Dec 6, 2014

05 Dec 2014  ජනපති මහින්ද රාජප
පක්‍ෂය හැර යැමට එකම හේතුව
විධායක ජනාධිපති ක්‍රමය නෙවෙයි

- ජනපති මහින්ද රාජපක්‍ෂ
පක්‍ෂය හැරයැමට හේතුව විධායක ජනාධිපති ධුරය යෑයි ඇතැමුන් කීවත් සැබෑ එකම හේතුව එය නොවේ යෑයි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සඳහන් කළේය.
අරලිගය මන්දිරයේදී පෙරේදා (3දා) පැවැති ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ සමස්‌ත ලංකා කාරක සභා හා පළාත් පාලන ආයතන නියෝජිත හමුවේදී ජනාධිපතිවරයා මේ බව පැවැසීය.
2005 දී පක්‍ෂ කාර්යාලය වහලා සතපහක වියදමක්‌ හෝ දරා කොළ කැබැල්ලක්‌ හෝ මුද්‍රණය කර නොදුන් අවස්‌ථාවේ මට සහාය දුන්නේ ඔබයි කියලා මතක තිබෙනවා. ඔබ මාව හැමදාම ශක්‌තිමත් කළා.
අද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් වඩා ප්‍රාදේශීය සභාවල සභාපතිවරුන්ට, මන්ත්‍රීවරුන්ට වැඩ කරන්න ලැබෙන මුදල් වැඩියි. අද අපි පළාත් සභාවලට, ප්‍රාදේශීය සභාවලට, මන්ත්‍රීවරුන්ට රටට වැඩ කරන්න මුදල් ලැබෙන්නේ කෙසේද? අපි ගමේ සංවර්ධනයට මුදල් ගෙනාවා.

ත්‍රස්‌තවාදය අවසන් කරලා ඉතිරි කරගත් මුදල්, පිටරටින් සහල් ගෙන්වන්නේ නැතිව ඉතිරි කරගත් මුදල් ඒවාට යෙදෙව්වා. පසුගිය දිනවල තමයි සහල් පිටරටින් ගෙන්වන්න වුණේ නියඟය නිසා. සහල් මිල පාලනය කරන්නේ කවුද? අපි නෙමෙයි මට මේ දේවල් පුරුදුයි. පක්‍ෂවලින් යනවා එනවා මම දැකලා තිබෙනවා. මේවා අද ඊයේ සිදුවුණු දේවල් නොවෙයි. මේ පක්‍ෂයේ ආරම්භක ලේකම් ගියේ පක්‍ෂය ආරම්භ කරලා මාස ගණනකින් මේ වනවිට පස්‌ දෙනෙක්‌ හැරෙන්න අනෙක්‌ අය ගිහින්. ආපසු ඇවිත් තිබෙනවා. ඔවුන් ආවට පසු වැඩ කළා. සමහරු ආවේ නැහැ. ඒ අයට වුණු දෙයක්‌ නැහැ. එක්‌කෙනෙක්‌ මහණ වුණා. මේවා ගැන මට ගැටලුවක්‌ නැහැ. ගමේ මිනිසුන් අපිත් එක්‌ක ඉන්නවා. අපට ආදරය කරනවා. ඒ අය වෙනස්‌ වෙලා නැහැ. නායකන්ට වෙනස්‌ වෙන්න පුළුවන්. ඒ අය එනවා, යනවා. අද පක්‍ෂ කාර්යාලයටත් එක්‌කෙනෙක්‌ ඇවිත් ගිහින් තිබෙනවා. දාලා යන්න බැහැ ඒ අයට.

මම එක්‌ කෙනෙකුට යන්න කිව්වා. දැන් එයා ගිහින් කියනවා අපි මිලියන ගණනක්‌ එයාට දෙන්න හැදුවා කියලා. වටිනාකමක්‌ නැති අයෙකුට මුදල් දෙන්න අවශ්‍යද මට. නමුත් මුදල් දෙන්න හැදුවා කියන එක පිළිබඳව පොලිසියට කිව්වා. ගිහින් එයාගෙන් කටඋත්තරයක්‌ ලබාගන්න කියලා. මුදල් දෙන්න ලෑස්‌ති වුණ කෙනා කවුද කියා. එසේ නැත්නම් මෙයා කියන්නේ ඇත්තද, බොරුද කියලා. දැන් බොරු ප්‍රචාර කරන්න හදනවා. අපි ළඟ අපේ අයට දෙන්න සූදානම් වන මුදල් පිළිබඳ සාක්‌ෂි තිබෙනවා. ඒ තමයි ඩොලර් කැරකෙන හැටි.

