන්න උත්සාහ ගත්තා. එහි ප්‍රතිඵලයක්‌ තමයි මගේ මේ පැමිණීම. එහිදී රට තුළ පවතින දේශපාලන වාතාවරණය අනුව විවිධ අර්ථ කථන ඉදිරිපත් කළ හැකියි. එය මට අදාළ නැහැ.

http://www.divaina.com/2015/01/04/feature03.html

මම මෛත්‍රීපාල සිරිසේන මහතා හෝ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ජයග්‍රහණය කරවීමට සහයෝගය දක්‌වන්නේ නැහැ. මා කියන්නේ මේ දෙදෙනාම පරාජයට පත්කළ යුතුයි. මේ දෙදෙනාගේම අරමුණ එකයි. රට තුළ පීඩිත ජනතාවගේ දැවෙන ප්‍රශ්නවලට ඔවුන් තුළ විසඳුම් නැහැ. ඔවුන් ගැලරියට විසිල් ගහන්න සටන් පාඨ ඉදිරිපත් කරනවා විතරයි. එනිසා මේ ක්‍රමය වෙනස්‌ කළ හැකි දේශපාලනයක්‌ ගොඩනැගීම සඳහා වූ පුළුල් ක්‍රියාකාරිත්වයක්‌ රට තුළ ඇති කිරීම සඳහා පෙරමුණ ගන්නයි මම ලංකාවට ආවේ.

ප්‍රශ්නය - ඔබ ඔය කියන වාමාංශික දේශපාලනය ඔබ නියෝජනය කළ ජනතා විමුක්‌ති පෙරමුණ තුළ නැතිද?

පිළිතුර - ජනතා විමුක්‌ති පෙරමුණ තුළ දැන් තියෙන්නෙ අර්ධ තීරණ. ඔවුනට තනි තීරණ නැහැ. ඔවුන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න කියා 1994 වසරේ දී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සමඟ ගිවිසුමක්‌ අත්සන් කළා. 2005 වසරේ දී මහින්ද රාජපක්‍ෂ මහතා සමඟ ගිවිසුමක්‌ අත්සන් කළා. 2010 වසරේ දී හිටපු හමුදාපති සරත් ෙµdන්සේකා මහතා සමඟ ගිවිසුමක්‌ අත්සන් කළා. ඊට පස්‌සේ 2010 වසරේ දී යළිත් රනිල් වික්‍රමසිංහ මහතා සමඟ එක්‌ව වත්මන් ආණ්‌ඩුව පෙරළන්න ගිවිසුමක්‌ අත්සන් කළා. මේ ඔක්‌කොම වාමාංශික දේශපාලනය පාවාදෙමින් සිදුකළ අර්ධ ගිවිසුම්. ජ.වි.පෙ. නායකයන්ගේ මෙම අර්ධ ගිවිසුම්වලට පහළ යාන්ත්‍රණය දැඩි ලෙස විරෝධය පළ කළා. ඔවුන් වාමාංශික දේශපාලනය ගැන කථාකරමින් ලිබරල්වාදී ගමනක්‌ යනවා.

ප්‍රශ්නය - ඔබව 2012 වසරේ දී පිටුවහල් කළා. නැවත ඔබ ලංකාවට ආවේ ආණ්‌ඩුවේ සහයෝගය මත නේද?

පිළිතුර - මාව 2012 වසරේ දී ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කළේ නීති විරෝධී ලෙස. නමුත් ඒ මොහොතේ පැවැති දේශපාලන මතවාදයත් ආගමන විගමන නීතිමය ගැටලුවත් සමීප වීම නිසා මාව පිටුවහල් කළා. එම ක්‍රියා පිළිවෙත ජාත්‍යන්තර නීති උල්ලංඝනය කිරීමක්‌. ඇත්තටම එදා මා පිටුවහල් කිරීමේ අවශ්‍යතාවය ජනතා විමුක්‌ති පෙරමුණට දැඩිව තිබුණා. ආණ්‌ඩුවත් ඒ මොහොතේ එම දේශපාලන මතවාදයට සහයෝගය දැක්‌වූවා.

ප්‍රශ්නය - ඔබ දැන් පැමිණ සිටින්නේ කොපමණ කාලයකටද?

පිළිතුර - මං ලංකාවට ආවේ පූර්ණ කාලීනව දේශපාලනයේ නියෑලෙන්න. මගේ පැමිණීම සඳහා පවතින දේශපාලන රැල්ල රැකවරණ වී තිබෙනවා. මා වාගේම ජ.වි.පෙ. හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතාටත් ශ්‍රී ලංකාවට පැමිණීමට එවකට පැවැති දේශපාලන රැල්ල රැකවරණයක්‌ වූවා. ඇත්තටම ඔහු එදා පැමිණියේ ප්‍රමාදවී. පැමිණිය යුතුව තිබූ කාලයේ ඔහු ලංකාවට ආවේ නැහැ.

ප්‍රශ්නය - පවතින දේශපාලන සංස්‌කෘතිය තුළ ඔබ පවසන වාමාංශික දේශපාලනය ශක්‌තිමත් කළ හැකිද?

