Dec 6, 2014

02 Dec 2014   JVP

ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් රාපක්ෂ පරාජය කළ යුතුයි -ජවිපෙ නායක දිසානායක

ජ්ව්ප4


ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් රාපක්ෂ පරාජය කළ යුතු බව ජ.වි.පෙ. නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි. ඔහු මේ බව ප‍්‍රකාශ කළේ ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් ජනතා විමුක්ති පෙරමුණ විසින් කරන ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන  නුගේගොඩල ආනන්ද සමරකෝන් එළිමහන් රංගපීඨයේදී පවත්වන ලද ජනතා රැලියකදී අදහස් දක්වමිනි.
එහිදී තවදුරටත් අදහස දක්වූ අනුර කුමාර දිසානායක මහතා මෙසේද පැවැසීය.
දැන් ජනාධිපතිවරණයක් කැඳවා තිබෙනවා. මේ ජනාධිපතිවරණය එන්න තිබුණේ 2016 නොවැම්බර් මාසයේ. ඡුන්දය තියන්න තිබුණේ 2017 ජනවාරිවල. නීතිය අනුවත්, ව්‍යවස්ථාව අනුවත් වසර දෙකක් කලින් මහින්දට ඡුන්දය කැඳවන්න බැහැ. විධායක බලය තියාගෙන පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් තියාගෙන ජනාධිපතිවරණය ගෙනාවේ තවත් වසර හතකට බලයේ ඉන්න සැලසුමටයි. රාජපක්ෂ දෙවන බලයුගය ආරම්භ කළොත් රාජපක්ෂ පවුල හැර වෙනත් පාලනයක් මේ රටේ තියෙන්න පුළුවන් කමක් නැහැ. එවැනි පාලනයන් රටවල්වලට මහා විනාශයක් කැඳවලා තිබෙනවා. ලිබියාවේ ගඩාෆි, ඊජිප්තුවේ මුබාරක්, සිම්බාබ්වේ මුගාබේ වැන්නන් ඒ රටවලට ගෙනත් දුන්නේ විනාශයන් පමණයි. රාජපක්ෂගේ පළමුවෙනි බලයුගය ආර්ථිකය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය, යහපාලනය, මාධ්‍ය නිදහස විනාශ කර දමා තිබෙනවා.