අපිට මෙහි අභියෝගයක්‌ නැහැ. එය අපි පැහැදිලිව කියනවා. ඔබ එකාවන්ව වැඩ කරන්න. ඔබේ අතේ ජයග්‍රහණය තිබෙන්නේ. මෙය ඔබේ මැතිවරණයක්‌ කරගන්න. නොයෙක්‌ අය කතා කරාවි. අරක දෙන්නම්, මේක දෙන්නම් එන්න කියලා. නමුත් අපට පක්‍ෂයක්‌ තිබෙනවා. මේ පක්‍ෂයට අපි ආදරය කරනවා. පක්‍ෂයට ආදරය කරන්න.

එවිට පක්‍ෂය ඔබව බලාගන්න එක අනිවාර්යෙන්ම කරනවා. ඒ නිසා ඔබ කෙරේ අපට විශ්වාසයක්‌ තිබෙනවා. මොනතරම් අය එහාට මෙහාට ගියත් සැලෙන්න එපා. එය සැලෙන්න අවශ්‍ය කාරණයක්‌ නොවෙයි. මේ පක්‍ෂයේ ඉතිහාසයත් එහෙමයි. සමහර අවස්‌ථාවල වාහනයේa ටයර් එකේ හුළං යනවා. වැසිකිළියේ දොර පිටින් ඇඟුළු වැටෙනවා. ඒවා ඔබට මතකයිනේ. අනුර බණ්‌ඩාරනායකත් චන්ද්‍රිකාත් ගියා. නමුත් අනුර බණ්‌ඩාරනායක මහත්තයා කිසි විටෙක මට පක්‍ෂය දාලා එන්න කිව්වේ නැහැ. එයා රනිල්ට ගිහින් කිව්වේ මහින්දට කියලා වැඩක්‌ නැහැ. එයා කීයටවත් පක්‍ෂය දාලා එන්නේ නැහැ කියලා. එදා ඔහු එය අවංකව කිව්වා. ඔහු ගිහින් නැවතත් ආවා. ඒ ඉතිහාසය අපි ඒ දේවල්වලට ඒ අයට සමාව දුන්නා. ජනපතිවරිය බවට පත්කළා. අවුරුදු එකොළහක්‌ සිටියා. එදා ඉන්න කොට මේ විධායක ක්‍රමය පෙනුණේ නැද්ද? මේක ඉවත් කරගන්න බැරිවුණාද? මේක අද සටන් පාඨයක්‌ කරගෙන. ඔය කියවන කිසිවෙකුත් ඇවිත් ඔබේ ඉදිරියේ එය පැවසුවාද? පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව, සමස්‌ත ලංකා කාරක සභාව, පාර්ලිමේන්තු කණ්‌ඩායම, කැබිනට්‌ මණ්‌ඩලය රැස්‌වෙනවා. නමුත් කවදාවත් විධායක ජනාධිපති ක්‍රමය අවසන් කරන්න කියා ඔය කිසි කෙනෙක්‌ යෝජනා කළේ නැහැ. මේ ඊයේ පෙරේදා ඉඳලා තමා සියලු දෙනාට මතක්‌ වුණේ විධායක ජනාධිපති ක්‍රමයක්‌ තිබෙනවා කියලා. ඒකත් අමතකයි. එයයි ඇත්ත. නමුත් මට මතක තිබෙනවා. අපි කමිටුවක්‌ පත් කළා. මම කිව්වා එය මගේ කාර්යය නොවෙයි. පාර්ලිමේන්තුවෙ වැඩක්‌. මම පක්‍ෂයක්‌ වශයෙන් අවසර දුන්නා. නමුත් සාකච්ඡා කරන්න කියා නිමල් සිරිපාල සිල්වා ඇමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කාරක සභාවක්‌ පිහිටෙව්වා. මෙය වෙනස්‌ කරන්න විපක්‍ෂයේ කිසිදු පක්‍ෂයක්‌ ඒ සඳහා පැමිණියේ නැහැ. එයයි ඇත්ත. ඩොනමෝර් ආණ්‌ඩු ක්‍රමයේ ඉඳලා සෝල්බරි ආණ්‌ඩු ක්‍රමයට එනකොට වසර ගණනාවක්‌ සාකච්ඡා කරලා ව්‍යවස්‌ථාව හැදුවේ. අපි ඇවිත් ජනරජ ක්‍රමය හදනකොට 1972 දී ඒ සඳහා පත් කළ කොල්වින් ආර්. සිල්වා ඇමැතිතුමාට වසර දෙකක්‌ ගියා එය සකස්‌ කරන්න. ඒ කාලේ මන්ත්‍රීවරයෙක්‌ වශයෙන් මමත්, දි. මු. ජයරත්න මහතාත්, රත්නසිරි වික්‍රමනායක මහතාත්, අතාවුද මහතාත්, වාසුදේව මහතාත් හිටියා. අපි සියලු දෙනාම මේවා පිළිබඳව කතා කරලා. සාකච්ඡා කරලා තමයි මෙය සිදුකළේ. ඊට පසු 13 වන වගන්තිය ආවාට පසු තමයි මේවා සාකච්ඡා කළේ නැත්තේ. ඉක්‌මණින් ආවා.

