Jan 4, 2015

මගේ න්‍යාය පත්‍රයේ බෙදුම්වාදයට කිසිම ඉඩක්‌ නැහැ - ජනාධිපති

04 Jan 2015
මගේ න්‍යාය පත්‍රයේ බෙදුම්වාදයට කිසිම ඉඩක්‌ නැහැ
- ජනාධිපති මහින්ද රාජපක්‍ෂ
ජනාධිපතිවරණයට සතියකට පෙරදී ඔහු හමුවන විට පිටියේ උණුසුම හොඳටම වැඩි වී තිබුණත්, ඒ උණුසුම වෙනුවට සුහදශීලී සිනහවකින් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අපව පිළිගත්තේය. ඒ "ඕන ප්‍රශ්නයක්‌ අහන්න" යන විවෘත ආරාධනාවෙනි. ඒ සමග ඇරඹුණු සංවාදයේ සටහනයි මේ.
ප්‍රශ්නය - ජනාධිපතිතුමනි, ඔබ දීර්ඝ දේශපාලන අත්දැකීම් සහිත නායකයෙක්‌. මැතිවරණ ක්‍රියාවලිය පිළිබඳව ඔබට අත්දැකීම් රාශියක්‌ තිබෙනවා. ඒ නිසා මෙවර ඡන්දයේදී මොකද වෙන්නේ කියලා ඔබට දැනෙනවා ඇති. මොකද? මෙවර සටනක්‌ තිබෙනවාද?
පිළිතුර - සටනක්‌ ඇත්තෙම නැහැ කියලයි මට පේන්නේ. මට මීට ඉස්‌සෙල්ලා මැතිවරණයකදී නොතිබුණු ප්‍රතිචාර මෙවර ලැබෙනවා. 2010 දී වත් නොතිබුණු ප්‍රතිචාරයක්‌ තියෙනවා. මම යන රැස්‌වීම්වලට සහභාගි වන ජනතාවගේ උෙද්‍යාaගයෙන්ම ඒක පෙනෙනවා.
ප්‍රශ්නය - ත්‍රස්‌තවාදයෙන් රට නිදහස්‌ කර ගැනීම, 2005 ජනාධිපතිවරණයේදී ඔබගේ ප්‍රමුඛ ප්‍රතිපත්තිය වුණා. 2010 දී ඔබ ප්‍රකාශ කළේ රටේ ආර්ථිකය, යටිතල පහසුකම් නඟාසිටුවීම සඳහා බලය ලබා දෙන්න කියලයි. 2015 දී ඔබ ජනාධිපති ලෙස යළිත් වරක්‌ ජනතාව විසින් පත්කර ගත යුත්තේ ඇයි?
පිළිතුර - ඇත්ත වශයෙන්ම අපි වර්තමාන තත්ත්වයේ සිටයි අනාගතය දෙස බැලිය යුත්තේ. චන්ද්‍රිකා කුමාරතුංගගේ පාලන කාලයේදී තමයි රටේ ආර්ථිකය සෘණ අගයකට ගමන් කළේ. එතැනදී ආර්ථිකය පමණක්‌ නොවෙයි මුළු රටම විනාශ වෙලා තිබුණේ. උතුරේ සිට රටේ සියලු තැන්වලට ත්‍රස්‌තවාදය පැතිරිලා තිබුණා. කටුනායක ගුවන්තොටුපළටත් ත්‍රස්‌තවාදීන් ප්‍රහාර එල්ල කළා. මේ නිසා රටේ ආර්ථිකය නඟාසිටුවන්නට නම් පළමුව කළ යුතු වුණේ සාමකාමී රටක්‌ බිහිකිරීමයි. ඒකට තිබ්බ විශාලම බාධාව වුණේ අවුරුදු තිහක්‌ තිස්‌සේ තිබ්බ යුද්ධය. ඒ යුද්ධය අපි අවුරුදු හතරකට අඩු කාලයක්‌ තුළදී අවසන් කළා. මෙතැනදී තමයි, යහපාලනය අවශ්‍ය වන්නේ. රාජ්‍ය කළමනාකරණයක්‌ නිවැරැදිව නොකළා නම් ඒ ජයග්‍රහණය සඳහා නායකත්වයක්‌ දෙන්න බැහැ. වෙනදා ඉලක්‌කයක්‌ නැතිව යුද්ධ කරද්දීත් මාධ්‍ය වාරණ පැනවුණා. අපි නිවැරැදි ඉලක්‌කයකට යුද්ධ කරද්දී වත් මාධ්‍ය වාරණ පැනවූයේ නැහැ. මෙහෙමයි යහපාලනය ඇතිව සාමකාමී රටක්‌ සඳහා මුල පිරුවේ.