කොන්ක‍්‍රීට් කණු ගොඩනංවලා බැබළෙන තොරන් වැනි ආර්ථිකයක් හදලා රටක් ගොඩගන්න බැහැ. ආර්ථිකයට ජනතාව සම්බන්ධවෙන්න ඕනෑ. ඒ වගේම ආර්ථිකයෙන් ලැබෙන ආදායම ජනතාව අතර සාධාරණව බෙදී යන්න ඕනෑ. නමුත් රාජපක්ෂ මහතා හදපු පාලනය මොකක්ද? සුළු ව්‍යාපාරිකයාට, ගොවියට, ධීවරයට, රාජ්‍ය අංශයේ පෞද්ගලික අංශයේ සේවකයට, වතු සේවකයට තමන්ගේ පංගුව ලැබුණද? කිසිවක් ලැබිල නැහැ. යටිමඩි ගහන කොමිස් ආර්ථිකයක් හදලා තිබෙනවා. කටුනායක අධිවේගී මාර්ගයේ කි.මී. 25ට රුපියල් කෝටි 5200යි. එක් කි.මී. රු. කෝටි 204යි. දැන් තව පාරක් හදනවා මාතර සිට බෙලිඅත්තට. කි.මී. 27යි. වියදම ඩොලර් බිලියන 278යි. ආසන්න වශයෙන් කි.මී. 1කට ඩොලර් කෝටියයි. ලෝකේ පුරාම ණය අරගෙන කොන්ක‍්‍රීට් කණු ගොඩනගන එකද සංවර්ධනය කියන්නේ. ආර්ථිකය නැතිබංගස්ථාන කරලා තියෙන්නේ. තවත් මේ පාලනයට ඉඩදිය යුතුද?
අධිවේගී මාර්ග, රේල් පාරවල්, පිට්ටනි, හම්බන්තොට වරාය, මත්තල ගුවන්තොටුපළ, ගුවන් පාලම් හදන්න ටෙන්ඩර් කැඳෙව්වද? එකකටවත් ටෙන්ඩර් කැදෙව්වේ නැහැ. රාපක්ෂලා හදාගත්තු සුවච කීකරු ගෝලයෝ ටිකක් කොමිස් එකට ඒ අයට ටෙන්ඩරේ දෙනවා. පවුලයි, පවුල වටේ ඉන්න කල්ලියයි මේ රටේ ජනතාවගේ මුදල් කෝටි ප‍්‍රකෝටි ගණන් කොල්ලකාලා තියෙනවා. මේ ආර්ථික අර්බුදය තීව‍්‍ර කරනවා ඇරෙන්නට මේ පාලනයට ආර්ථික අර්බුදය සමනය කරන්නේ නැහැ. 2015වන විට අපේ රටේ ගත් ණය කන්දරාව රුපියල් කෝටි 912,300ක්. අපේ රටේ ප‍්‍රධාන ව්‍යාපෘති හතරකටම වියදම රුපියල් කෝටි 20,700යි. නමුත් වසර පහක් ඇතුළත ණය අරගෙන තිබෙනවා රු. කෝටි ලක්ෂ පහක්. අපේ රට ණය උගුලක හිර කරලා. ඒ නිසා මේ පාලනය පරාජයට පත්කිරීමට ජනවාරි 08 තීරණයක් ගන්න ඕනෑ. ප‍්‍රජාතන්ත‍්‍රවාදය පොඩිපට්ටම් කරදමා තිබෙනවා. තවදුරටත් මේ අධිකරණ පද්ධතිය රටේ ජනතාවට යුක්තිය සාධාරණය ඉටු කරන්නේ නැහැ.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් පත්කිරීමේ සම්ප‍්‍රදාය සුණුවිසුණු කර දැම්මා. මහින්දට ඕන විදියට නඩු අහන්නේ නැති නිසා ශිරානි බණ්ඩාරනායක නෙරපලා දැම්මා. ඒ නිසා අධිකරණ පද්ධතිය බේරා ගත යුතුයි. 2009 මැයි මාසයේ මහා ඛේදවාචකයක්ව තිබූ යුද්ධය අවසන් වුණා. ඉතාම හොඳ පරිසරයක් ගොඩනගුණා. ජාතික සමගිය ගොඩනගන්න අවස්ථාව තිබුණා. නමුත් රාජපක්ෂට පරණ මඩ ගොහොරුවෙන් එන්න පුළුවන්කමක් නැහැ. උතුරු ප‍්‍රදේශයේ හමුදා බුද්ධි අංශ වැපුරුවා. ඒ පළාත්වල ජනතාවගේ නිදහස නැති කළා. මළ ගෙදරට, මගුල් ගෙදරට හමුදාවෙන් අවසර ගන්න ඕනෑ. ඒ ජනතාවත් මේ රටේ ජනතාවක් ලෙස පිළිගත්තේ නැහැ. මතුරන්න පටන් ගත්තේ කොටියා, ත‍්‍රස්තවාදියා, කුමන්ත‍්‍රණ, ඩයස්පෝරාව කියලා. ඒ ජනතාව තව තවත් ඈත් කළා. අදත් රාජපක්ෂ මතුරන්නේ පරණ මන්තරේම තමයි. මුස්ලිම් සිංහල ජනතාව අතර ප‍්‍රශ්න හැදුවා. විවිධ අන්තවාදී කණ්ඩායම් හැදුවා. දැන් ඊයේ පෙරේදා ඒ අය කියනවා මහින්දට සහාය දෙනවා කියලා.