එය ගෙනැවිත් දමනතුරු එදා හිටපු සහා නායකතුමාවත් ඒ පිළිබඳව දන්නේ නැහැ. අද අපි එහෙම කළේ නැහැ. අපිට කියන්නේ කුමක්‌ද? අපි 13 දීපු නිසා වෙලා තිබෙන දේ පෙනෙනවා. පොලිස්‌ බලය, ඉඩම් බලය ඉල්ලනවා. මම බටහිර ජාතීන්ට හා ඉන්දියාවට පැවසුවා පොලිස්‌ බලය දෙන්නේ නැහැ කියලා. ඉඩම් බලය උසාවියෙන් දීලා තිබෙනවා. චන්ද්‍රිකා පළාත් සභාවේ ඉන්න කාලේ උසාවියට ගිහින් ඉඩම් බලය ලබාගත්තා. දුරදිග සිතුවේ නැහැ. කුමක්‌ද වෙන්නේ කියා බැලුවේ නැහැ. අනාගතයේ මෙයින් සිදුවිය හැකි හානිය දෙස බැලුවේ නැහැ. නමුත් වාසනාවට උසාවියෙන් එය ලබාදුන්නේ ජනාධිපතිවරයාට අවසාන බලය තබාගෙන. දැන් ඒ අයට බදු ක්‍රමයට දෙන්න පුළුවන්. ඒ සඳහා බලය තිබෙනවා. එය වෙනස්‌ කරන්න බැහැ. හදිසියේ කරන වැඩවලින් වෙන්නේ ඒක. ඒ නිසා තමයි මම පාර්ලිමේන්තු කමිටු හදලා ව්‍යවස්‌ථාව වෙනස්‌ කරන අවස්‌ථාව දුන්නේ.

පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරලා, ඔබත් සමඟ සාකච්ඡා කරලා, කෑ ගසලා ප්‍රාදේශීය සභා මැතිවරණ ක්‍රමය වෙනස්‌ කරන්න කියලා කිව්වා. දැන් ප්‍රාදේශීය සභාවේ කට්‌ටිය කියනවා වෙනස්‌ කරන්න එපා කියලා. ඉස්‌සර කිව්වා ඕක වෙනස්‌ කරන්න, වෙනස්‌ කරන්න කියලා මම විතරයි කිව්වේ එපා කියලා. අනිත් සියලු දෙනා කිව්වා මේවා වෙනස්‌ කරන්න ඕනෑ නම් අපි කතා කරන්න ඕනෑ. ආවාට ගියාට කරන්න බැහැ. එහෙම කරලා ඊට පස්‌සේ අපිට බනිනවා. ඊට පස්‌සේ කියනවා විධායක ජනාධිපති තමයි ඒක කළේ කියලා. මට බනිනවා. මම බැනුම් අහනවා.