http://www.divaina.com/2015/01/04/politics03.html

යුද්ධය ඉවර කළාට පස්‌සේ අපිට යටිතල පහසුකම් දියුණු කරලා රටේ සංවර්ධනය සඳහා ඊළඟ පියවර තබන්නට සැලසුමක්‌ තිබුණා. එතකොට රටේ විදුලිය තිබ්බෙ අතළොස්‌සකට පමණයි. නගරයට විතරක්‌ තිබ්බ විදුලිය ගමට අරගෙන ගිහිල්ලා, 96% ට වැඩියෙන් අද රටට විදුලිය දීලා තියෙනවා. මහ මාර්ග තිබ්බේ කොහොමද? අද තියෙන්නේ කොතැනද? වරාය පද්ධතිය අද කොහොමද එදා කොහොමද? මේ වගේ සියලු ක්‍ෂේත්‍රවල ශීඝ්‍ර සංවර්ධනයක්‌ අපි ඇති කළා. මේ අරලියගහ මන්දිරය ළඟ ගාලු පාර අයිනේ තියෙන හෝටලය හදන්න අවුරුදු දහයක්‌ පහළොවක්‌ විතර ගිහිල්ලා තියනවා. අපි මේ ඇති කරල තියෙන සංවර්ධනය කරල තියෙන්නේ අවුරුදු පහක්‌ හයක්‌ ඇතුළෙයි.

දැන් අපිට තියෙන්නේ දාපු අඩිතාලම ඉදිරියට අරගෙන යන්න. එතැනදී අපට රට තුළ නීතියේ ආධිපත්‍යය තදින්ම ක්‍රියාත්මක කරලා මීටත් වඩා යහපත් සමාජ වටපිටාවක්‌ හදාගන්න අවශ්‍යයි. ඒකයි මගේ ඊළඟ බලාපොරොත්තුව. එක පැත්තකින් විදේශගත ත්‍රස්‌තවාදීන් පිරිස්‌ රට තුළ යළිත් යුද්ධයක්‌ ඇතිකරන්නට සැලසුම් කරනවා. ඒක අපි පරාජය කළ යුතුයි. ඊළඟට මේ දැවැන්ත සංවර්ධන ක්‍රියාදාමය ඉදිරියට පවත්වාගෙන යා යුතුයි. ඒ සමගම සදාචාරය, සංස්‌කෘතිය රැකෙන ශක්‌තිමත් සමාජ වටපිටාවක්‌ ඇතිකර ගත යුතුයි. 2015 දී අප ජයගත යුත්තේ මේ අභියෝගයයි.

ප්‍රශ්නය - ඔබ පැවසුවා නීතියේ ආධිපත්‍යය පිළිබඳව. පසුගිය කාලයේ ඔබගේ ආණ්‌ඩුවෙන් ඉවත් වූ පිරිස, එසේ ඉවත්ව ගියේ ආණ්‌ඩුව තුළ ඉඳන් මේ ගැන කතා කරලා එයින් පලක්‌ නැති වෙන නිසා බව පවසනවා. එවැනි පරිසරයක්‌ තුළ නීතියේ ආධිපත්‍යයක්‌ මීට වඩා තදින් ඇති කිරීම කළ හැකි දෙයක්‌ද?

