Dec 6, 2014

01 Dec 2014   ජනාධිපති
යම් දුරකට පිරිහී ඇති විනයත් නැවත ඇතිකොට
ත්‍රස්‌තවාදයෙන් නිදහස්‌ කරගත් රට
සංවර්ධන මාවතේ ඉහළටම ගෙනයනවා

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ
මේ රට එක්‌තරා දුරකට විනය පිරිහීමක්‌ ඇතිවී තිබෙනවා. අපි රට නිදහස්‌ කළා. රටේ සංවර්ධනය ඇති කරලා එය ඉදිරියට කරගෙන යන ගමන් අපේ ඊළඟ වැඩපිළිවෙළ රට තුළ විනයක්‌ ඇති කිරීම යයි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවැසීය.

නෙළුම් පොකුණ රඟහලේදී පසුගිය සිකුරාදා (28 දා) පස්‌වරුවේ පැවැති පූජා භූමි ලෙස ගැසට්‌ කරන ලද සිද්ධස්‌ථාන වෙත සන්නස්‌පත්‍ර පිළිගැන්වීමේ හා ජනාධිපතිතුමා සම්බුද්ධ ශාසනයට කරන ලද යුග මෙහෙවරට සමස්‌ත ලංකා ශාසනාරක්‍ෂක බල මණ්‌ඩල ස්‌වාමීන් වහන්සේලා ආශීර්වාද පළ කිරීමේ උත්සවයේදී ජනාධිපතිරවයා මේ බව සඳහන් කළේය.

http://www.divaina.com/2014/12/01/news21.html



අස්‌ගිරි පාර්ශ්වයේ මහානායක අති පූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධ රක්‌ත, රාමඤ්ඤ මහා නිකායේ මහානායක අති පූජ්‍ය නාපානේ ප්‍රේමසිරි, අමරපුර මහා නිකායේ මහානායක අතිපූජ්‍ය දවුල්දෙන ඥනිස්‌වර මහානායක හිමිපාණන් වහන්සේලා ප්‍රමුඛ ෙත්‍රෙනිකායික මහා සංඝරත්නය මෙම අවස්‌ථාවට වැඩම කර සිටියහ.

ජනාධිපතිවරයා මෙසේද කීවේය.

ශාසනාරක්‍ෂක බල මණ්‌ඩලවල හිමිවරුන් වගේම දිවයිනේ සතර දිග් භාගයෙන් මේ ස්‌ථානයට වැඩම කළ ගෞරවණීය ස්‌වාමීන් වහන්සේලා බැහැදැකීමට ලැබීම නිසා මම ඉතාමත් සතුටු වෙනවා. ඒ සතුට තවත් වැඩි වෙනවා. මුළු රටම බෞද්ධකම ගැන ඉතාම උනන්දුවක්‌ දක්‌වන යුගයක, පුනර්ජීවනයක්‌ ඇතිවෙන යුගයක ඔබ වහන්සේලා බැහැදැකීම නිසා.

බෞද්ධකම් ගැන උනන්දු වෙන වටාපිටාවක්‌ ඇති කිරීමට මේ රජයෙන් විශාල වැඩ කොටසක්‌ කළා. මට මතකයි එදා මේ රටේ අග්‍රාමාත්‍යවරයා හැටියට මම පන්සල්වලට යන කොට සමහරු පන්සල්වලට ගිහින් දේශපාලනය කරලා දිනන්න බැහැ කියලා මට සමච්චල් කළා. එදා හිටපු අය පන්සලට යන එක හාස්‍යයට ලක්‌ කළා අමුතු විදිහට බැලුවේ. අද එය ඈත්වෙලා. අද හැමෝම පන්සලට යන්න. මහානායක හිමිවරුන් බැහැදකින්න අනිවාර්යයෙන්ම යන තත්ත්වයකට ගෙන එන්න අපට හැකිවෙලා තිබෙනවා කිව්වොත් එය නිවැරදියි. ආගම වාගේම ඉතිහාසයත් කියන දෙකම නැති කරන්න මතවාද රට තුළ ඇතිකළා.