ඕනෑම වෙනස්‌කමක්‌ කරන්න. පනත් ගෙනෙන්න. නමුත් ඒ පිළිබඳව සාකච්ඡා කරලා. මිනිසුන්ගේ අදහස්‌ බලලා, දුරදිග බලලා අදට නොවෙයි හෙට ඉපදෙන්න ඉන්න දරුවා වෙනුවෙන් ව්‍යවස්‌ථාවේ එක්‌ ක්‍රමයක්‌ හදන්න. එය සඟරාවක්‌ කරන්න එපා කියලයි මම කියන්නේ. ඒකටයි අපි කමිටුවක්‌ පත්කළේ. එයාලට එක්‌ සටන් පාඨයයි ඉතිරිවෙලා තිබෙන්නේ. පාර හදලා දෙන්න. විදුලිය දෙන්න, ජලය දෙන්න. මේවා කියන්න බැහැ. ඒ සියලු දේ ලබාදීලා. කියන්න තිබෙන්නේ විධායකය විතරයි. එයාලට දැන් මිදි කඩන්න බැරිව ඉන්නේ. කඩන්න බැරි නිසා කියනවා මිදි තිත්තයි කියලා. මේකයි ඇත්ත කතාව. මේවා කරන්න පුළුවන් නම් අපට පමණයි. එය 08 වෙනිදාට වෙන අයෙකුට කරන්න ඉඩ තබන්නේa නැහැ. ඒකත් කරනවා නම් කරන්නේ අපිම තමයි. එය සාකච්ඡා කරලා සියලු දෙනාත් සමඟ කරනවා හැරෙන්න ආවාට ගියාට ආයිත් මට ඇඟිලි දික්‌ කරන්න මම ඒක කරන්නේ නැහැ.

නමුත් මෙය ඔබ අවබෝධ කරගන්න. දුම්වැටි පිළිබඳ පනත 2006 ගෙන ආවේ කවුද? එය අපි මහින්ද චින්තනයේ කියා තිබෙනවා. ඇමැතිවරයාගේ වගකීම මහින්ද චින්තන ක්‍රියාත්මක කිරීම. ඇමැතිවරයා එය ගෙන ආවා. එය සම්මත කළා. උසාවි යන්න අවශ්‍ය නැහැ. එයින් ප්‍රසිද්ධ ස්‌ථානවල, බස්‌ රථවල, කඩවල දුම් බොන්න, වයස 21 ට අඩු අයට විකුණන්න ආදිය තහනම් කළා. එයින් නැති වුණේ අපට තිබුණ ආදායම. නමුත් එය අපි සිදුකළා. ඒ පනත සම්මත කර තිබියදීත් එයා නියෝගයක්‌ කළා. අදාළ ප්‍රචාරණය 80%ක්‌ කරන්න ඒ නියෝගය පිළිබඳව ඕනෑ කෙනෙකුට උසාවි යන්න පුළුවන්. සම්මත කරගත් පනත සංශෝධනය කළා නම් උසාවි යන්න බැහැ. එයා නියෝගයක්‌ දුන් නිසා තමයි උසාවි ගියේ. ඉන්පසු උසාවියෙන් කිව්වා 60% ක්‌ දුන්නාම ඇති කියලා. එවැනි පනතක්‌ ගේන විට අපෙන් ඇසුවා නම් නියෝග දෙන්න එපා, අවශ්‍ය ආකාරයට පනත සංශෝධනය කරන්න කියලා අපි උපදෙස්‌ දෙනවා. ඒ නියෝග පිළිබඳව කතා කරන්න කැබිනට්‌ මණ්‌ඩලයට ආවේ නැහැ. වැරදුණාම තමයි ආවේ. එතකොට පරක්‌කු වැඩියි. ඒවාට අපිට දොස්‌ කියලා නැහැ.

ඖෂධ පනත නැති වුණා කියනවා. එහි වගකීම අපට දෙන්නේ කොහොමද? අපිත් ඇමැතිකම් කළා. අපි පනතක්‌ ගේනකොට ඒ පනත තිබෙන්නේ ඇමැතිතුමා ළඟ පමණද? එය විෂය භාර ලිපිකරු ළඟත් තිබෙනවා. එහෙම නම් එය පෝලිමේ සොරකම් කරන්න ඕනෑ. ඇමැතිතුමාගෙනුත් සොරකම් කරන්න ඕනෑ. ලේකම්ගෙනුත්, අමාත්‍යාංශයේ නීති නිලධාරීගෙනුත් සොරකම් කරන්න ඕනෑ. මේවාට අපට චෝදනා කරන එක වැරදියි.