පිළිතුර - ඔය මහත්වරු එක්‌කෙනෙක්‌වත් එහෙම එක වචනයක්‌ කතා කරලා නැහැ. එහෙම කතා නොකරපු පිරිසක්‌ තමයි ඉවත්වෙලා ගියේ. කතාකරපු පිරිස අදත් අපි සමඟ ඉන්නවා. අඩුමගානේ හරියට කැබිනට්‌ පත්‍රිකාවක්‌වත් මේ අයට ඉදිරිපත් කරගන්න බැරි වුණා. වැඩිම කැබිනට්‌ පත්‍රිකා ගණනක්‌ ඉල්ලා අස්‌කර ගන්න වුණේ සෞඛ්‍ය අමාත්‍යංශයෙයි. මම තුන්පාරක්‌ විතර ඒ ගැන අවවාද කළා. කැබිනට්‌ ලේකම් මගින් අමාත්‍යංශ ලේකම්තුමාට ඒ ගැන ලියුමකුත් අපි යෑව්වා. එහෙම කැබිනට්‌ එකේ කටයුතු කරපු අය කොහොමද අනුන් ගැන විවේචනයක්‌ කරන්නේ. තමන්ගේ වැඩේවත් හරියට කරන්න බැරිකොට. වාසුදේව කතා කරනවා. ඩිව් ගුණසේකර, විමල් වීරවංශ, බැසිල් රාජපක්‍ෂ වගේ ඇමැතිවරු කැබිනට්‌ මණ්‌ඩලයේදී කතා කරනවා. ප්‍රතිචාර දක්‌වනවා. විවේචනය කරනවා. මම හිතන්නේ වැඩිම ප්‍රතිචාර කැබිනට්‌ පත්‍රිකාවලට දක්‌වන්නේ බැසිල්. එයා කැබිනට්‌ පත්‍රිකා හොඳට අධ්‍යයනය කරලයි එන්නේ.

එක ඇමැතිවරයෙක්‌ගේ ඉල්ලීම මත මම කැබිනට්‌ පත්‍රිකාවක්‌ දැම්මා. බත්තරමුල්ලේ, වෝටර්ස්‌ ඒඡ් එක ළඟ අක්‌කර දහයක ඉඩමක්‌ එයාගේ මල්ලිට දෙන්න කියලා. එතකොට එක ඇමැතිවරයෙක්‌ ඒකට තදින්ම විරුද්ධ වුණා. එතකොට අපි ඒක ඉවත් කරගත්තා. අන්තිම කාලේදී ඒකට තමයි අපෙන් ඉල්ලීම් කර කර ආවේ. අන්තිම දවසේදීත් ඔය ගැන ඇහැව්වා. මල්ලිට හෝටලයක්‌ හදන්න තමයි, එයා ඔය ඉඩම ගන්න හැදුවේ. සිරිසේනගේ මල්ලිට අක්‌කර දහයක්‌ ඉල්ලන කොට ඇමැතිවරයෙක්‌ විරුද්ධ වුණාම මම ඒක අස්‌කර ගත්තා. මේ කවුරු හරි ඇමැතිවරයෙක්‌ අදහස්‌ පළ කළොත් විරුද්ධ වුණොත් අපි ඒක පස්‌සට ගන්නවා.

ප්‍රශ්නය - නමුත් ජනාධිපතිතුමනි, චෝදනාවක්‌ තියෙනවා, ඇමැතිවරුන්ට කිසිදෙයක්‌ කරන්න බැරි තත්ත්වයකුයි තිබුණේ, සහෝදරවරු ඒ වැඩවලට බලපෑම් කරනවා කියලා.

පිළිතුරු - සහෝදරයන් එහෙම කරන්න ආවේ නැහැ. එහෙම කරන්න ආවනම් සහෝදරවරුන්ට යන්න වෙයි. අපේ ඇමැතිවරුන්ගේ හැටි දන්නේ නැද්ද? අවුරුදු දහයකට පස්‌සේ ද ඕක කියන්නේ.