මේ සඳහා සමහර සංවිධාන ඒ කාලේ විශාල මුදල් කන්දරාවක්‌ ලංකාවට පොම්ප කළා. අපේ රටේ අවුරුදු තිහක ත්‍රස්‌තවාදය ගැන පිළුණු වුණු කතාවක්‌ අපි වේදිකාවේ කරනවා කියලා සමහරු අදහස්‌ දක්‌වා තිබෙනවා. නමුත් මේ ත්‍රස්‌තවාදය පිළුණු වුණත් රණවිරුවන් යුද අධිකරණයට ගෙන යාමට බොහොම සන්තෝෂයෙන්, ඉතාම ආඩම්බරයෙන් අල් ජසීරා රූපවාහිනී නාලිකාවේ ප්‍රකාශ කරනවා. තිස්‌ අවුරුදු ත්‍රස්‌තවාදයෙන් මේ රට නිදහස්‌ වෙලා. තැනින් තැන මිනිසුන් මැරෙන එක, අරන්තලාවේ අපේ ස්‌වාමීන් වහන්සේලා ඝාතනය කළ එක, දරුවන් මැරුණු එක, අපේ නායකයන් මරා දමපුවා සියල්ල අමතක කරලා, එය පැත්තකට විසි කර දමලා අද කතා කරන්නේ රට බේරාගත් මේ රණවිරුවන් හා අපි යුද අධිකරණයට ගෙන යන්න. එය ලෝක ද්‍රවිඩ සංවිධානයක සභාපතිවරයා ප්‍රකාශ කරන කොට ඒ දෙපැත්තේ ඉන්නේ රජයේ හිටපු මන්ත්‍රීවරයෙක්‌ හා විපක්‍ෂ මන්ත්‍රීවරයෙක්‌.

ඒ අයගේ කාලයේ දළදා මාලිගාව, ශ්‍රී මහා බෝධීන් වහන්සේ බේරාගන්න ඒ අයට බැරිවුණා. සේරුවාවිල, නාගදීපය, ලංකා පටුන, සෝමාවතිය, මුහුදු විහාරය, තිරියාය වාගේ තැන්වලට බෞද්ධයන්ට යන්න තියන අයිතිය ආරක්‍ෂා කර දෙන්න ඒ අයට බැරි වුණා. අද ඒ අය අපිව ඒ තැන්වලට ඇද දමන්න පියවර ගන්නවා. බොරු ප්‍රචාර, නොයෙක්‌ මතවාද ප්‍රචාරය කරමින් මඩ ගසනවා. දකුණේ අධිවේගය හදන කොට කිව්වා වගේ නුවරට මොනවා කියයි ද දන්නේ නැහැ. යාපනයට, ත්‍රිකුණාමලයට යනවා. තව වසර දෙකකින් පමණ ඔබ වහන්සේලාට පැයයි විනාඩි විස්‌සකින් නුවර ඉඳලා කොළඹට වඩින්න පුළුවන්.

රටක්‌ දියුණු කරන්න නම් මේවා කරන්න ඕනෑ. අපි ත්‍රස්‌තවාදය අවසන් කළා. පළමු වර ත්‍රස්‌තවාදය අවසන් කරලා රටක්‌ සංවර්ධනය කිරීම අපි සිදුකළා. එහිදී ජනතාව සංවර්ධනය වුණා. රට සංවර්ධනය වුණා. එහෙම නැතිව රටක්‌ එක තැන පල්වෙන්න ඉඩ හරින්න බැහැ. ඒ සමගම ආගමික පුනර්ජීවනයක්‌ ඇති කරන්න පුළුවන් සෑම දේම කරන්න අපි සූදානම් වෙලා ඉන්නවා. එය බුද්ධ ශාසන අමාත්‍යාංශයෙන් පමණක්‌ නොවෙයි ත්‍රිවිධ හමුදාව, ආරක්‍ෂක අමාත්‍යාංශය, ජනාධිපති අරමුදල, පූජා භූමි දෙපාර්තමේන්තුව, සිවිල් ආරක්‍ෂක ඒකකය ආදී සෑම ආයතනයක්‌ම බුද්ධ ශාසනය වෙනුවෙන් විශාල වැඩ කොටසක්‌ කරගෙන යනවා එය සිදුකරන්න ඕනෑ. එය නතර කරන්න අපට බැහැ. ඒ වගේම බුද්ධ ශාසනයට තිබෙන අනාගත අභියෝග අපි වටහාගන්න ඕනෑ. අද තිබෙන එක්‌ ඉල්ලීමක්‌ තමයි උතුරෙන් ත්‍රිවිධ හමුදාව ඉවත් කරනවා නම් ඒ අයගේ සහයෝගය දෙනවා කියනවා. සමහරු දැනටමත් උතුරේ තිබෙන සිද්ධස්‌ථාන ඉවත් කරන බව ප්‍රකාශ කර තිබෙනවා.

