Jan 4, 2015

ටිල්වින් සිල්වා - කුමාර් ආවේ මහින්දගේ උදව්වට

04 Jan 2015


- ජනතා විමුක්‌ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා
ජනාධිපතිවරණයට ඇත්තේ තවත් දින 4 කි. මැතිවරණ වේදිකා උණුසුම් වාද විවාදවලින් පිරී පවතී. එහිදී එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන වේදිකාවලදී සහ විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක වේදිකාවලදී පළවූ විවිධ අදහස්‌ පිළිබඳව, ජනාධිපතිවරණ ඡන්ද ව්‍යාපාරයට සම්බන්ධ වී නැති ජනතා විමුක්‌ති පෙරමුණ පළකරන අදහස්‌ දැන ගැනීම සඳහා අපි ජනතා විමුක්‌ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා හමුවුණෙමු.
එහිදී ඇසූ ප්‍රශ්නවලට ටිල්වින් සිල්වා මහතා පිළිතුරු දුන්නේ මෙසේය.
ප්‍ර - ජනාධිපතිවරණයට ඇත්තේ තව දින කිහිපයකි. දැන් උද්ගත වී ඇති දේශපාලන තත්ත්වය ඔබේ පක්‍ෂය දකින්නේ කොහොමද?
පි - මහින්ද රාජපක්‍ෂ මහත්තයා වටේ සිටි පිරිස්‌ දැන් පරාජය දැනගෙන ඉවත් වෙන්නට පටන් අරන් තිබෙනවා. පරාජයෙන් බියට පත්වී සිටින ජනපතිවරයාගේ පැත්තෙන් දැන් මැර ප්‍රහාර එල්ල වෙන්න පටන් අරන් තිබෙනවා. කලාකරුවන්ට පවා පහර දෙන්න පටන් අරන්. ඒ වගේම ඡන්ද වැඩට රාජ්‍ය සම්පත් භාවිතය එන්න එන්නම වැඩි කරලා තිබෙනවා. දැන් ඉන්දියාවෙන් නළුවොත් ගෙන්වනවා. මේවායින් පේන්නේ ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්‍ෂ මහත්තයා පරාජයට පත්වීමේ ලකුණු පහළ වී ඇති බව තමයි.
ප්‍ර - ජනතා විමුක්‌ති පෙරමුණ කිසිදු අපේක්‍ෂකයකුට සහාය දෙන්නේ නැහැ. දෙමළ ජාතික සන්ධානයත් ඔහොම කිය කිය ඉඳලා අන්තිමේදී පොදු අපේක්‍ෂක සිරිසේන මහතාට සහාය දීමට තීරණය කළා. කාටද ඡන්දෙ දෙන්න ඕන කියල ජනතා විමුක්‌ති පෙරමුණ අන්තිම මොහොතේදීවත් ප්‍රකාශ කරන්නේ නැද්ද?
පි - ජනාධිපතිවරණය ආරම්භයේදීම අපි අපේ ස්‌ථාවරය ප්‍රකාශ කළා. මහින්ද රාජපක්‍ෂ මහත්තයා මෙවර බලය ගන්න යන්නේ තුන්වැනි වතාවටයි. ඒ පවුල්වාදය තවදුරටත් ගෙනයන්නයි. ඒ නිසා මහින්ද රාජපක්‍ෂ මහත්තයා පරාජය කිරීම සඳහා ඡන්දය පාවිච්චි කරන්නැයි අප ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මේ ඡන්දෙට අපි ඉදිරිපත් වන්නේ නැති නිසා ඡන්දෙ දෙන්න කියන්න පුළුවන් කමක්‌ නැහැ කාටවත්. අපි ජනතාවගෙන් ඉල්ලන්නේ මහින්ද රාජපක්‍ෂ පරාජය කිරීමට කටයුතු කරන ලෙසයි. මා හිතනවා අපි කියන්නේ කුමක්‌ද කියා ජනතාවට තේරෙනවා ඇති. අපට අවසාන වශයෙන් කිසි කෙනෙකුට සහතික දෙන්නට පුළුවන්කමක්‌ නැහැ.

http://www.divaina.com/2015/01/04/politics04.html

ප්‍ර - අප දැක්‌කා පුවත්පත්වල පළ වී තිබෙනවා ජනතා විමුක්‌ති පෙරමුණ පොදු අපේක්‍ෂකයාගේ පෝස්‌ටර් ගහන්න බාර අරන් තිබෙනවා කියා. ඒක ඇත්තද?