එයා එහි වගකීම භාරගන්න ඕනෑ. මම මේවා කියන්නේ ඔබට එයාලා දැන් කතා කරන්නේ මේවා ගැන. ඒවාට ඉඩ දුන්නේ නැහැ කියනවා. අයවැයෙන් රුපියල් මිලියන 136 ක්‌ දුන්න එකම විද්‍යාලය පොළොන්නරුවේ රාජකීය මධ්‍ය මහා විද්‍යාලය පමණයි. එය රාජපක්‍ෂ මධ්‍ය මහා විද්‍යාලයට ලබාදුන්නේ නැහැ. මේ ඒ අයට සැලකුවේ නැති හැටිද? එය රැවටුවාද? කෝටි 32 ක්‌ වැයවුණා ඒ ව්‍යාපෘතියට.

එපමණක්‌ නොවෙයි රජරට පුලතිසිපුර සංවර්ධන ව්‍යාපෘතියටත් අපි මුදල් යෙදෙව්වා. ඇමැතිකම් ගත්තාට මහවැලියටත් අපි මුදල් දන්නා. වසරක්‌ පාසා මිලයන 500 ක්‌ දීලා තිබෙනවා. මේවා දුන්නේ බයට නොවෙයි. මේවා අමතක කරලා අද යන්න අවශ්‍ය නම් ඒ ගැන මට කියන්න තිබුණා. එහෙම නම් මම එය හොඳයි කියනවා. මම එපා කියන්නේ නැහැ. එදා ෙµdන්සේකාත් ඇවිත් මට ආචාර කරලා සාකච්ඡා කළා. එහිදී මම ඇසුවාම ජනාධිපතිවරණයට ඉල්ලනවාද කියලා. ඔහු කිව්වා ඔව් කියලා. මම කිව්වා මට බොහොම සන්තෝෂයි. මාගේ සුබ පැතුම්. වැරදුණොත් ආයේ එන්න අවශ්‍ය නම් එන්න කියලා. මෙයත් මට කිව්වා නම් මම එයාට කියන්නෙත් ඒ විදිහටමයි. සුබ පතනවා.

රනිල් වික්‍රමසිංහ ආවා නම් කොළ පාටින් පුරවනවා. අඩු ගානේ ඒ අයට පක්‍ෂ කාර්යාල හෝ තිබෙනවා. තවම එයාලට කොඩියක්‌ දමන්න විදියක්‌ නැහැ. තවම විශ්වාස නැහැ. පාටක්‌ නැහැ. මේකයි ඇත්ත කතාව. මේවා පිළිබඳව මම කතා කරන්න කැමැති නැහැ. නමුත් චෝදනා කරන නිසා පාක්‌ෂිකයන්ට මම මෙතැනට ගෙන ආ අයට මම මේවා කිව්වේ නැත්නම් එය මගෙන් සිදුවන වරදක්‌ ලෙස දකින නිසයි මම කිව්වේ. මේ අය දැනගන්න ඕනෑ, මම රට යනකොට ආරක්‌සක අමාත්‍ය තනතුර ලබාදුන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතාට ඔහු පිළිබඳ විශ්වාසයක්‌ තිබුණු නිසා. මේවා බලන්න. මේවා අපි කරන කැපිලිද? කෙනහිලිකම්ද? ඔහු ඇඬුවේ ඒකනේ. පක්‍ෂය දාලා යන්න එකම හේතුව විධායක ක්‍රමය නොවෙයිනේ. ඒවා පක්‍ෂයක්‌ දාලා යන්න ප්‍රශ්නද? අපි කොතරම් මේ ඇමැතිවරුන්ට බනිනවාද? අපිට බනිනවාද? ඒවා එතනින් අවසන්. අපිට ඕනෑ දෙයක්‌ ඇවිත් කියලා යන්න පුළුවන්.

අපට ප්‍රශ්න ආවාම මම ඒවා දෙන්නේ ඩලස්‌ මහතාට. ඔහු ඒවා පිළිබඳව අහගෙන ඉඳලා පසුව තමයි එහි හරි වැරැද්ද පවසන්නේ. එහෙම ඉන්න අවශ්‍යයි. අපට විවිධ ප්‍රශ්න එනවා. දැන් සියලු දෙනා එකතු වෙලා ඉන්නව අපිව හේග් නුවරට යවන්න යවනවාද? නැහැනේ. එපමණයි. මේ අයට අවශ්‍ය විදිහට කරන්න දෙන්න බැහැ. මේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය. මේ පක්‍ෂය හැමදාම රැකගත්තේ ඔබ. සාමාන්‍ය ජනතාව. ඒ නිසා මේ පක්‍ෂය රැකගෙන අපි එකාමෙන් ඉන්න අවශ්‍යයි.

