Jan 4, 2015

‘වංචා දූෂණ පැමිණිලි ජනපති ගණන් ගත්තේ නැහැ‘‘ - හෙළ උරුම නායකයෝ

04 Jan 2015
හෙළ උරුම නායකයෝ මල්වතු මහ නාහිමිට කියති
2015 ජනවාරි මස 04 15:38:08 |
 ‘‘බලය ලැබුණාම බොහෝ අය බලයෙන් මත් වෙනවා. ඒක තමයි වැරැද්ද. පවතින ක්‍රමයෙන් බලය එන්න එන්නම වැඩි වෙනවා. තමුන්නාන්සේලා එකතුවෙලා මේ අසීමිත බලය පාලනය කළ හැකි ක්‍රමයකට අවතීර්ණ විය යුතුයි.‘‘ යනුවෙන් ජාතික හෙළ උරුමයේ ඕමල්පේ සෝභිත හිමි හා පාඨලී චම්පික රණවක මහතා හමුවූ අවස්ථාවේදී මල්වතු පාර්ශවයේ මහා නායක තිබ්බටුවාවේ සුමංගල මාහිමියෝ කීහ.
සුමංගල හිමියෝ ඔවුන්ගෙන් ‘‘පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ව්‍යවස්ථාව පිළිබඳව මාධ්‍යවල විවිධ දේවල් පළවෙනවා. එතුමාට බලය ලැබුණොත් රට දෙකඩ කරන බවට මත පළවෙනවා. ඇතැමුන් කියන ආකාරයට ඔබතුමන්ලා සමග සම්බන්ධවූ පක්ෂ සමග වෙනත් ගිවිසුම් තිබෙනවාද යනුවෙන් ප්‍රශ්න කළහ.
 ‘‘අපි සෑම අවස්ථාවකදීම රටට විපතක්වූ විට හෝ රටේ ඒකීය භාවයට හානියක් වන සෑම අවස්ථාවකම අප ඊට එරෙහිව කටයුතු කළා. පෙරට ආවා. රටට එවැනි විපතක් හෝ රටේ ඒකීය භාවයට හානියක් හෝ ත්‍රස්තවාදයක් නැවත හිස එසැවීමට මොනම ආකාරයකින්වත් අපි ඉඩ තබන්නේ නැහැ. ජීවිත පූජාවෙන් හෝ ඒවා නතර කිරීමට අපි කටයුතු කරනවා. කිසිම කෙනකු සමග, කිසිම පක්ෂයක් සමග හෝ රවුෆ් හකීම්ගේ පක්ෂය හෝ දෙමළ ජාතික සන්ධානය සමග හෝ අපි ගිවිසුමක් අත්සන් කර නැහැ. ඔවුන් මේ අවස්ථාවේ අප සමග එකතුවී සිටින්නේ රටට ප්‍රජාතන්ත්‍රවාදය ඇති කිරීම සඳහා පමණයි.
මහින්ද රාජපක්ෂ මහතාට අපි මේ පවතින පාලන ක්‍රමයේ ඇති වැරදි, වංචා, දූෂණ ගැන නිතරම පෙන්වා දුන්නා. ඒත් එතුමා ඒවා පිළිගත්තේ නැහැ. ඒ නිසයි අපි මේ පියවර ගත්තේ. මහා සංඝරත්නය ජනතාව කියන දේවල් පිළිගෙන කටයුතු කළානම් මහසෙන් දෙවියන්ට වගේ තත්ත්වයකට පත්වෙන්න හැකි අයෙක් තමයි මහින්ද රාජපක්ෂ මහතා. අපිට ඒ ගැන කණගාටුයි.‘‘ යනුවෙන් ජාතික හෙළ උරුම නායකයෝ පිළිතුරු දුන්හ.
පාඨලී චම්පික රණවක මහතා වැඩිදුරටත් මෙසේ කීවේය.
‘‘රටේ ජනතාව හා හමුදාව විනාශ කරපු ශ්‍රී දළඳා මාළිගාවට බෝම්බ ගහපු, අනුරාධපුර ශ්‍රී මහා බෝධින් වහන්සේ වැඩ සිටි පරිශ්‍රයට වෙඩි ප්‍රහාර එල්ල කර අහිංසක බැතිමතුන් ඝාතනය කර පින්බිම ලේ විලක් කරපු අරන්තලාවේ භික්ෂූන් ඝාතනය කරපු කේපී, කරුණා අද ඉන්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ තුරුළේ. අපි ළඟ කොටි නැහැ. අපි දළඳා සමිදුන් ඉදිරියේ දිවුරුම්දී තිබෙනවා මේ රට රකින්න‘‘

No comments:

Post a Comment