ඉන්නකං මොකුත් කතා කළේ නැහැ. ගියාට පස්‌සෙයි ඒක කියන්නේ. විවේචනය කරන්න තියෙන නිදහස මම ඕනෑවට වඩා දුන්නා. ඇමැතිවරයකුගේ බලයට, අමාත්‍යාංශවලට කොයි වෙලාවකවත් ඇඟිලි ගැහැව්වේ නැහැ. කැබිනට්‌ මණ්‌ඩලයට යෝජනාවක්‌ ඉදිරිපත් කළාම අපේ නිරීක්‍ෂණ අපි ඉදිරිපත් කරනවා. ඒක ඇමැතිවරයකුට තියන අයිතියක්‌. පී. දිසානායකගේ පුතාගේ සමාගමයි, සිරිසේනගේ බෑනාගේ හරි පුතාගේ හරි සමාගමට පැය විසිහතරෙන් ඖෂධ 37 ක්‌ ගෙන්වන්න අනුමැතිය දීලා තියෙනවා. ඒක එහෙම කරන්න පුළුවන් දෙයක්‌ නෙවෙයි. අලුත් බෙහෙතක්‌ ගෙන්වන කොට ඒකට කමිටු වාර්තාවක්‌ හරහා එන ක්‍රමවේදයක්‌ තියෙනවා. ඒ ක්‍රමවේදය පැත්තකට දාලා සෞඛ්‍ය ඇමැති නියෝගයක්‌ දීලා තියෙනවා. ඖෂධ 37 ක්‌ පැය විසිහතරෙන් එක්‌ සමාගමකට ගෙන්වන්න සාමාන්‍යයෙන් මේ අනුමැතියට අවුරුදු දෙකක්‌ විතර යනවා. ඒක සුදුසු ද නැද්ද කියලා බලලයි අනුමැතිය දෙන්නේ. මෙතැනදී ඒ මොකුත් නැහැ.

ප්‍රශ්නය - ආණ්‌ඩුව තවමත් කියා සිටිනවා එල්. ටී. ටී. ඊ. ත්‍රස්‌තවාදයේ අනතුර ඉවර වෙලා නැති බව. ජනාධිපතිතුමනි ඇත්තටම එහෙම බලපෑමක්‌ තියෙනවාද?

පිළිතුර - අපි ඕමන්තේදී ආයි පරීක්‍ෂණ කරන වැඩපිළිවෙළ පටන් ගත්තා. එහෙම කළේ යුරෝපයේ තිබුණු එල්.ටී.ටී.ඊ. තහනම ඉවත් කළාම අපිට ඇතිවුණු තර්ජනය නිසයි එහෙම කළේ. පසුගිය අවස්‌ථා තුනකදී ත්‍රස්‌තවාදීන් හිස ඔසවන්නට උත්සාහ ගත්තා. ගෝපි කියලා ත්‍රස්‌තවාදියෙක්‌ යළිත් එල්. ටී. ටී. ඊ. යට පණ දෙන්න උත්සාහ කළා මතක ඇතිනේ. මේක තවමත් අළු යට ගිනි පුපුර වගේ තියෙනවා. බුද්ධි අංශවල කාර්යක්‍ෂමතාව නිසා අපිට මේවා හොඳින් කරගන්න පුළුවන් වුණා. ඔය අශුද්ධ සන්ධානය හදන්නෙ ඒ ත්‍රස්‌තවාදීන්ට යළිත් නැගිටින්න අවස්‌ථාව හදලා දෙන්නයි. ඒ ටික කවදාවත් අපෙන් නම් කරගන්න ලැබෙන්නේ නැහැ. මම මේ පුටුවේ ඉන්නකම් කිසිම ත්‍රස්‌තවාදියකුට, බෙදුම්වාදයකට මේ මවුබිම බෙදන්න ඉඩ තියන්නේ නැහැ. මාව මෙතැනින් අයින් කරන්න හදන්නේ ඒකනේ. මේ අශුද්ධ සන්ධානය සමග ඉන්න අය දැක්‌කාම ඒකේ නායකයන් කියන දේවල් ඒගොල්ලෝ කරපු දේවල් බලන කොට ඒක තේරෙනවනේ. බලන්නකෝ, ඒ අයගේ ප්‍රතිපත්ති ප්‍රකාශය දිහා. ඒකේ ඒකීය කියන වචනයවත් දාලා නැහැනේ. එතැනින්ම පේනවනේ ඒ අය බෙදුම්වාදයට කොයිතරම් ඉඩක්‌ දීලා තියනවද කියලා.