එක්‌ එක්‌ ආසනවල ප්‍රශ්න තිබෙනවා. ඔබ අතර ගැටලු ඇති. මෙය මගේ මැතිවරණය ඒ නිසා ජනාධිපතිවරණය පැවැත්වෙනතුරු මනාප ප්‍රශ්නයක්‌ නැහැ. කිසිවෙකුත් එක්‌ එක්‌ අයගේ ආසනවලට ගිහින් මනාප ප්‍රශ්න ඇති කරගන්න එපා. වැඩ කරන්න සමගියෙන් සියලු දෙනාම එකතුවෙලා. නායකත්වය හැම කෙනාටම දීලා ඔබ එකතු වෙලා වැඩ කරන්න. එලෙස වැඩ කළොත් අපිට ලක්‍ෂ 22 කින් දිනන්න පුළුවන්. අපේ ඉලක්‌කය ගියවර 18 යි. මෙවර 22 යි. එය පැහැදිලිව කරනවා. එතැනට යන්න සූදානම් වෙන්න එය ඔබට පුළුවන්.

අපට බැහැ කියලා දෙයක්‌ නැහැ. වසර 30 ක්‌ අත ගගා හිටපු යුද්ධය අපි අවසන් කළා. සංවර්ධනය කරන්න බැහැ කියපු රට සංවර්ධනය කළා. හදන්න බැහැ කියපු අධිවේගී මාර්ග හැදුවා. යන්න බැරිව තිබුණු යාල්දේවිය යෑව්වා. 98% ට විදුලිය දීලා, දුරකථන පහසුකම් දීලා 60% කට පානීය නළ ජලය ලබාදීලා. රැකියා විරහිතව සිටි සියලු උපාධිධාරීන්ට රැකියා ලබාදීලා තිබෙනවා. තරුණයින් එක්‌ලක්‍ෂ පනස්‌ දහසකට රැකියා අවස්‌ථා මේ අයවැයෙන් තිබෙන බවත් මම මතක්‌ කරන්න ඕනෑ. ඒ නිසා මේ රටේ අනාගත තරුණ පරපුරට ස්‌ථිර ගමන් මගක්‌. ඔබේ දුවට, පුතාට, අනාගතයේ දරුවාට ලෝකය දිනන්න පුළුවන් රටක්‌ හදලා තමයි අපි විශ්‍රාම ගන්නේ කියන එක මතක්‌ කරනවා.

ඒ සඳහා ඔබ එකාවන්ව නැගී සිට බුලත් කොළය ජයග්‍රහණය කරවන්න. එවිට මහින්ද රාජපක්‍ෂ ජනවාරි 9 වැනිදා උදේටත් ජනාධිපති කියන එක ඔබට මතක්‌ කරමින් ඔබ සියලු දෙනාට සුබ අනාගතයක්‌ ප්‍රාර්ථනා කරනවා.

වාරිමාර්ග හා ජල කළමනාකරණ ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා

අද පාර්ලිමේන්තුවේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මන්ත්‍රීවරු 127 ක්‌ ඉන්නවා. ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයෙන්ම තේරීපත්වුණු අය. එය තමයි මේ නායකයා අපට කරපු සේවය. එතුමා තරම් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ශක්‌තිමත් කරපු නායකයෙක්‌ නැහැ. එතුමා ඒ ලබාදුන් ශක්‌තිය තුළින් අපි තුනෙන් දෙකේ බලයක්‌ පාර්ලිමේන්තුවෙන් ලබා ගත්තා. ඒ විතරක්‌ නොවෙයි ඔබතුමන්ලා දන්නවා මේ පක්‍ෂවලින් පුද්ගලයෝ ගිය පළමුවැනි වතාව නෙමෙයි. එදා චන්ද්‍රිකා මහත්මිය විජය කුමාරණතුංග මහතා මේ පක්‍ෂය හදන්න පුරෝගාමී වූ ඉලංගරත්න මහතා පවා පක්‍ෂය දාලා වෙන පක්‍ෂවලට ගියා. නමුත් පක්‍ෂය වැටුණේ නෑ. පාක්‍ෂිකයන් ගියේ නෑ. පාක්‍ෂිකයින් ශක්‌තිමත්ව පක්‍ෂයට ශක්‌තිය දීලා මේ පක්‍ෂය ආරක්‍ෂා කර ගත්තා. ඒ නිසා කීප දෙනෙක්‌ පක්‍ෂය අතඇරලා ගියා කියලා මේ පක්‍ෂය වැටෙන්නේ නෑ. මේ පක්‍ෂය පස්‌සට යන්නේ නෑ. මේ පක්‍ෂය මේ අභියෝග සියල්ලටම මුහුණ දීලා ඉදිරියට යන පක්‍ෂයක්‌. ඒ නිසා ඔබ සියලු දෙනාම මේ ගැන ධනාත්මකව හිතන්න. මේ අභියෝග අපට අලුත් අභියෝග නොවෙයි.