පි - ආණ්‌ඩුව ඇතුලේ ඉන්න ජවිපෙට විරුද්ධ කණ්‌ඩායම් නොයෙක්‌ මඩ ප්‍රචාර ආරම්භ කරල තියෙනවා. පරාජය දැක්‌කාට පස්‌සෙ ආණ්‌ඩුව ප්‍රතිපත්තිමය කාරණා පැත්තකට දාලා දැන් මඩට බැහැල තියෙනවා. ජනතා විමුක්‌ති පෙරමුණට කාගෙවත් පෝස්‌ටර් ගහන්න ඕනකමක්‌ නැහැ. අපි අපේ පෝස්‌ටර් ගහනවා. අපේ ප්‍රචාරක කටයුතු කරගෙන යනවා. එහෙම ගහන්න ඕනනම් ඒවා ප්‍රසිද්ධියේ කරන්නත් පුළුවන්කමක්‌ අපට තියෙනවා. අපි මේ කිසිම කඳවුරකට බැඳෙන්නෙ නැතිව ස්‌වාධීනව ඉන්නවා. ඒ ස්‌වාධීන බලයක්‌ ගොඩනැඟීමට අවශ්‍ය නිසා. අපි මේ අවස්‌ථාවේ ජනාධිපති රාජපක්‍ෂ මහත්තයා පරාජය කරන්නැයි ඉල්ලන්නේ ඔහු දිනුවොත් ඇතිවිය හැකි අනතුර අවබෝධ කරගෙනයි. අපට විරුද්ධව විවිධ කොටස්‌වලින් නැගෙන මෙවැනි මඩ ප්‍රචාර ගැන අපි සැලකිල්ලක්‌ දක්‌වන්නේ නැහැ.

ප්‍ර - ඒවා නිවැරැදි කරන්න උත්සාහ ගන්නේ නැද්ද?

පි - අපි හිතනවා එහෙම කරන්න ඕන නැහැ කියලා. සමහර අයගෙ ප්‍රකාශවලට උත්තරදීමට යැමෙන් ඔවුන්ට වටිනාකමක්‌ ලැබෙනවා. මේ රටේ ජනතාව කිසිසේත්ම සලකන්නෙ නැති, ජනතාව ප්‍රතික්‌ෂේප කරපු වාචාල කටවල් ඇති දෙතුන් දෙනෙකුට උත්තර දෙන්න යන්න ඕන නැහැ. නිහඬව ඉන්න එක හොඳයි කියලයි අපි හිතන්නේ.

ප්‍ර - පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ජයග්‍රහණය කළහොත් ඔහුගේ ප්‍රධානත්වයෙන් පිහිටුවීමට යන බව කියන සර්ව පාක්‍ෂික ආණ්‌ඩුවට ජවිපෙත් එකතු වෙනවාද?

පි - දැනටමත් අපි පැහැදිලිsවම කියල තියෙනවා අපි කිසිම ආණ්‌ඩුවක අභ්‍යන්තර කොටස්‌කරුවන් වෙන්නේ නැහැ කියා. ඒත් මහින්ද රාජපක්‍ෂ මහත්තයා ජනවාරි 8 දා ඡන්දයෙන් පරාජයට පත්වෙලා අලුත් ආණ්‌ඩුවක්‌ නිර්මාණය වුණොතින් ඒ අලුත් ආණ්‌ඩුව දැනටමත් පොරොන්දු වෙලා තියෙනවා ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ලබාදෙන බවට. අන්න ඒ පොරොන්දු වී තිබෙන ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ලබාගැනීමටත්, ජනතාවගේ අයිතිවාසිකම් දිනා ගැනීමටත් බලපෑම් කිරීමට අපි කටයුතු කරනවා. එසේ කළ හැකි වන්නේ එළියේ සිටිමින්. ඒ සඳහා ස්‌වාධීන බලයක්‌ නිර්මාණය කිරීම අපේ අරමුණයි. අපි ජනතාවට කියන්නේ ජනවාරි 8 දා මහින්ද රාජපක්‍ෂ මහත්තයා පරාජය කිරීමට, රට ඒකාධිපතිත්වය කරා යැම වැළැක්‌වීමට ඡන්දය දෙන්න කියලයි. එසේම අපි ජනතාවට කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් දිනා ගැනීම සඳහා අප සමග අත්වැල් බැඳගෙන පෙළගැසෙන ලෙසයි.