මේ වගේ ප්‍රකාශ, රණවිරුවන් ජාත්‍යන්තර යුද අධිකරණයට ගෙන යනවා කියනවා වැනි ප්‍රකාශ මේවා පිළිබඳවත් අපේ අවධානය යොමුකරන්න ඕනෑ. මාව වෙනස්‌ කරන්න එකම හේතුව විධායක ජනාධිපති ක්‍රමය නම් එයත් වෙනස්‌ කළ හැකි මටයි. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක්‌ තිබෙන්නේ මට පමණක්‌ නිසා. දින සියයකින් ව්‍යවස්‌ථාවක්‌ වෙනස්‌ කරන්න පුළුවන් නම් එය පුදුමයට කාරණයක්‌. එහෙම කරන්න බැහැ ඒ සඳහා තුනෙන් දෙකක බලයක්‌ අවශ්‍යයි. ව්‍යවස්‌ථාවක්‌ වෙනස්‌ කරන්න ආවාට ගියාට වෙනස්‌ කරන්න බැහැ. බණ්‌ඩාරනායක මැතිනිය ව්‍යවස්‌ථාව වෙනස්‌ කරන වෙලාවේ කොල්වින් ආර්. ද සිල්වා මහතා අවුරුදු දෙකක්‌ පාර්ලිමේන්තුවේ ඒ ගැන කතා කරලයි වෙනස්‌ කළේ. හදිසියේ ව්‍යවස්‌ථා වෙනස්‌ කළොත් මහත් ප්‍රශ්න ඇතිවෙනවා. 13 වන වගන්තිය පැය විසි හතරෙන් හඳුන්වා දුන්නේ ස්‌වාමීන්වහන්සේලා හා රටම විරෝධය පාන කොට එයින් අදත් අපි අමාරුවේ වැටෙනවා. අදටත් එය විසඳිලා නැහැ.

හිසරදයට කොට්‌ටය මාරු කරනවා වගේ මේවා මාරු කරන්න බැහැ. එයට පාර්ලිමේන්තු කාරක සභාවක්‌ පත්කරලා තිබෙනවා. එය පාර්ලිමේන්තුවේ කාර්යයක්‌. ඒ සියලු දෙනා ඇවිත් පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරලා එයට විසඳුමක්‌ ගෙනෙන්න ඕනෑ. ඔවුන්ට ඒ සඳහා අයිතිය තිබෙනවා. නමුත් ඔවුන් එයට සහභාගී වෙන්නේ නැහැ. අපි අවස්‌ථාව දී තිබෙනවා. ආවාට ගියාට කරන්නේ නැතිව එක්‌ වගන්තියක්‌ ඉවත් කරනකොට අනික්‌ පැත්තෙන් වෙන බලපෑම් සොයා බලන්න ඕනෑ. 13 වන වගන්තිය තබාගෙන විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවාද නැතිනම් එහි වෙනස්‌කම් ඇති කරලා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවාද. පාර්ලිමේන්තුවේ ඡන්ද ක්‍රමය වෙනස්‌ කරනවාද, මේවා පිළිබඳව සාකච්ඡා කරලා යම් තීන්දුවක්‌ ගන්න ඕනෑ. එය ඔවුන්ගේ කාර්යභාරය, හැම 

දෙයකටම කාලයක්‌ තිබෙනවා. ඒ කාලය අවශ්‍ය වෙලාවට ලබාගන්න පුළුවන්.