එහෙම වෙන බව අපි හදපු දවසෙම දැනගෙන හිටියා. ඒක හරියට ගෝඨාභය රාජපක්ෂ, මහින්දට සහාය දෙනවා කිව්වා වගේ කතාවක්. ඒ නිසා රාජපක්ෂ පාලනය මේ රට ජාතිවාදී යුද්ධයක් කරා ඇදගෙන යන ගමන නැවැත්විය යුතුයි. අද ලෝකය හමුවේ හුදකලා වෙලා. විදෙස් ප‍්‍රතිපත්තිය විනාශ කර දැම්මා. විදේශ කටයුතු අමාත්‍යංශයට පවුලේ ඥාතීන් පිරෙව්වා. ත‍්‍රාඩයන්ට විදේශ කටයුතු අමාත්‍යංශය භාරදුන්නා. ජී.එල්. පීරිස් ටයිකෝට් දාලා හිටියට අද විදේශ කටයුතු අමාත්‍යංශය පාලනය කරන්නේ සචින් වාස් ගුණවර්ධනයි. ඒ මදිවට හැම ඡුන්දයකටම විදුලි පුටු කතා කියනවා. යුධ අධිකරණ කතා කියනවා. ජනතාව මුලා කරනවා. ධීවර කර්මාන්තයට පහර වැදුණා. යුරෝපයට මාළු අපනයනය කරන්න බැහැ. ඇගළුම් කර්මාන්තයට පහර වැදුනා. ජී.එස්.පී ප්ලස් නැතිවුණා. ඒ නිසා රටේ පෞරුෂය ආරක්ෂා කරගන්න මේ පාලනය ගෙදර යවන්න ඕනෑ. එපමණක් නෙවෙයි, යහපාලනය පිළිබඳ මූලධර්ම විනාශ කළා. ජනතාවගේ මුදල් කෝටි ගණන් විනාශ කරන පැලැන්තියක් හදලා. යුද්ධයෙන් පස්සේ මහින්ද කිව්වේ යුද්ධය අවසන් කළා, දැන් තියෙන යුද්ධය හොරකමට එරෙහිව කියලා. ඒත් යුද්දේ තියෙන කාලයට වැඩියෙන් හොරකම් කරන්න පටන් ගත්තා.