ප්‍ර - ජනතා විමුක්‌ති පෙරමුණ ජනවාරි 8 දායින් පස්‌සේ පෙළගැසෙන්නැයි ජනතාවගෙන් ඉල්ලන්නේ කුමක්‌ සඳහාද? පෙළපාලි යන්නද? උද්ඝෝෂණ කරන්නද? ආණ්‌ඩුවට බලපෑමක්‌ කරන්නද?

පි - ඇත්තටම ජනතා විමුක්‌ති පෙරමුණේ අපි හිතන්නේ අපේ රටේ මේ තිබෙන තත්ත්වය නැති කරන්න නම් මේ රටේ ප්‍රගතිශීලී බලවේග විකල්ප දේශපාලන බලවේගයක්‌ වටා ඒකරාශි කළ යුතුව තිබෙන බවයි. සාම්ප්‍රදායික දේශපාලන පක්‍ෂ දෙකේ වෙනස දැන් සොයා ගන්න බැරිවෙලා තිබෙනවා. මේ දෙකම එකට කලවම් වෙලයි තියෙන්නේ. ඒ නිසා විකල්ප දේශපාලන දහරාවක්‌ නිර්මාණය කළ යුතුයි. ඒ හින්දයි අපි කියන්නේ අප සමග අත්වැල් බැඳගන්න කියලා. 8 දා ඡන්දය දීලා ඇවිත් ගෙදරට වෙලා නිකම් බලාගෙන ඉන්න එපා. අට වැනිදායින් පස්‌සෙ හැදෙන ආණ්‌ඩුවෙන් ප්‍රජාතන්ත්‍රවාදය ලබාගන්න ඕන. අයිතිවාසිකම් දිනාගන්න ඕන. ඒ වෙනුවෙන් ජනතාවට දේශපාලන කාර්යයක්‌ තියෙනවා. සවිඥනිකව කළයුතු අන්න ඒ දේශපාලන කාර්ය සඳහා ජනතාව අවදියෙන් ඉන්න ඕන. ඒ වෙනුවෙන් තමයි පෙළගැසෙන්න කියලා අපි ජනතාවගෙන් ඉල්ලන්නේ.

ප්‍ර - කොහොමද බලපෑම් කරන්නේ?

පි - පෙළපාලිවලින් වෙන්න පුළුවන් උද්ඝෝෂණ මගින් වෙන්න පුළුවන්, පාර්ලිමේන්තුවේ කරන බලපෑම් වෙන්න පුළුවන්. පළාත් සභාවෙ කරන බලපෑම් වෙන්න පුළුවන්.

ප්‍ර - මේ ජනාධිපතිවරණයට ජනාධිපතිවරයාත් පොදු අපේක්‍ෂකයාත් මැතිවරණ ප්‍රකාශන දෙකක්‌ ඉදිරිපත් කරල තියෙනවා. ඒවායේ අඩංගු පොරොන්දු ගැන ජනතා විමුක්‌ති පෙරමුණේ අදහස කුමක්‌ද?

පි - මැතිවරණ ප්‍රකාශනවලට දුන්නේ ඒ මොහොතේ ජනතාවට තිබෙන ගැටලුනේ.