මේ රටේ එක්‌තරා දුරක විනය පිරිහීමක්‌ ඇතිවෙලා තිබෙනවා. අපි රට නිදහස්‌ කළා. රටේ සංවර්ධනය ඇති කරලා එය තහවුරු කරගෙන ඉදිරියට කරගෙන යන ගමන් අපේ ඊළඟ වැඩපිළිවෙළ රට තුළ විනයක්‌ ඇති කිරීම බව අපි බොහොම පැහැදිලිව කියනවා. ඒ විනය ඇති කරගෙන තමයි ඉදිරියට අපි මේ වැඩපිළිවෙළ කරගෙන යන්නේ. බොරු ප්‍රචාර නොයෙක්‌ අයට විරුද්ධව එහාට යනවා. මෙහාට යනවා. දූෂණය ගැන කතා කරනවා. එක කාලයක්‌ ගාලු පාරම මගේ කිව්වා. කොළඹ ගෙයක්‌ හැදුවාම, වත්තක්‌ දුටුවාම එය අපේ පවුලේ අයගේ කියනවා. මේ විදිහට තමයි අපට මඩ ගසන්නේ. අපි කිසි විටෙක කලබල වෙන්නේ නැහැ. ඔබ වහන්සේලාගේ ආශීර්වාදය මා සමග තිබෙන බව මම දැඩිසේ විශ්වාස කරනවා. මෙවර මම නේපාලයට ගිහින් ලුම්බිණිය වැඳපුදා ගෙන ආවා. 1970 දී ලුම්බිණිය සංවර්ධනය කරන්න ඕනෑ කියා පාර්ලිමේන්තුවේදී මා යෝජනා කළා. ඒ සඳහා ඡේ. ආර්. ජයවර්ධන මහතාත් සම්බන්ධ වුණා. අද අපි විහාරයක්‌ හදලා තිබෙනවා. විනාශ වී ගිය විශ්‍රාම ශාලා අලුතෙන් සකස්‌ කර තිබෙනවා. පාර සකස්‌ කරන වැඩ කටයුතු කරනවා. පාලමක්‌ හදලා තිබෙනවා. අපි මෙහේ පමණක්‌ නොවෙයි බුදුන් උපන් භූමියත් සංවර්ධනය කරන්න, එතෙර බෞද්ධ පුනර්ජීවනය සඳහාත් අපි කටයුතු කරනවා.
ෙත්‍රෙනිකායික මහානායක හිමිපාණන් වහන්සේලා වෙනුවෙන් මල්වතු පාර්ශ්වයේ අනුනායක ආචාර්ය නියංගොඩ විජිතසිරි නාහිමිපාණෝ

ජනාධිපතිතුමා තුන්කල් බලා රටට අදාළව මහා සංඝරත්නයේ ආශීර්වාද ලබා කටයුතු කරනවා. අතීතය, වර්තමානය, අනාගතය යන තුන් කාලයට රටේ ප්‍රගමනය පිළිබඳවත් රටේ සාමය, සමෘද්ධිය පිළිබඳවත් වටිනා ආකල්ප අන්තර් ගත වූ බව අප හැමදෙනා වහන්සේම දන්නා කාරණයක්‌.

ජනාධිපතිතුමා 2005 දී ජනාධිපති අපේක්‍ෂකත්වය ලබාගෙන මැතිවරණයට ඉදිරිපත් වන එම බහුතර ජනතාවගේ කැමැත්ත ලබාදීමට මහා සංඝරත්නය මූලිකව කටයුතු කළා. ඉන් අනතුරුව එතුමා යුද්ධය අවසන් කළ ආකාරයත් ඒ යුද්ධය අවසන් කළ අවස්‌ථාව වන විට ඇති වූ විවිධ බාධක, අභියෝග පිළිබඳවත් අප හැමදෙනා වහන්සේම සිහියට නගාගත යුතුව තිබෙනවා. මෙලෙසින් කල්පනා කරන විට මේ රට කරවූ නායකයන් අතුරින් ජනාධිපතිතුමන් සිදුකළ කාර්ය සමුදාය සන්සන්ධනාත්මකව විමසා බලන විට ඉතා විශිෂ්ටයි. අර්ථාන්විතයි.