ප්‍රශ්නය - රාජපක්‍ෂ ආණ්‌ඩුව කටයුතු කරන්නේ, සදාකාලික රජ පවුලක්‌ ලෙස බලයේ ඉන්න බවට චෝදනාවක්‌ තියෙනවා. රටේ හැම තැනම මන්දිර හදාගෙන පවුලේ අය රජ කරද්දී ජනතාවට දුක උරුම වෙලයි කියලයි ප්‍රතිපාර්ශවය චෝදනා කරන්නේ?

පිළිතුර - කොහෙද එහෙම මන්දිර තියෙන්නේ? මම කළේ කඩාවැටෙන්න තිබ්බ ජනාධිපති මන්දිර අලුත්වැඩියා කරපු එකයි. මම එනකොට අරලියගහ මැඳුර තිබ්බෙත් ගරාවැටිලා. මම ඒක අලුත්වැඩියා කළා. ඉන්න තැන පිරිසිදුව තියාගෙන ඉන්න එපායෑ මොන පාලනයටත් ඉස්‌සෙල්ලා. මොකද මම මේවා අරගෙන යනවද? දැන් පරණ තුරඟ තරග පිටිය, පරණ විගණකාධිපති ගොඩනැඟිල්ල, ගාල්ලේ සහ කොළඹ ලන්දේසි රෝහල් ගොඩනැඟිලි, කොහොමද තිබුණේ? ඒවා විනාශවෙලා යන්න දෙන්න ද තිබ්බේ. ඒක හදන එක හොඳ නැද්ද? ප්‍රේමදාස ජනාධිපතිතුමා හදපු එහෙම නවාතැන් පළවල් තිබුණා. ඒවා කඩාවැටිලා විනාශවෙලා යන්න අරගෙනයි තිබුණේ. ඒවා හදන එකයි අපි කළේ. ඒක වරදක්‌ද? රාජ්‍ය දේපළක්‌ විනාශවෙලා යන්න ඉඩ හරිනවද? ඒක හදලා ප්‍රයෝජනයක්‌ ගන්නවද? මම නම් මාලිගා හදලා නැහැ. මගේ කවුරුවත් හෝටල් හදලත් නැහැ. මේ රාජ්‍ය දේපළ අලුත්වැඩියා කළේ නාවික හමුදාවෙන්. ඒකට සාමාන්‍ය වියදමෙන් 1/3 ක්‌ විතර තමයි ගියේ. ඔහොම චෝදනා තමයි අපිට කරන්නේ.

දැන් ජනාධිපති කාර්යාලයේ වැය ශීර්ෂය 365 න් බෙදලා ජනාධිපතිගේ දවසේ වියදම කියනවා. ජනාධිපති කාර්යාලය යටතේ ආයතන ගණනාවක්‌ තියෙනවා. ශ්‍රී ලංකා පදනම, මානව හිමිකම් කොමිෂන් සභාව, මේ වගේ ආයතන ගණනාවක්‌ අපිට තියෙනවා. මැතිවරණ කාර්යාලයේ ආයතනික කටයුතු කරන්නෙත් අපි. එහෙම කළාම මැතිවරණ කරන හැටි කියන්න අපිට අයිතියක්‌ නැහැ. ඒ සියල්ලේම අයවැය බලලා ඒක 365 න් බෙදලා ජනාධිපතිතුමාගේ දවසක වියදම මෙච්චරයි කියනවා. අයි. සී. ටී. ඒ. ආයතනය තිබෙනවා. ශ්‍රී ලංකා තොරතුරු තාක්‍ෂණ නියෝජිත ආයතනය කියන එක. එහි ඉ-ශ්‍රී ලංකා ව්‍යාපෘතියේ පිරිවැය ඩොලර් මිලියන 53 ක්‌. ඒකත් අයිතිවෙන්නේ ලේකම් කාර්යාලයට. එතකොට ඒකත් ජනාධිපතිගේ වියදමද? කාර්ය මණ්‌ඩල ගෙවීම්, ආරක්‍ෂක කටයුතු ආදිය ද මෙයට ඇතුළත් වෙනවා. මෙහෙම කතා කියල ද මේ අය ජනතාව රවට්‌ටන්න හදන්නේ.