අපි ඉතිහාසය පුරාම දැකපු දේ තමයි මැතිවරණ ප්‍රකාශනවල මොන පොරොන්දු තිබුණත් ඒවා ඉටු කරගන්නට ජනතා බලවේගයක්‌ අවශ්‍යයි. මහින්ද රාජපක්‍ෂ මහත්මයගෙ මැතිවරණ ප්‍රකාශන කීයක්‌ ආවද? මහින්ද චින්තනය ඉදිරිපත් කළා. හැබැයි ඒවායින් බොහොමයක්‌ ඉටුවුණේ නැහැ. පළවැනි ප්‍රකාශනයේම තිබුණා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියලා. අහෝසි කළේ නැහැ. ඒ නිසා මැතිවරණ ප්‍රකාශනවල තියෙන දේවල් ඉටුකරවා ගැනීමට නම් ජනතාවගේ පැත්තෙන් බලවේගයක්‌ අවශ්‍යයි කියල අපි විශ්වාස කරනවා. මහින්ද රාජපක්‍ෂ මහත්තයගෙ මහින්ද චින්තනය හොඳටම පරණ වෙච්ච එකක්‌. එකම දේ කියල කියල මිනිස්‌සුන්ට එපා වෙලා තියෙන්නේ. ඉතින් අපි හිතන්නෙ එහෙම එකක්‌ එයාට ඉදිරිපත් කිරීමට සිදුවීමෙන්ම පේන්නෙ පසුගිය අවුරුදු 9 ම එයා ඒ දේවල් කරල නැහැ කියන එකයි. ඔහුගේ අසමත්කම තමයි මෙවර ප්‍රකාශනයෙන් පේන්නේ. පාරෙ දඩාවතේ යන සුනඛයන් ආරක්‍ෂා කිරීමට මධ්‍යස්‌ථාන හදනවා කියලත් මේකෙ තියෙනවා. එතකොට මේ රටේ හිඟමන් යන දරුවො ඉන්නවා එවැනි දරුවන් රකිනවා වෙනුවට දඩාවතේ යන බලුපැටව් රකින්නට පොරොන්දු වීමෙන්ම පේනවා ඔහු මුහුණපා තිබෙන අර්බුදය කොහොමද කියලා.

ඒ නිසා අපි දකින්නේ කාගෙ මැතිවරණ ප්‍රකාශනයක්‌ වුණත් ඒවායේ ඇති ජනතාවගේ ඉල්ලීම් ඉටුකර ගැනීමට නම් ජනතා බලවේගයක්‌ අවශ්‍ය බවයි.

ප්‍ර - පොදු අපේක්‍ෂකයාගේ මැතිවරණ ප්‍රකාශනයේ තිබෙනවා රජයේ සේවක වැටුප් රුපියල් 10,000 කින් විශ්‍රාමිකයන්ගේ වැටුප රුපියල් 5000 කින් වැඩි කරනවාය. පාරිභෝගික භාණ්‌ඩ සඳහා පනවා ඇති බදු විශාල ලෙස අඩු කරනවාය. පෙට්‍රල් මිල අඩු කරනවාය කියා. මේ ආර්ථිකය අනුව මේ පොරොන්දු ඉටුකළ හැකි ඒවායෑයි හිතනවාද?

පි - මේවට උත්තර ඒ අයගෙන්ම තමයි ගන්න තියෙන්නේ. ඒත් අපේ රටේ මේ මොහොතේ සිදුවන මහා පරිමාණ නාස්‌ති, මහා පරිමාණ වංචා, හොරකම් නතර කරනවා නම් ජනතාව මත බදු බර පටවන්න ඕන වෙන්නේ නැහැ. මේ මහා පරිමාණ නාස්‌ති, දූෂණ, සොරකම් නතර කළ හැකි පාලනයකට නම් බදු බර පටවන්නේ නැතිව මේ පොරොන්දු ඉටුකළ හැකියි.

ප්‍ර - විපක්‍ෂයේ පොදු අපේක්‍ෂකයා විසින් දින 100 ක වැඩපිළිවෙළක්‌ ඉදිරිපත්කොට තිබෙනවා. එහි අඩංගු කරුණු දින 100 කින් ක්‍රියාත්මක කරන්න පුළුවන්ද?