ජනාධිපතිතුමා කෙරෙහි මහා සංඝරත්නයේ සිත් තුළ පවතින ප්‍රසාදජනක හැඟීම සදාකල් පවතිනවා. ධීරත්වය, වීරත්වය, ශූරත්වය, සාරත්වය යන මේ අංග හතර පුද්ගල ජීවිතයකට, නායකත්වයට ඇතුළත් ජීවිතයකට අන්තර්ගත වනවා නම් එය අනභිබවනීය වන බව ඉපැරණි භාරතීය සාහිත්‍යයෙන් අප ඉගෙනගත් කාරණයයි.

එතුමාගේ මේ ආණ්‌ඩු පාලන ගමන් මාර්ගයේ අවුරුදු හතළිස්‌ ගණනක්‌ තුළ ඉදිරියට ගමන් කළේ බොහෝ කටුක, දුෂ්කර ගමන් මාර්ගයක්‌ වශයෙනුයි. ගමේ ඉපදිලා ගම හඳුනාගෙන, ගමේ පන්සල හඳුනාගෙන කුඩා කාලයේ පටන්ම හැදී වැඩී සැමදෙයක්‌ම දරා ගැනීමට හැකි මානසික ශක්‌තියක්‌, යෝධ බලකාය ශක්‌තියකින් යුක්‌තව හැදුණා, වැඩුණා. අගනුවරට පැමිණියා. දේශපාලනයට පැමිණියා. අනෙකුත් කටයුතු කාරණාවලදී ඒ දරා ගැනීමේ ශක්‌තිය එතුමාට තිබුණා.

නායකයෙක්‌ වශයෙන් එතුමා ගන්නා ලද දැඩි තීරණ හේතුවෙන් යුද්ධයේ සාර්ථකත්වය ලබාගන්න පුළුවන්කම ලැබුණා.

ධීර, වීර, ශූර යන ඒ වටිනා ගුණාංගවලින් යුත් ජනාධිපතිතුමා මේ රටට අවශ්‍යයි. එතුමා අපේ ගමට අවශ්‍යයි. ගමට පාර, වතුර ලබාදුන්නේ එතුමායි. එතුමා ගමට පළාතට ප්‍රදේශයට අවශ්‍යයි. ඒ නිසා රටට අවශ්‍යයි මේ නායකත්වය තවදුරටත් රටේ ඉදිරි පැවැත්මට අවශ්‍යයි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය හඟුරන්කෙත ධීරානන්ද හිමිපාණෝ - බුද්ධ ශාසනය වෙනුවෙන් කරන ලද ක්‍රියාදාමයන් වෙනුවෙන් අපට එකතු වන්න, කතිකාවන් කරන්න, අදහස්‌ උදහස්‌ ප්‍රකාශ කරන්න රාජ්‍ය නායකයා අභිමුවේ එතුමන්ලා කළ සේවය පිළිබඳ අපේ කෘතවේදීභාවය ප්‍රකාශ කරන්න, ඇගයීමක්‌ කරන්න ලැබීම ගැන සතුටු වෙනවා.

යුද්ධයේ සාපය නිසා අඳුරු වී ගිය අප දේශය 2009 දී ජනාධිපතිතුමා විසින් යුද්ධය නිමාකිරීමත් සමඟ භීතිය මෙරටින් පහකර අඳුරු අතීතය මකාලමින් සොඳුරු දේශයක්‌ ලබාදුන්නා. දැන් රට තුළ සාමය ඇතිකර ජාත්‍යන්තර සම්බන්ධතා ශක්‌තිමත්ව ගොඩනැගෙනවා. ජනාධිපතිතුමන් ගොඩනගන දේශයට ජීවයක්‌ ලබාදීමට භික්‍ෂූන්වහන්සේ හැටියට අපට වගකීමක්‌ තිබෙනවා.