වංචා දූෂණ විමර්ශන කොමිසමේ ඇමතිවරු 38කගේ ෆයිල් තියෙනවා. විමර්ශනය කරන්නේ නැහැ. මහින්දට එරෙහිව කතාකළොත් කැඳවනවා. දැන් කියනවා මං ගාව ෆයිල් තියෙනවා දාන්නේ නැහැ කියලා. ෆයිල් තියන් ඉන්න් මහින්ද පියන් කෙනෙක් නෙවෙයි. එයා රටේ රාජ්‍ය නායකයා. හොරුන්ගේ ෆයිල් එකතුකරගෙන තමන් වැඩියෙන් හොරකම් කරනවා. ඒක මහ හොරාගේ ලක්ෂණයක්. ඒ නිසා යහපාලනය ආරක්ෂා කරන්න මේ පාලනය ගෙදර යැවිය යුතුයි. අලූත් ගමනක් අපේ රටට ඕනෑ. නිෂ්පාදනය කඩාවට්ටපු රටක් නිර්මාණය කර තිබෙනවා. ලෝකයේ වෙළෙඳපොළේ අපේ පංගුව අපි අත්පත් කරගත යුතු නැද්ද? 1977දී තිබුණු ලෝක වෙළෙඳ පංගුව අද 1%දක්වා අඩුවෙලා තිබෙනවා. ඒ නිසා යහපත් ආර්ථික සැලැස්මකට මේ රට මාරු කරන්න ඕනෑ. විකල්ප ආර්ථික ප‍්‍රතිපත්තියකට මේ රට මාරු කරන්න පුළුවන් ජවිපෙට පමණයි. අපි ඒක කරනවා. ආර්ථිකයේ සාධාරණත්වය නැතිව ඵ‍්‍රජාතන්ත‍්‍රවාදී ව්‍යුහයන් ස්ථාපිත කරන්න බැහැ. සිංහල දෙමළ මුස්ලිම් ජනතාව අතර ජාතික සමගිය ඇතිකරන්න ඕනෑ. ජනතාවගේ සම අයිතිය පිළිගත යුතුයි. මහජනයාගේ ජීවිතය උසස් කිරීමට ආර්ථිකයේ හැම ශතයක්ම යොමු කරන්න අවශ්‍ය නැද්ද? මේ රටේ 100ක් ණය ගත්තොත් 48ක් අපතේ යවනවා. ඒ නිසා පුළුල් සමාජ පරිවර්තනයක් අපේ රටට ඕනෑ.
දැන් අපිට ඡුන්දයක් ඇවිත්. කඳවුරු දෙකක් තිබෙනවා. එකක් මහින්ද රාජපක්ෂ ප‍්‍රමුඛ කඳවුර. අනෙක් මෛත‍්‍රීපාල සිරිසේන ප‍්‍රමුඛ කඳවුර. දැන් රාජපක්ෂ ස්ටෝර්ස් එකේ පුරවලා තියෙන්නේ මොනවද? කඬේ අයිතිකරුවෝ සහෝදරයෝ ටික. පරණ බඩු. ගාන වැඩියි. තියෙන ටොෆි ඇතුලේ වස උඩින් සීනි තවරපුවා. ඒ නිසා රාජපක්ෂගේ කඬේ බඩු ගන්න එක නතර කරන්න ඕනෑ. ඒ විතරක් නෙවෙයි රාජපක්ෂගේ කඩය වහලා දාන්න ඕනෑ. අනෙක් පැත්තේ මෛත‍්‍රී මුදලාලිගේ කඬේ. ඒ කඬේ බෝර්ඞ් එක හොඳයි. ‘විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරනවා. 17වන සංශෝධනය නැවත ගේනවා. 18 අහෝසි කරනවා.’ කඬේ බෝර්ඞ් එක හොඳයි. මුදලාලිත් අලූත්. නමුත් අලූත් කඬේ බඩු ගැන අපිට ෂුවර් නැහැ. නමුත් අපි සහතික කරලා කියනවා රාජපක්ෂගේ කඬේ වහලා දාන්න ඕනෑ කියලා. ජනතාව තීරණය කළ යුතුයි යන්න ඕන කඬේ මොකක්ද කියලා. දැන් රාජපක්ෂ ස්ටෝර්ස් එකේ වැඩ කරපු අයත් එළියට ඇවිත් ඉන්නේ. ඒ අය කියනවා එදා රාජපක්ෂ කරපු වැඩවලට අත උස්සපු එකට අද කණගාටු වෙනවා කියලා. රාජපක්ෂ කඬේ ගඳ ගහන තැනක්ලූ.

ජවිපෙ අපි ඒ කතා එදා ඉඳලා කිව්වා. ඒ නිසා වහලා දාන්න ඕනෑ. මේ ඡුන්ද ව්‍යාපාරයේ හැසිරෙන විදිය බලන්න. රටපුරා කටවුට්. ලොතරැුයි මණ්ඩලේ, විදුලිබල මණ්ඩලේ, වරාය, කෝට්ටේ නගර සභාව වියදම් කරලා කටවුට් ගහනවා. රාජපක්ෂ ඡුන්ද ව්‍යාපාරය ඇතුලේත් පෙන්නුම් කරමින් ඉන්නේ පරාජයට පත්කළ යුතු පාලකයෙක් ලෙසයි. ඒ විතරක්ද විශ්වවිද්‍යාල ආචාර්යවරු අරලිය දන්සලට කැඳවනවා, අධ්‍යාපන අමාත්‍යංශ්‍ය කන්න දෙනවා. ගොවියෝ ගෙන්වලා කෘෂිකර්ම අමාත්‍යංශයෙන් කන්න දෙනවා. සැලසුම් නිලධාරීන් කැඳවනවා, මුදල් අමාත්‍යංශය කන්න දෙනවා. කලාකරුවන් කැඳවලා සංස්කෘතික අමාත්‍යංශයෙන් කන්න දෙනවා. මැදමූලනයේ දේපළ කියලා හිතලා රාජ්‍ය දේපොළ කෝටි ප‍්‍රකෝටි ගණන් නාස්ති කරනවා. මීට පෙර අගමැති නිල නිවස ලෙස තිබුණු අරලියගහ මන්දිරේ අද මහින්දගේ කටවුට් ගහන තැනක් බවට පත්කරලා තිබෙනවා. රාජපක්ෂ ඡුන්දය කරන විදියත් ඇති එයාව ගෙදර යවන්න. දැන් අපිට හිතෙනවා රාජපක්ෂට මානසික ආතතිය කියලා. මෛත‍්‍රීපාල ඉවත් වූ දවසේ හදිසියේ අසනීප වෙලා ලංකා හොස්පිටල් එකට ඇතුල් කළා කියලා කතාවක් තියෙනවා.