පි - ඒ ගැනත් අහන්න ඕන ඒ අයගෙන්. ඒත් කෙනෙකුට යමක්‌ කරන්න ඕනකම තිබේනම් කරන්න පුළුවන්. අමතක කරන්න එපා. අපි 2001 අවුරුද්දේ පරිවාස ආණ්‌ඩුවක්‌ හැදුවා චන්ද්‍රිකා මැතිනිය සමග. ඒ පරිවාස ආණ්‌ඩුව පැවතුනේ දින 35 යි. හැබැයි ඒ දින 35 තුළ ලොකු කාර්යභාරයක්‌ කළා. ගොවි ජනතාවගේ ණය අහෝසි කළා. 17 වැනි සංශෝධනය අනුමත කරගත්තා. ඊළඟට තව තව කරුණු ගණනාවක්‌ද ක්‍රියාත්මක කළා. ඒ නිසා කෙනෙකුට ඕනකම තියෙනවා නම් දින 100 ක්‌ කියන්නෙ ලොකු කාලයක්‌. අපි කියන්නෙ එහෙම පොරොන්දුවක්‌ දීල තිබෙනවා නම් ඒක හොඳයි. එය ඉටුකළ යුතුයි. හැබැයි ජනතාවගේ පැත්තෙනුත් ඒ සඳහා සූදානමක්‌ තිබිය යුතුයි. ඒවා ඉටුකර ගැනීමට ජනතාවත් තමන්ගේ බලයක්‌ නිර්මාණය කරගෙන තිබිය යුතු වෙනවා.

ප්‍ර - ව්‍යවස්‌ථා සංශෝධනයක්‌ සිදුකිරීමට පාර්ලිමේන්තුවේ 2/3 ක ඡන්දයක්‌ ඕන. නමුත් පසුගියදා ශ්‍රී ල.නි.ප. මහ ලේකම්වරයා කියා තිබුණා මෛත්‍රීගේ ආණ්‌ඩුවකට තම පක්‍ෂයේ සහාය නැහැ කියලා?

පි - ඒ කියන්නෙ මහින්ද රාජපක්‍ෂ මහත්තයා ජනාධිපතිකම කරද්දිනේ. අපි බලමු මහින්ද මහත්තයා පැරදුනාට පස්‌සෙ ඔය පාර්ලිමේන්තුවේ කවුරුවත් ඉතුරු වෙන්නෙ නැහැ මහින්ද මහත්තයාගේ පැත්තට. ඒ නිසා ඔය පාර්ලිමේන්තුවේ කවුරුත් තීන්දු ගන්නවා වැලයන පැත්තට මැස්‌ස ගහන්න. ඒක තමයි සිද්ධ වෙන්නෙ.

ප්‍ර - පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ නායක කුමාර් ගුණරත්නම් ලංකාවට ඇවිල්ල ඉන්නවා නේද?

පි - අපි දකින හැටියට මේ වෙනකොට මහින්ද රාජපක්‍ෂ මහත්තයගේ පරාජය තීරණය වෙලයි තියෙන්නේ. මේ පරාජයෙන් ගැලවීම සඳහා මෙහෙයුමක්‌ මහින්ද රාජපක්‍ෂ මහත්තයා ආරම්භ කරල තියෙනවා. ඒ මෙහෙයුම් වලින් තමයි බැරිම තැන ඔය බොලිවුඩ් වලින් සල්මන් ඛාන් පවා ගෙනාවේ. ඉතින් අපි දකින්නෙ ඒකෙම අනික්‌ එක තමයි ඔස්‌ටේ්‍රලියාවෙන් ගුණරත්නම් ගෙන්වා ගැනීම. ඒ මේ වෙලාවෙ මහින්ද රාජපක්‍ෂ මහත්තයට එරෙහිව නිර්මාණය වී ඇති ජනතා මතය අවුල් කිරීමටයි. විශේෂයෙන්ම ජනතා මතය ඇති කිරීම සම්බන්ධයෙන් ජනතා විමුක්‌ති පෙරමුණ සමාජයේ විශාල දායකත්වයක්‌ ඇති කරමින් යනවා. මහින්ද රාජපක්‍ෂ මහත්තයා පරද්දන්න. ඒ නිසා ජනතා විමුක්‌ති පෙරමුණට පහර දෙන්න කෙනෙක්‌ ඕන. ආණ්‌ඩුව ඇතුළේ ඉන්න අය කොච්චර පහර ගැසුවත් ඒවා වැදෙන්නෙ නැහැ. එබැවින් වමේ පෙරමුණකින් තමයි ජ.වි.පෙ. ට පහර ගසන්න ඕන. මේ වෙලාවෙ තමයි ආණ්‌ඩුව මේ පුද්ගලයා ගෙන්වන්නේ. මොහුගේ පැමිණීම කොන්ත්‍රාත් එකක්‌ ඉෂ්ට කිරීමට ආ ගමනක්‌ ලෙසයි අපි දකින්නේ.