ජනාධිපතිතුමා බණ අසන රාජ්‍ය නායකයෙක්‌ හැටියට රජගෙදර බණ ගෙදරක්‌ කරලා ඒ බණ ගම් නියම්ගම්වලට විහිදා යවන ආකාරයට ක්‍රියාත්මක වෙනවා. ශාසනාරක්‍ෂක කටයුතු කරන විට, දහම් පාසල කේන්ද්‍ර කරගෙන දහම් අධ්‍යාපනය ගොඩනඟා අප දිරිමත් කරන්න දූ දරුවන්ට පන්සලට දහම් පාසලට සමීප කිරීමේ පසුබිම සකස්‌ කර තිබෙනවා. දහම් පාසල් ආචාර්ය මණ්‌ඩල සඳහා පුස්‌තකාල, දරුවන්ට ඇඳුම් ලබාදෙන්න අනෙක්‌ පැත්තෙන් ගුරු සේවයට ප්‍රවිෂ්ට වීමට එක්‌ මගක්‌ ඒ දරුවන්ට විවර කර තිබෙනවා. මේ නිසා ඒ දරුවන් දිරිමත්ව දහම් අධ්‍යාපනය ලබනවා.

ජනාධිපතිතුමා එක පැත්තකින් රටට ආදරය කරන නායකයකු ලෙස භික්‍ෂූන්වහන්සේ ඇසුරු කරමින් ස්‌ථාවර පාලනයක්‌ ගෙන යන විට ජාත්‍යන්තරය එය දකින්නේ වෙනත් ස්‌වරූපයකින්. ඒ වකවානුව තුළ යුද්ධය සඳහා ගිය සෑම දරුවෙක්‌ම අපේ ගම්වල දරුවන්, මියගියේ අපේ ගම්බද ප්‍රදේශවලින් පැමිණි දරුවන්. ඒ නිසා අපට විශාල කැක්‌කුමක්‌ තියෙනවා. ඒ අඳුරු යුගයේදී අප කොතරම් කැපකිරීම් කළාද රටට සාමය ලැබේවා කියලා භික්‍ෂූන්වහන්සේ රණවිරුවන් දිරිමත් කළා. රටට එරෙහිව ජාත්‍යන්තරය කරන ප්‍රකාශ පිළිබඳව අපි කල්පනා කළ යුතුයි. ඊජිප්තුව, ලිබියාව, මැදපෙරදිග ප්‍රබල නායකයන් අයින් කර එම රටවල් යුද කඳවුරු බවට පත්කරලා.

රටට ජාතියට ආදරය කරන ස්‌ථිර නායකත්වයක්‌, පාලනයක්‌ ළඟාකරගෙන ඉදිරියට යන සංවර්ධනය අඩාල නොකර ඊට රුකුලක්‌ දිය යුතුයි. ඒ සඳහා ජනාධිපතිතුමාට ශක්‌තිය ලබාදීමට අද කාලය එළඹිලා. යුද්ධය අවසන් කර රටට දිස්‌ත්‍රික්‌ වාසි ප්‍රතිලාභ කුමක්‌ද කියල අපි කල්පනා කළ යුතුයි. එදා ජීවිතය ඉල්ලා හිටපු මිනිස්‌සු අද බලය ඉල්ලා තියනවා. අද අපි බලය දෙන්න මේ වෙනසේ ස්‌වභාවය තේරුම් ගත යුතුයි.