මේ ඉතිහාසය. ඒ විතරක්‌ නොවෙයි අපේ පක්‍ෂයේ නිර්මාතෘ බණ්‌ඩාරනායක මැතිතුමාගේ අතිජාත පුත්‍ර රත්නය අනුර බණ්‌ඩාරනායක මහතා අපේ පක්‍ෂය දාලා එක්‌සත් ජාතික පක්‍ෂයට ගියා. අපේ පක්‍ෂය නැති වුණාද, අපේ පක්‍ෂය දුර්වල වුණාද ගිය අය දේශපාලන වශයෙන් වනාන්තරගත වුණා මිසක්‌ පක්‍ෂය තනි වුණේ නෑ. මොකද පාක්‍ෂිකයන් සිටින්නේ අපිත් සමග පාක්‍ෂිකයෝ ඉන්නේ පක්‍ෂයත් එක්‌ක. ඔබ දන්නවා දැන් මෙවර අපේ හිටපු ලේකම්තුමා පක්‍ෂය ඇහැරල ගිය විදිහ කොහොමද අපේ මධ්‍යම කාරක සභා රැස්‌වීමක්‌ තිබුණා.

ජනාධිපති අපේක්‍ෂකයා තෝරා ගැනීමට. 2014 නොවැම්බර් මස 19 වැනි දින තමයි මේ රැස්‌වීම තිබ්බේ. මේ රැස්‌වීමේදී මම ජනාධිපතිතුමාගේ නම යෝජනා කළා. එතුමා අපේ ජනාධිපති අපේක්‍ෂකයා විය යුතුයි කියල. µවුසි මහතා එය ස්‌ථිර කළා. මුළුමහත් මධ්‍යම කාරක සභාවේ සිටි සියලුම දෙනා මෛත්‍රිපාල සිරිසේන ඇතුළු සියලු දෙනාම අත් ඔසවා ඒ යෝජනාව සම්මත කළා. මිත්‍රවරුනි මෙහෙම අත ඔසවල යෝජනාව සම්මත කළා විතරක්‌ නොවෙයි එතුමාගේ අත්සනින් සන්ධානයේ මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතාටත් ලිපියකින් දැනුම් දුන්නා.

අපි ජනතාව දැනුවත් කරමු. ජනතාව දැනුවත් කරලා ශ්‍රී ලංකා නිදහස්‌ පාක්‍ෂිකයන් වශයෙන් අපි නොබියව, නොපැකිලිව අප තුළ තිබෙන ශක්‌තිය තේරුම් ගන්නට ඕනේ. ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය කියන්නේ දැවැන්ත වෘක්‍ෂයක්‌ එය බ්ලේඩ් තලයකින් කපල දාන්න බෑ. එය සොලවන්නට බෑ. ඒ නිසා අපි ශක්‌තිමත්ව මෙයට මුහුණ දෙමු. දැන් තියෙන්නේ මාධ්‍ය සන්දර්ශනයක්‌ විතරයි. ජනාධිපතිවරයා තමන්ගේ මැතිවරණ ප්‍රචාරක මෙහෙයවීම සියයට 90 ක්‌ කරල ඉවරයි. ජනතාව මුණගැසී ඉවරයි. ජනතාව තීන්දු කරල ඉවරයි. ඒ නිසා ඔය මාධ්‍ය සන්දර්ශනවලින් ඡන්දය ගන්නට බෑ. ඒ නිසා අපි ධනාත්මකව මේගැන කල්පනා කරල ඉදිරියට යමු. ජනාධිපතිතුමාට ජයවේවා.