පිළිතුර - ඔබ ඔය කියන්නේ වර්තමාන දේශපාලනයේ තියෙන ක්‍ෂණික විසඳුම් සහ තීරණ දිහා බලාගෙනනෙ. දැන් බලන්න දේශපාලනඥයො පක්‍ෂ මාරු කරන්නෙ කිසිදු ප්‍රතිපත්තියක්‌ නැතිව. ක්‍ෂණිකව. දැන් එය හෑල්ලුවට ලක්‌වෙලා. අප පක්‍ෂ මාරුකළ යුත්තේ ප්‍රතිපත්තියක්‌ මතයි. පෙරටුගාමී පක්‍ෂය අප පිහිටුවූයේ ජනතා විමුක්‌ති පෙරමුණ තුළ වාමාංශික දේශපාලනය නැති නිසයි. වේදිකාවල පීඩිත ජනතාව ගැන කෑමොර දුන්නට පක්‍ෂය අභ්‍යන්තරයේ එය නැහැ. එනිසා මේ වනවිට ජ.වි.පෙ. නායකත්වය පිළිබඳව දැඩි විවේචන තිබෙනවා. ඔවුනට කිසිදු ප්‍රතිපත්තියක්‌ නැහැ. එනිසා ඉතා පහසුවෙන් ඔවුන් විවිධ පක්‍ෂ සමඟ එක්‌වෙනවා. ගිවිසුම් ගහනවා. මේ අර්ධ දේශපාලනයට අපි විරුද්ධයි. ජ.වි.පෙ. බහුතරයක්‌ මේ අර්ධ දේශපාලනයට විරෝධය පළකර තිබෙනවා. සැබෑ වාමාංශික දේශ පාලනයක්‌ වෙනුවෙන් එක්‌වන්න ඔවුන් සූදානම්. ජ.වි.පෙ. ප්‍රබලයන් රැසක්‌ ඒ සඳහා කැමැත්ත පළ කර තිබෙනවා. නමුත් මම ඔවුනට පවසන්නේ කලබල වෙන්න එපා. තව ඉවසන්න. මෙය මැරතන් එකක්‌ හෙමින් යමු. එතකොට අපට ශක්‌තිමත් වාමාංශික දේශපාලන ව්‍යාපාරයක්‌ රට තුළ ගොඩනඟන්න හැකියාව උදාවෙනවා.

ප්‍රශ්නය - ඔබ ඔය කියන දේශපාලන ව්‍යාපාරය පසුපස දෙමළ ඩයස්‌පෝරාවේ මුදල් තිබෙනවා නේද?

පිළිතුර - ඔය කියන දෙමළ ඩයස්‌පෝරාව දේශපාලනයේ ජනප්‍රිය කථාවක්‌නේ. ඇත්තටම අපි දෙමළ ඩයස්‌පෝරාව සමඟ නෙමෙයි ඉන්නෙ. සිංහල ඩයස්‌පෝරාව සමඟයි. අපිට පෝස්‌ටර් ගහන්න සල්ලි නැහැ. පෝස්‌ටර් ගහපු මුද්‍රණාලවලට මුදල් ගෙවාගන්න බැරුව ඉන්නවා. එහෙම අපිට පිටරටවලින් මුදල් ලැබෙනවා කියා කරන චෝදනාව ද්වේශ සහගතව කරන එකක්‌. අපි පිටරට දහදුක්‌ විඳලා වාමාංශික දේශපාලනය ශ්‍රී ලංකාවේ ශක්‌තිමත් කරන්න මුදලක්‌ එවනවා.

ප්‍රශ්නය - ජනතා විමුක්‌ති පෙරමුණ ඇතිකරගෙන තිබෙන රහස්‌ ගිවිසුමක්‌ හෙළිකරන බව ඔබ මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණා. එම රහස්‌ ගිවිසුම කුමක්‌ද?

පිළිතුර - එහෙම ගිවිසුමක්‌ ගැන හෙළි කිරීමක්‌ කරනවා කියා මම ප්‍රකාශ කළේ නැහැ. හැබැයි ජනතා විමුක්‌ති පෙරමුණ මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දක්‌වන්න ගිවිසුමක්‌ ඇති කරගෙන තිබෙනවා. ඔවුන් එය සඟවන්න වේදිකාව තුළ ඉඳගෙන ජනපති ක්‍රමයට විරුද්ධව කතා කරනවා. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේත් මෛත්‍රීපාල සිරිසේන මහතාගේත් දේශපාලන ප්‍රතිපත්තිවල වෙනසක්‌ නැහැ. දෙගොල්ලොගේම තියෙන්නේ වචනවල වෙනස්‌කම් විතරයි. හැබැයි එකම අදහස. එනිසා මා කියන්නේ ජ.වි.පෙ. කරන ඔය බොරු මවාපෑම් නිසා ඉදිරියේදී එම පක්‍ෂය විනාශවෙනවා. දැනටමත් එය සිදුවෙමින් පවතිනවා. සැබෑ වාමාංශිකයෝ ඉදිරියේදී අප සමඟ එක්‌වෙනවා. ඒ සඳහා ශක්‌තිමත් දේශපාලන රාමුවක්‌ සැකසීම අප සිදුකරනවා.

No comments:

Post a Comment