සමස්‌ත ලංකා ශාසනාරක්‍ෂක මණ්‌ඩලයේ ලේඛකාධිකාරී ගෝනදූවේ ඥනානන්ද නාහිමිපාණෝ - මෙවැනි උපහාර පිරිනැමීමේ උත්සවයක්‌ සංවිධානය කිරීමට මාස කීපයක සිට සාකච්ඡා කර තීරණය කළේ ජනාධිපතිතුමා විසින් මේ රටේ රාජ්‍ය නායකයා ලෙස පසුගිය දහ වසර තුළ සිදුකළ උදාර ශාසනික මෙහෙය ඇගයීමක්‌ හැටියටයි. එතුමාගේ සසුන් මෙහෙවර අගයමින් එතුමාට ආශිර්වාද කිරීම උදෙසා පවත්වන මෙම රැස්‌වීමට ෙත්‍රෙනිකායික මහා සංඝරත්නය සියලු දෙනා වහන්සේ පිළිගනු ලබනවා.

අපේ ජනාධිපතිතුමන්ගේ පූර්ණ අනුග්‍රහය සමස්‌ත ලංකා ශාසනාරක්‍ෂක මණ්‌ඩලයේ කටයුතුවලට නිරන්තරයෙන්ම ලබාදී තිබෙනවා. සමස්‌ත ලංකා ශාසනාරක්‍ෂක මණ්‌ඩලයේ යෝජනා ජනාධිපතිතුමාට ඉදිරිපත් කළ අවස්‌ථාවේදී එතුමා එම යෝජනා කෙරෙහි අවධානය යොමුකර ඒවා ඉටුකර දීමට දැක්‌වූ අනුග්‍රහය කෘතවේදීව සිහිපත් කරනවා.

වසර විසි ගණනක්‌ තිස්‌සේ විවිධ ආණ්‌ඩුවලට කරන ලද ඉල්ලීම් නොසලකා හැරියත්, ශාසනාරක්‍ෂක මණ්‌ඩල අවුරුදු විසි ගණනක්‌ තිස්‌සේ දරපු ප්‍රයත්නයන් මල්ඵල ගන්වමින් මේ වසරේ පෙබරවාරි මස 17 වැනිදා දහම් පාසල්වල සේවය කරන උසස්‌ පෙළ විභාගය සහිතව ධර්මාචාර්ය විභාගය සමත් දහසකට ගුරු පත්වීම් ලබාදීමට එතුමා ගත් එඩිතර පියවර ශාසනාරක්‍ෂක මණ්‌ඩලය පමණක්‌ නොව සමස්‌ත දහම් පාසල් අධ්‍යාපන ක්‍රියාවලියේ නිරත ගරුතර මහා සංඝරත්නයේත් දහම් පාසල් ගුරු මහත්ම මහත්මීන්ගේ දෙමවුපියන්ගේ සිසු දරු දැරියන්ගේ ඉමහත් ගෞරවයට ඉමහත් කෘතඥතාවට පාත්‍ර වූ කාර්යයක්‌ ලෙස එතුමාට පුණ්‍යානුමෝදනා කළ යුතුයි.

ජනාධිපතිතුමාගේ දස වසරක කාලය තුළ කරන ලද ශාසනික සේවාවන් විස්‌තර කළ යුතු නැහැ. විශේෂයෙන් මේ රටේ පූජා භූමි සංවර්ධනයට ඒ වගේම විහාරස්‌ථාන සංවර්ධනයට අතිවිශාල ලෙස මුදල් ලබාදෙමින් මෑත ඉතිහාසයේ කිසිදු කලෙක නොවූ විරූ ආකාරයට එතුමාගේ නායකත්වය සමයේ බුද්ධ ශාසනයේ උන්නතිය උදෙසා විශාල මෙහෙවරක්‌ ඉටුකරන්න යෙදුණා. ඒ බව මේ රටේ මහා සංඝරත්නය සැමදෙනා වහන්සේම පිළිගන්නවා.

ජනාධිපතිතුමා කරන ලද සසුන් මෙහෙවර අගයමින් එතුමාට ආශිර්වාද පළකිරීමට මෙබඳු උත්සවයක්‌ පවත්වා එතුමාට සමරු තිළිණයක්‌ ප්‍රදානය කිරීමත් සමස්‌ත ලංකා ශාසනාරක්‍ෂක මණ්‌ඩලය සිදුකරනවා.

No comments:

Post a Comment