වයඹ පළාත් ප්‍රධාන ඇමැති දයාසිරි ජයසේකර මහතා

මේ රටේ ඉතිහාසයේ අපේ ලේකම්වරුන් පක්‍ෂය දාලා ගිහින් ආපසු ඇවිත් තිබෙනවා. ඒ වගේම ප්‍රශ්න තිබුණු වෙලාවේ එකට ඉඳගෙන එකට නැගිටලා මේ ප්‍රශ්නවලට මුහුණ දීලා තිබෙනවා. අපි අවුරුදු 17 ක්‌ ශ්‍රී ලංකා නිදහස්‌ පාක්‍ෂිකයෝ හැටියට දුක්‌වින්දා. ඔබට මතක ඇති 1977 පැරදුනාට පසු මේ පක්‍ෂය නඟා සිටුවන්න මම සහ මගේ අම්මා තාත්තා ශ්‍රී ලංකා නිදහස්‌ පාක්‍ෂිකයෝ හැටියට විශාල දුක්‌ කන්දරාවක්‌ වින්දා. එහෙම විඳලයි 94 දී අපේ ආණ්‌ඩුවක්‌ ගෙනාවේ. ඒ ගෙනාපු ආණ්‌ඩුව අපි එදා චන්ද්‍රිකා මහත්මියට භර දුන්නා. මේ රටේ නායකයකුට මේ රට වෙනස්‌ කරන්න ස්‌වර්ණමය අවස්‌ථාවක්‌ ලැබුණා නම් එහි පළමු අවස්‌ථාව තමයි එදා චන්ද්‍රිකා මහත්මිය ලැබුණු අවස්‌ථාව. එදා මුළු රටම එකාවන්ව පෙළ ගැසුණා. අත් දෙකෙන්ම ගෙනැවිත් සුදු නෙළුම කියලා එතුමියට භාර දුන්නේ මේ රට වෙනස්‌ කරයි කියලා. අවුරුදු 10 ක්‌ තමන්ට ලැබුණා. ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයට ලැබුණු ස්‌වර්ණමය අවස්‌ථාව එතුමිය නැති කළා. ෙද්‍රdaහීන් රැලක්‌ සමග එකතුවෙලා පළමු වතාවට මේ පක්‍ෂය කැඩුවා. දෙවන වතාවටත් මේ පක්‍ෂය කඩන්න ඊයේ කිව්වේ තවත් කුට්‌ටියක්‌ ගලවගෙන එනව කියලා. දැන් ගැලවෙන්න කුට්‌ටියක්‌ නැහැ. හැම කෙනාම අද එකාවන්ව අපිත් සමග ඉන්නවා කියලා මම ඔබට කියනවා. යන්න කවුරුත් නැහැ.

අපි ගිහින් අනුන්ගේ කූඩුවල ගෙවල් හදන්න ගියොත් කපුටාගේ කූඩුවේ බිත්තර දාන කොහාට වෙන දේ තමයි එයාටත් වෙන්නේ. ඒ නිසා මේවා කරන්න පුළුවන් දේවල් නෙවෙයි. සම්පූර්ණ යාන්ත්‍රණය තිබෙන්නේ රනිල් වික්‍රමසිංහගේ අතේ. ජනතා විමුක්‌ති පෙරමුණත් අද නැහැ. 2010 දී රනිල් කකුලෙන් අදින කොට ජනතා විමුක්‌ති පෙරමුණ ගිහිල්ලා ගම්වලට ගිහින් කොළ බෙදුවා. අද එතන වැඩ කරන්න කවුරුත් නැහැ. ඔබතුමන්ලා තාම වැඩ කරන්න පටන් ගත්තේ නැහැ. මතක තබාගන්න අපි එකාවන්ව වැඩ කරන්න පටන් ගත්තම හෙට අනිද්දා ඉඳලා මේක අපි අනිත් පැත්තට හරවන්න ලෑස්‌තියි. මේ ජනගඟ ආපසු හරවන්න ඩොලර් කුට්‌ටිවලට, එක එක රටවල්වල නූල් සූත්තරවලට රැවටෙන්න අපි සූදානම් නැහැ.

No comments:

Post a Comment