ප්‍ර - ඔහුගේ පැමිණීමෙන් ජනතා විමුක්‌ති පෙරමුණටත් බලපෑමක්‌ ඇතිවෙලා තියෙනවාද?

ප - ජනතා විමුක්‌ති පෙරමුණ ගැන කරන විවේචන, සමාජය ගැන කරන විවේචන මොනව ගත්තත් අපි දකින දේ තමයි සමාජය ගැන කතාකරන්න ඕන. සමාජයේ වෙනස්‌කම් කරන්න ඕන සමාජයේ ජීවත්වෙන මිනිසුත් එක්‌කයි. නැතිව මේ එක එකිකෙනාගේ මනෝ රාජ්‍යවල සිටින කිහිප දෙනකු එකතුවෙලා ඒ කිහිප දෙනාගේ හිත්වල තිබෙන දේවල් වලින් සමාජය වෙනස්‌ කරන්න පුළුවන්කමක්‌ නැහැ. ඒ නිසා පුළුල් දේශපාලනෙත් එක්‌ක යන දේශපාලන ව්‍යාපාරයකින් තමයි සමාජය වෙනස්‌ කරන්න පුළුවන් වන්නේ. ඒ කාර්ය මේ මොහොතේ ඉටුකරමින් ඉන්නේ ජනතා විමුක්‌ති පෙරමුණයි. ජනතා විමුක්‌ති පෙරමුණ ජනතාවගේ උවමනාවන් එක්‌ක ගැලපෙනවා. ඒ අතරම මේ රටේ තිබෙන දේශපාලනය වැරදියි කියන එක දැකලා ඒක වෙනස්‌ කිරීම සඳහා වන මතයකුත් අරන් යනවා. මේ මැතිවරණ ව්‍යාපාරයේදී ජනතා විමුක්‌ති පෙරමුණ මහින්ද රාජපක්‍ෂ මහත්තයා පරාජය කළ යුතු යෑයි කියන මතය ගෙනියන ගමන්ම මේ තට්‌ටු මාරු දේශපාලනය අතහැරලා අපි අලුත් සමාජයක්‌ හදන්න ඕන. ඒ සඳහා ජනතා විමුක්‌ති පෙරමුණේ නායකත්වයෙන් අලුත් ජනතා බලයක්‌ නිර්මාණය කළ යුතුයි කියන අදහසක්‌ කතා කරමින් යන්නේ. සමාජයට කිසිදු බලපෑමක්‌ නොකරන එසේ කිරීමට හැකියාවක්‌ නැති මේ වගේ පුංචි කණ්‌ඩායම්වලට කළ හැක්‌කේ ජනතා විමුක්‌ති පෙරමුණ වගේ පක්‍ෂවලට එරෙහිව ප්‍රහාර එල්ල කරමින් ප්‍රතිවිප්ලවවාදී කටයුතු කරන එක. අපි හිතමු දැන් මේ ඔවුන්ට ලැබී තිබෙන කොන්ත්‍රාත්තුව තමයි ජනතා විමුකිති පෙරමුණට එරෙහිව කටයුතු කිරීමේ ප්‍රතිවිප්ලව කොන්ත්‍රාත්තුව. ඒ කොන්ත්‍රාත්තුව වෙනුවෙන් ඔය මොනවහරි නීති විරෝධී ගැටලු තිබෙනවා ඒවා නිරාකරණය වෙලා ඇති ලංකාවට යන්න එන්න ඉඩකඩ ලැබිල ඇති. මේ ඡන්දයක්‌ වෙලාවෙ ඒ ගැටලු ටික ලිහාගෙන මහින්ද රාජපක්‍ෂ මුදාගැනීමේ මෙහෙයුමේ කොටස්‌කරුවන් ලෙස ආව කියල තමයි අප දකින්නේ.

No comments:

Post a Comment