තමන් කියන දේ තමන්ටම තේරෙන්නේ නැහැ. නැත්නම් මොන නායකයාද අර වගේ ෆයිල් කතාවක් කියන්නේ. විධායක ජනාධිපති ක‍්‍රමය ඉවත් කරන්න පාර්ලිමේන්තුවේ තේරීම් කමිටුවට ජවිපෙ ආවේ නැති නිසා බැරිවුණාලූ. මානසික ආතතිය තියෙනවා කියලා හිතෙන්නේ නැද්ද? අද පාර්ලිමේන්තුවත් රාජපක්ෂට ඕන විදියට කටයුතු කරන තැනක්. 2005 යුද්දෙත් තිබ්බා; ප‍්‍රභාකරනුත් හිටියා. ඒ වෙලාවේ කිව්වා, මම විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරනවා කියලා. අද යුද්දෙත් නැහැ, ප‍්‍රභාකරනුත් නැහැ දැන් මහින්ද කියනවා ටී.එන්.ඒ එක ඊළම අත්හරිනවානම් මම විධායකය අත්හරිනවා කියලා. මහින්දට අද අලූත් සටන් පාඨ නැහැ. 2005දී ජනතාවගේ හිතේ හිටපු රාජපක්ෂ අද ඉන්නේ රටේ තාප්පවල විතරයි. හැම ලයිට් කණුවකම මහින්ද රාජපක්ෂ. ඒ තාප්පවල ඉන්නෙත් ආර්.ඞී. එකෙන්, තෙල් සංස්ථාවෙන්, වරායෙන් පොස්ටර් ගහලා. ජනතාව පෝස්ටර් ගහලා නෙවෙයි. අද රාජපක්ෂ වියරු වැටිලා ඉන්නේ. මේ රටේ ප‍්‍රචණ්ඩකාරීම ඡුන්දය වෙනවා. හමුදාව තැන තැන ස්ථානගත කරලා. මැරයන් ස්ථානගත කරලා. රූපවාහනී වැඩසටහන් විකාශය වන විට පියෝ ටීවී, ඩයලොග් ටීවී අත්හිටුවනවා. ඒ වගේම මේක වැඩිම සල්ලි පොම්ප කරන මැතිවරණයක් වෙනවා. ආරංචි විදියට මහින්දගේ මුහුණ දාපු ඔරලෝසු කන්ටේනර් දෙකක් එනවා. නිල්පාට බෝඩරේ තියෙන සාරි ගෙන්වනවා. ඇති තරම් හම්බ කරගත්ත ධනය අද පොම්ප කරන්න පටන් අරගෙන. අද ගහන රාජපක්ෂගේ පොස්ටරේ වහලා හෙට රාජපක්ෂම පෝස්ටර් ගහනවා. 2005දී පෝස්ටරයක් ගහගන්න මහින්දලට සල්ලි තිබුණේ නැහැ. ණයට පෝස්ටර් ගස්සවලා දුන්නේ ජවිපෙ. 2005දී ණයට පෝස්ටර් ගහපු රාපක්ෂට අද පෝස්ටර් කඳු ගණන් ගහන්න සල්ලි කොහෙන්ද? මේක වැඩියෙන්ම මැතිවරණ නීති කඩන ඡුන්දයක් වෙනවා. මැතිවරණ කොමසාරිස්ගේ අ`ඩු කඩලා දාලා. ඒ නිසා ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් රාපක්ෂ පරාජය කළ යුතුයි.
රැස්වීමට සහභාගී වූ පිරිසෙන් කොටසක් පහත දැක වේ. 

No comments:

Post a Comment