මගේ කෑම ගැන ද දන්නේ නැහැ මේ කියන්නේ. (සිනාසෙමින්) සිරිසේන යන්න ඉස්‌සෙල්ලා දවසේ ආප්පේ කෑවෙත් ඒ සල්ලි වලින්. මට හාමුදුරුකෙනෙක්‌ වැඩමකළාම දානය නොදී පිටත් කරන්න බැහැනේ. කෑම ටිකක්‌ එතකොට නොදී බැහැනේ. මට නම් තනියම කාලා පුරුදු නැහැ. අපේ ගෙවල්වල එහෙමයි. ගෙදරට ආපු හැමෝටම කෑම දෙනවා. මෙහෙත් එහෙමයි මැතිවරණය ප්‍රකාශයට පත් කරපු දවසේ ඉඳලා දරන වියදම් වත් ආණ්‌ඩුව දරන්නේ නැහැ.

ප්‍රශ්නය - එජනිසයත් සමග සිටි සමහර පක්‍ෂ ඔබගෙන් දැන් වෙන්වෙලා ගිහින් තියෙනවා. ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසයත් එයින් එකක්‌. ඇයි මෙහෙම සමහර පක්‍ෂ ඔබගෙන් ඉවත්ව ගියේ.

පිළිතුර - පක්‌ෂයක්‌ විදිහට මුස්‌ලිම් කොංග්‍රසය විවිධ කාලවල විවිධ ඉල්ලීම් කළා. ඒ එකකදීවත් රට බෙදන රටේ වෙනම කලාප හදන යෝජනාවලට අපි කැමති වුණේ නැහැ. ඒක අපේ ප්‍රතිපත්තිය නෙමෙයි. ඒකීය ශ්‍රී ලංකාව සුරක්‌ෂිත කරපු අපි, ඒක බෙදන්න කිසිම හේතුවක්‌ උඩ ඉඩ තියන්නේ නැහැ. මුස්‌ලිම් කොංග්‍රසය අපෙන් ඉවත් වෙන්න බලපාපු ආසන්නම හේතුව තමයි ඒ අය නැගෙනහිරට වෙනම මුස්‌ලිම් කලාපයක්‌ ඉල්ලපු එක. එහෙම කලාපයක්‌ ඇති කළොත් මේ රටට මොකද වෙන්නේ. ඒකෙ ඇතුළේ ඉන්න අනිත් ජාතීන්ට මොකද වෙන්නේ. ඒ යෝජනාව පිළිගන්න අපිට පුළුවන්ද? මම ඒ යෝජනාව ප්‍රතික්‍ෂේප කළා. මට මේ රටට ෙද්‍රdaහියෙක්‌ වෙන්න පුළුවන්ද? කවුරුහරි ඡන්ද ටිකක්‌ පෙන්නුවට දෙමළ කලාප, මුස්‌ලිම් කලාප, සිංහල කලාප කියලා අපි කලාප වෙන් කරගෙන මේ රට බෙදන්න දෙන්න මම නම් ඉඩ දෙන්නේ නැහැ. ඒ ඉල්ලීම්වලට එකඟ නුවුණ නිසා ඒ අය අපෙන් ඉවත්වෙලා ඒක කරන්න කැමති වෙච්ච අයට එකතු වුණා.

ප්‍රශ්නය - රාජ්‍ය මාධ්‍යවල ස්‌වාධීනත්වය පිළිබඳ ප්‍රශ්නයක්‌ ඇතැයි අනෙක්‌ කණ්‌ඩායමෙන් චෝදනාවක්‌ තියෙනවා. ජනාධිපතිතුමනි ඇයි ඔබට රාජ්‍ය මාධ්‍ය ආයතනවලට ස්‌වාධීනත්වයක්‌ ලබාදෙන්න බැරි? අඩුම වශයෙන් ඒ සඳහා උපමානයන් වත් ලබා දෙන්න බැරිද?

පිළිතුර - රාජ්‍ය මාධ්‍ය ආයතන පමණක්‌ නොවෙයි, සියලුම මාධ්‍ය ආයතන ස්‌වාධීනත්වයෙන් කටයුතු කළ යුතුයි කියන එකයි මගේ අදහස. ඒක එහෙම වෙනවාද නැද්ද කියලා ඔබ දන්නවනේ. අපෙන් අහන්නේ රාජ්‍ය මාධ්‍ය ආයතන ගැන විතරනේ. අනිත් ඒවා දිහාත් බලන්නකෝ. රාජ්‍ය මාධ්‍ය ආයතන කීය ද තියෙන්නේ. වැඩිපුර තිබෙන්නේ පුද්ගලික ඒවානේ. ඒවායේ මට එල්ල කරන ආණ්‌ඩුවට එල්ල කරන ප්‍රහාර බලන්නකෝ. ඒවා ස්‌වාධීනද? සමහර ඒවායේ වැඩසටහන් කරන්නේ මුදල් ගෙවලනේ. මට රාජ්‍ය මාධ්‍යවලට උපමාන දෙන්න බැහැ. මම අපේක්‍ෂකයෙක්‌නේ. ඒ සඳහා මැතිවරණ කොමසාරිස්‌තුමා උපමාන ලබාදීලා තියෙනවානේ. අනිත් එක මම උපමාන දෙන්නම්, ජනාධිපති විදිහට ඒක සියලුම මාධ්‍ය ආයතන පිළිගන්නවානම්. එක අංශයකට විතරක්‌, තහංචි හරි උපමාන හරි දෙන්න කාටවත් බැහැනේ. ඒක පොදුවේ සියලු දෙනාට වලංගු විය යුතුයි.

දැන් බලන්නකෝ පුවත්පත් දිහා. ඔය එකකවත් සිරිසේනගේ ඥතිකමක්‌ ඇතිකර ගන්න යනවයි කියපු හිතවත් පාර්ශවයක්‌ ළඟ තිබිලා ඒ අයම පැමිණිලි කරලා සල්ලි බෑග් එකක්‌ අසුවුණා. ඒක මොන පත්තරේද දැම්මේ. අපේ කාගේ හරි එහෙම එකක්‌ තිබිලා අහුවුණා නම් කොහොම වෙයිද? එහෙනම් පත්තර ඔක්‌කොගේම ලොකු අකුරෙන් හෙඩ් ලයින් එකේ තියේaවි. අනිත් අයගේ ගාව ඩොලර්, µ්‍රEන්ක්‌ තිබ්බොත් ඒක නැහැ. මෙහෙම අලුත් නෝට්‌ටු කොහෙන්ද? ඖෂධ පනත නැති වුණේ මේ නිසාද? පනතක්‌ රැකගන්න බැරි අයනේ මේ බලය ඉල්ලන්නේ. ඕක විෂය භාර ලිපිකාර මහත්තයා ගාවවත් තියෙන්න එපායෑ. මේකේ තියෙන්නේ කොපියක්‌ විතරලු.

ප්‍රශ්නය - ඔබගේ ආණ්‌ඩුව විසින් කරලා තියෙන සංවර්ධන කටයුතු, ඒ සඳහා ගිය වියදමෙන් 1/3 ක මුදලකින් කරන්න පුළුවන් කියලා අනික්‌ පාර්ශවය චෝදනා කරනවා.

පිළිතුර - ඒක නිකං කතාවක්‌ විතරනේ. එහෙම නිකං කතා කියන්න කාටද බැරි. මේවාට කොන්ත්‍රාත්කාරයෝ තෝරන්නේ මම නෙවෙයි. මම හොර පාරෙන් එහෙම කිසි දෙයක්‌ කරලා නැහැ. අධිවේගී මාර්ග සඳහා ලොකු මුදලක්‌ වැය වෙනවා. ඒකට ප්‍රධාන හේතුව තමයි, අපි ඉඩම් පවර ගන්නේ තක්‌සේරු වටිනාකමට නෙමෙයි. මාර්කට්‌ වැලිව් එකට. ඒ කියන්නේ ඒ පැතිවල ඉඩම් විකිණෙන මිලට. ඒ නිසා තමයි මිනිස්‌සු කැමැත්තෙන් ගියේ. අපි බලහත්කාරයෙන් මිනිස්‌සු යෑව්වේ නැහැ. ඒවාත් මේවාට එකතු වෙනවා. ඔය සමහරුන්ගේ අමාත්‍යංශවල වගේ අනුමත කරන්න කියලා මම අත්සන් ගහලා යටින් වැඩ කරලා නැහැ.

අනිත් එක එයාගේ මැතිවරණ ප්‍රකාශනයේ තියනවා මේ කටයුතු දහයෙන් එකක වියදමෙන් කරන්න පුළුවන් කියලා. තව තැනක තියෙනවා 50% කින් පුළුවන් කියලා නවීන් කියනවා 1/3 න් කියලා. දැන් එයාගෙන්ම අහන්නකෝ මොකක්‌ද හරි කියලා.

මම උදාහරණයක්‌ කියන්නම්කෝ කොළඹ වරායේ දිය කඩනය හදන්න, ඇ. ඩොලර් මිලියන 440 ක්‌ ගිහිල්ලා තියනවා. ඒකට ආසියානු සංවර්ධන බැංකුව දීලා තියෙනවා. ඇ. ඩොලර් 340 ක්‌. ආසියානු සංවර්ධන බැංකුව ගණනය කිරීම් නොකර අපිට එහෙම ණය දෙයිද? එයා කියන විදිහට දහයෙන් එකෙන් මේක කරනවා නම් ඇ. ඩොලර් මිලියන 41 කින් ඒක කරන්න පුළුවන්නේ. එහෙම කරනවා නම් ආසියානු සංවර්ධන බැංකුව මෙච්චර ණයක්‌ දෙයිද? මේවා තක්‌සේරු කරන්නේ ඒ බැංකුවේ යාන්ත්‍රණයක්‌ මගින්. ඒ අය ගණන් හදලා මෙහෙම ණයක්‌ අපිට දෙයිද? මේක දහයෙන් එකකින් කරන්න පුළුවන් නම්.

මේ තක්‌සේරු කටයුතු ටෙන්ඩර් පටිපාටිය කරන්නේ රාජ්‍ය සේවකයෝ. මේ චෝදනා කරන්නේ අපිට නෙමෙයි. රාජ්‍ය සේවකයන්ට. එහෙම අපිට ඕනෑ අයට ටෙන්ඩර් දෙනවානම් දයා ගමගේට කොන්ත්‍රාත් දෙනවද? එයාගෙන් අපි කොමිස්‌ ගන්නවාද? එහෙම දුන්නානම් කියන්න පුළුවන්නේ. වෙන ආණ්‌ඩු කාලවලදී මේ වගේ විරුද්ධ පක්‍ෂවල අයට ලොකු කොන්ත්‍රාත් දුන්නද?

ප්‍රශ්නය - දෙමළ ජාතික සන්ධානයේ කැමැත්ත ප්‍රකාශ කරලා තියෙන්නේ, මෛත්‍රීපාල මහතා වෙතයි. මේ නිසා ඔබට උතුරෙන් විශාල ඡන්ද ප්‍රමාණයක්‌ අහිමි වෙනවා. ඒක අවාසියක්‌ නෙවෙයිද?

පිළිතුර - ඕක අපි කලින්ම දන්නවනේ. මට ගිය පාර හම්බ වුණේ ඡන්ද හතළිස්‌ හයදාහයි. මේ පාර මම හිතනවා ඊට වඩා වැඩි වෙනවා කියලා. මගෙන් කරගන්න බැරිවෙච්ච දේවල් සිරිසේනගෙන් කරගන්න පුළුවන් කියලා ඒ අය කියලා තිබ්බනේ. මගෙන් කරගන්න බැරි වුණේ රට බෙදාගන්න බැරි එකනේ. ඒක එතැනින් පුළුවන් නිසානේ එතැනට ගියේ.

No comments:

Post a Comment